කැමරාවක් සූදානම් කළා ම, ඇඳුම්වල රැළි ගසා බසා දාලා ඇවිත් තමන්ගේ අනෙකුත් චරිත එක්ක කතාකරලා, තමන්ගේ කොටස අවසන් කරලා නාමීයව ඉන්න නමුත් ජීවීයෙක් විදියට අතුරුදන් වන චරිත, ගේ ඇතුළේ ඉඳන් ඇවිත් ජනේලයක් ගාව විනීතව වාඩිවෙලා අදාළ අවස්ථාවේ දී තමන්ට නියමිත දෙබස් ටික කියලා ආයෙ ගේ ඇතුළට යන චරිත, සාමාන්‍යෙන් පොත්පත්වල අපිට කියවද්දි අහන්න දකින්න ලැබෙනවා. එතකොට මට හිතෙන්නෙ, “මම මේ කෙනා වුණා නම් මම මෙහෙමද හැසිරෙන්නෙ, පොදුවේ මිනිහෙක් මෙහෙම හැසිරෙයිද” වගෙ දෙයක්. ඒ බොහෝ තැන්වල දි, චරිත හැසිරෙන්නෙ පොදුවේ මිනිස්සු හැසිරෙන විදියට නෙමේ කියලයි මට හැඟෙන්නෙ. එක්තරා විදියක කෘතිම බවක් රාමුගත බවක් ඒ තැන්වලදි තියෙනවා කියල අපිට පිළිගන්න සිද්ධ වෙනවා. අදාළ මොහොත රඟපෑවට පස්සෙ, චරිතය වෙස්මුහුණ ගලවලා සාමාන්‍ය ජීවිතේ හැසිරෙන විදියක් තියෙනවද, අන්න ඒ විදිය කතාව ලියන්නා යොදාගන්නවා අහුවෙන්නෙ සීමිත පොත් ප්‍රමාණයක. ලැජ්ජා, බය, නීති, සම්මුතිවලට අනුව හැඩගස්සපු, කොටුවලට බස්සපු චරිත, සුදු කළු විදියට නාමකරණය කරන්න පාඨකයාව පොළඹවන්නෙ නැති චරිත කියන්නේ, ගවේෂණය කරන්න ආස හිතෙන දෙයක්. චරිතවලට ඇත්තට ම හිතෙන දේවල්, යමක් හිතන ගමන් තව දහයක් දේවල් හිතන විදිය, ඒ හිතෙන ඇසිල්ලෙන් කටින් පිටවෙන දේ, තව කෙනෙක් ප්‍රතික්‍රියා කරන විදිය, තමන්ට හිතුණේ මේ දෙයයි කියල අනෙක් අයට පෙන්වන්න ඒත්තුගන්වන විදිය, තවත් මිනිහෙක් ඉස්සරහ මුහුණින් රඟපාන විදිය, ගැටුම් අවස්ථාවලින් බේරෙන විදිය, කොටින් ම මිනිස්සුන්ගෙ හිතට එන ප්‍රකෘති සිතිවිල්ල චරිතවලට ගන්න තරම් සූක්ෂම නිරීක්ෂණ ඇති, “මේක නේද ඇත්ත, මෙහෙම නේන්නම් මිනිස්සුන්ට හිතෙන්නෙ, මෙහෙමනෙ මිනිස්සු එදිනෙදා ගෙදරදොරේ දි හැසිරෙන්නෙ” කියල හිතෙන චරිත නිරූපණ සහිත පොතක් කියවන්න ලැබුණා. මේ පොතේ මාව වඩාත් ම ප්‍රහර්ෂයට පත් කළේ ඒ කිවුව චරිත හැසිරෙන, හිතන ස්වභාවෙ. සුභාෂිණි චතුරිකා විසින් පරිවර්තනය කරන්න යෙදුණු, ජොසේ සරමාගෝ ලියූ ‘පියැසි කවුළුව’යි ඒ. මේකෙ කතාවෙන්නෙ, පෘතුගාලයේ ලිස්බන් නුවර තට්ටු ගෙදරක ජීවත් වෙන පවුල් හයක් ගැන කතාවක්.
ඇතැම් කතාවල චරිත ජීවත්වෙන තැන, පරිසරය, ගොඩනැගිල්ල ආදිය මිනිස් හැසිරීම් සිදුවීම් තේරුම්ගන්න අනියමෙන් දායකවෙනවා. විසාල මන්දිරවල, මූදුකරේ පේන මානයේ, හිස් ගොඩනැගිලි පිරුණු නගර, වලව්…මෙතන දි තට්ටු නිවාස. මේ ගොඩනැගිල්ල, කතාව ගොඩනගන්න ලබාදෙන සහය සුලුපටු නෑ. තට්ටු ගෙයක ඉන්නව කියන්නෙ, උප කුලක එක්ක ඉන්න ලොකු කුලකයක් වගේ. ඉහළ තට්ටුවේ වෙන සද්ද බද්ද, සීරීම්, අඩි තැබීම්, කැහි, අඬදබර පහළ තට්ටුවට ඇහෙනවා. එක කවුළුවකින් බලද්දි තව තට්ටුවක කවුළුවල තිර අතරින් තමන් වගේ ම ජීවත්වෙන මිනිස් චරිත පේන්න ගන්නවා. තාප්ප ගහල වැටවල් ගහල වෙන ම ජීවත්වෙනව වගේ නෙමේ. ‘එමා බෝවාරි’ නවකතාවේ එමා හුදකලාවේ විසල් මන්දිරේ තනියම තරුණවිය ගෙවාහරිද්දි, කමලාදාස් මුදූකරේ හිස් ගොඩනැගිලිවල සැරිසරද්දි, ‘පියැසි කවුළුවේ’ කාමර අතර දුව මියගිය කාන්තාවක වන ජස්ටිනා අවතාරයක් වගේ ඇවිදිනවා. මේ ඉන්නෙ, ප්‍රගීත් රත්නායකගේ “එකලස් රූප” චිත්‍ර ප්‍රදර්ශනයේ මහල් නිවාසයක ඉන්නවා වගේ පේන මිනිස්සු සහිත චිත්‍ර. ළඟ ළඟ ම ඉන්න නමුත් වෙන වෙන ම ඉන්න මිනිස්සු.
මේ නිසා, “රියල්” කියල දෙයක් තියෙනව නම්, පියැසි කවුළුවෙ බොහෝ චරිත අපි හිතන් ඉන්න “රියල්” එකෙනුත් රියල් එක වෙත යන්න සමත් වෙනවා. මේ සැබෑව සාහිත්‍ය නිර්මාණයකින් එළියට එද්දි කියවන පාඨකයාට, නිර්මාණ ලෝකයෙදි හමුවෙන චරිත සහ සැබෑ ජීවිතේ තමාත් ඇතුළු චරිත කියල වෙන ම කොටස් දෙකක් – පරතරයක් නැති ය, හැමෝම එකවගේය කියල හිතෙන්න ගන්නවා.
චරිත නිරූපණය සහ චරිත විස්තරය කියන්නේ දෙකක්. “ඔහු මෙතරම් වයස කෙනෙක්, ඔහුට තරුණ පරම්පරාව ගැන තිබ්බේ සෘණාත්මක ආකල්පයක්” වැනි කාරණා ඉදිරිපත් කරමින් බොහෝකොට ම චරිතයේ හැඩය, සිරුර, ඉන්න තැන, හිතන විදිය ගැන සැකැස්මක් පාඨක මනසේ ස්ථානගත කිරීම, වචනයෙන් කීම චරිත විස්තරයයි. එතන දි කතුවරයා ඉදිරියට ඇවිත් චරිතය හඳුන්වාදෙනවා. නමුත්, චරිතය කරන කියන ඉතා කුඩා, සියුම් දෙයකින් හෝ චරිතය කියවාගැනීමට ඉඟි කිරීම, චරිතය මෙයාකාර යැයි අපට සිතාගන්නට ඉඩ සැලසීම චරිත නිරූපණයයි. මෙහිදී කතුවරයා චරිතය මවාදෙන බවක් පේන්නේ නැහැ. චරිතය තමා ම තමාගේ සැබෑ ස්වරූපයෙන් (කතුවර බලපෑමකින් තොරව) හැසිරෙනවා කියල අපිට හිතෙනවා. ‘පියැසි කවුළුවෙ’ න් මෙය විමසතොත්, ලිඩියා බැලීමට පැමිණෙන ඇගේ මව සම්බන්ධයෙන් වන චරිත විස්තරය නම්, ඇය දියණියගෙන් මුදල් ලබාගැනීමට මාසයකට කිහිපවරක් තට්ටු නිවසට පැමිණෙන ආකාරයේ මවක බවයි. නමුත් චරිතය නිරූපණය වන අවස්ථාව කුමක් ද? අවසන් වරට එහි ඇය පැමිණිවෙලේ ලිඩියා දුන් තේ කෝප්පය බිවූ ඇය එහි අඩියේ ඇති සීනි ටික හැන්දෙන් සූරා කෑ මොහොතයි. මේ මොහොතෙන් පසු ඇයව අපට පෙනෙන්න ගන්නේ, කතුවරයා අපට පෙන්වන දෘෂ්ටියෙන් නොවේ. ඇය මෙවැන්නියකැයි පාඨකයා දැනගත යුතු යැයි කතුවරයා උපකල්පනය කරන දේ, මේ කුඩා සිදුවීමෙන් නොපිට පෙරළෙනවා. ඊට හේතුව, චරිතය කැමරාවට, නවකතාවට නොව සැබෑවට ම නිවසේ සිටියදී කරන කියන දේ කරන බව අපට හැඟීයාමයි. වියපත් මිනිසුන්ට ලෝකයා තමා ඉවතට දමා ඇති බවක් හැඟී දැනී යනවා වගේ ම, කුඩා මොහොතවල් පවා උපරිම ආස්වාදය කිරීමට දරන ප්‍රකෘති තැන් ගැන මේවා ඉඟිකරනවා. මේ වියපත් පරම්පරාවයි තරුණ පරම්පරාවයි අතර ජීවිතේ ගැන කෙරෙන බුද්ධි සංවාදයක් අපිට සිල්වෙස්ත්‍ර සහ අබෙල් අතර සංවාදවලින් කියවන්න ලැබෙනවා.
නිතර ම රණ්ඩු වෙන්න බලන් ඉන්න කාමර්න්ගෙන් දීර්ඝකාලීනව පීඩා විඳිමින්, ඒ පීඩාව දරලා ම ගලක් වගේ නිහඬ වුණු එමිලියෝ තමන්ගෙ පුතා අසනීපෙන් නිදාගෙන ඉද්දි ඔහුට නෑහෙන බව දැනදැන කරන කතාව, ලිඩියා තම පෙම්වතා පොලීනෝ සහ මිතුරිය යන දෙදෙනා ම එක්ක කරන කතාබහ(ස්ත්‍රී සිතිවිලි හැසිරීම් – යක්ෂයාට ආදේශ කිරීම), ජස්ටිනා සහ සැමියා එකිනෙකා පිළිකුල් කරමින් බැණවදිමින් සිටිනාතර ම රමණය, කාමර්න් යක්ෂාවේශෙන් බැනගෙන යද්දි එමිලිනෝ සංයමයෙන් ප්‍රතිචාර දැක්වීම ආදිය ‘පියැසි කවුළුවේ’ ස්වර්ණමය තැන් කියල මට හිතෙන්නෙ. ඔවුන් එකිනෙකා වෙත පළකරන බැලුම්, ඉරියව්වලට ප්‍රතික්‍රියා දක්වන විදිය ඉතා සූක්ෂම, ‘ඇත්ත’ කියලා දෙයක් ඇත්නම් එයින් ම ගෙතූ වියමනක් වගේ. මිනිස්සුන්ව කියැවීම, ඔවුන්ගේ ශරීර භාෂාව කියැවීම, ඔවුන් කියන වචනවලින් ඔවුන්ව කියැවීම කියන විශයට උනන්දු අයට මේ පොත ප්‍රයෝජනවත්.
ගාෂියා ලෝකාගේ “බර්නාදාගේ සිපිරිගෙය” සුඛාත්මයක් වුවොත් කොහොමද, අන්න ඒකාරයේ පවුලක් මේ තට්ටු නිවසේ වෙසෙනවා. අම්මත්, ඇගේ සොයුරියත්, දුවලා දෙන්නත්. මොවුන් රේඩීයෝවෙන් ඔපෙරා ජෑස් සංගීතෙ අහන, පොත් කියවන, තමන්ගෙ ම ලෝකෙක ඉන්න පවුලක්. මේ දුවලා දෙන්නා, ඉසෝරාත් අන්ද්‍රියානාත් අතර රැයක සිද්ධවෙන වැළඳගැනීමක් සිපගැනීමක් නිසා, එතෙක් ගලාගෙන ආව කතාවේ ටුවිස්ට් එකක් වෙනවා. කාන්තාවන්ට කැමැත්ත ඇතිවෙන්නේ පිරිමි අය කෙරේ පමණයි/පුරුෂයන්ට කැමැත්ත ඇතිවන්නේ කාන්තාවන් කෙරේ පමණයි වැනි දෙයකින් එහාට තමන්ගෙ ම ගෙදර මිනිස්සු, අවට ඉන්න මිනිස්සු, වැඩපොළේ, වත්තෙ පිටියෙ, පාරෙ මිනිස්සු ගැන දැනෙන එක සාමාන්‍ය දෙයක්. මිනිසෙක්ට මිනිසෙක්ව වැළඳගන්න හිතෙන එක සාමාන්‍ය තත්වයක්. මේ වැළඳගැනීම ඇතිවෙන්නෙ එක ම පවුලෙ සහෝදරියන් අතරෙ. ‘පියැසි කවුළුව’ පොත මැදක් හරියට එද්දියි මේ බොහෝ පවුල්වල “නාට්‍යමය ගැටුම” නිර්මාණය කරන්නේ. මේක න්‍යායාචාරීවරු විස්තර කරනවා හරියට කන්දක් උඩ තියෙන ගලක් වගේ කියල. කොයි අතට පෙරළෙයිද දන්නෑ. හැබැයි ඒ පෙරළීමත් එක්ක සමස්තය වෙනස් වෙනවා. නවකතාවේ පවුල්වල කූඨප්‍රාප්ති අවස්ථා, උච්චස්ථාන මේ කන්ද උඩ තියෙන ගල වගේ. ඒ ඇයි? ඇතැම්වෙලාවට එක ගලක් නෙමේ, ගල් කිහිපයක් පතිත වෙනවා එක ම පවුලට.
කතාව ආරම්භයේ දී, සිල්වෙස්ත්‍ර, අන්ද්‍රියානා, ලිඩියා වගේ චරිත, කතුවරයා කතාවට අරන් එන්නෙ, එක් චරිතයක් කවුළුවෙන් බලද්දි ඔහුට හෝ ඇයට පෙනෙන ඊළඟ චරිතය විදියට. සිල්වෙස්ත්‍රට කවුළුවෙන් අන්ද්‍රියානාව පේනවා. ඔහු ඇය එක්ක කතාකරනවා. ඔන්න ඉපස්සෙ කතුවරයා අන්ද්‍රියානා කවුද කියල අපිට හඳුන්වා දීලා නවකතාවට එකතු කරගන්නවා. මේ ක්‍රමේ, හරි ම ආකර්ෂණීයයි. පහුවෙද්දි, කයිතානෝ කුන්හා නානකාමරේ ඉද්දි ජනේලෙන් ලිඩියාගෙ දිගු ඇඟිලි පෙනෙන මොහොත, කාර්මන් තමන්ගෙ පුතාට උපදෙස් දෙන හැටි කවුළුවෙන් දැකලා එයාව තේ කොළ ගේන්න කඩයට යවන ලිඩියා… එක චරිතයක් තව චරිතයක් එක්කයි ආයෙ කතාවට එක්කසු වෙන්නෙ. විශේෂත්වය තමයි, කතාවෙ මුල දි අවශේෂ, සුලු චරිත කියලා හිතුණ මිනිස්සු, කතාව මැදක් වෙද්දි ආයෙ ආයෙ ඇවිත් ප්‍රධාන චරිත බවට පත්වෙන එක.
මේ පරිවර්තනයේ භාෂාව, මෑතකාලීනව මට කියවන්න ලැබුණු පරිවර්තනවලින් මුදුන්පෙළ තියන්න හැකි භාෂාවක්. ඉතා ම වියත්, පරිණත, පිළිවෙළ සහ ඉවසුම් සහගත බසක්. ඉවසුම් ගහගතයි කීවේ ඇයි? ඉක්මනින් පොත අවසන් කරලා මුද්‍රණය කරනවට වඩා, පරිවර්තිකාව ඉතා ම ඉවසීමෙන් සහ ආසාවෙන් වාක්‍යයක් වාක්‍යයක් ගානෙ ගිහින් හොයාබලලා තියෙන බව කියවද්දි දැනෙන නිසා. Sky Light ඉංග්‍රීසි පොතේ පිටු කිහිපයක් කියෙව්වා මුල් පොතේ භාෂාවත් පරිවර්තිත භාෂාවත් ගැන අදහසක් ගන්න. ඉංග්‍රීසි කෘතියේ එන වාක්‍යවල තානය, රිද්මය, ආකෘතිය පරිවර්තනයට ගන්න සුභාෂිණී චතුරිකා සමත්වෙලා තියෙනවා. ඉතා දිගු වැකි පවා, ව්‍යාකරණානුකූලයි. ලුහුඬු තැන් අහුවුණේ අතක ඇඟිලිවලටත් අඩුවෙන් වගේ. දෙයක් කියන්න පුලුවන් සරළ විදියත්, සුනම්‍ය විදියත්, ගැඹුරු විදියත්, වාක්‍යය එක තැන ඇනහිටින්නෙ නැතිව ගලාගෙන යන විදියත් ඉගෙනගන්න මේ පොතේ භාෂාව හසුරුවා තිබෙන විදිය පමණක් ම සෑහෙනවා. පරිවර්තනයෙ දි ඉක්මනින් අහුලාගන්න පුලුවන් ලේසි පහසු වචන වෙනුවට, සුදුසු ම වචනය යොදන්න ඇය උත්සාහ ගෙන තිබෙනවා. ඒ ඇතැම් වචන කලාතුරකින් දකින්න ලැබෙන වචන. ඒනිසා වාක්‍යය ම එළිය වෙනවා. මේ වගේ වෙලාවකදි මම කරන්නේ ඒ වැකිය හෝ වචනය ළඟින් සටහනක් යොදන එක. දෙතුන්පාරක් ආපස්සට යමින් ඒ වැකිය කියවන එක.නමුත්, ඇතැම් වැකියක් දෙකක් මම පොතක ලියාගත්තා.
“මීදුම පහව ගොස් ඇති අතර නුබ ගැබ, සුහුඹුල් වසන්තයේ නිල් පැහැයෙන් බැබළිණි. ඉර පායන්නේ බොහෝ ඈතක සිට මෙනි, ඒ තරම්ම වාතය නැවුම් සීතලකින් යුක්තය”
“කෝඩුකාර නිළියකගේ සයවැනි සංජානන ශක්තිය යොදාගනිමින්, ඇයගේ කමනීයත්වයෙන් සිය දෙමව්පියන්ව මුසපත් කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් ඇය ඔවුන් ඉදිරියේ සිටගෙන සිටියාය”
“මැයි මහේ උදෑහනක් වගේ එයා සුන්දරයි”
“රිද්දාගත් ගරුත්වයක ප්‍රකාශනයක් පැළඳගත් ලිඩියාගේ මව තම දියණිය වෙත ගියාය”
‘පියැසි කවුළුව’, පොත කියවන්න කලින් මුලින් කියෙව්වේ එහි පසුවදන. එය මාව සංවේදී කළා. කතුවරයා ජීවතුන් අතර සිටින කාලයේ මුද්‍රණය විය යුතු නමුත්, ඔහු මියගියායින් පසු මුද්‍රණය වූ පොතක්. ඊටත් වඩා, 1953 දී තමාට ලැබුණු ඒ අත්පිටපත පිළිගත්තා ද ප්‍රතික්ෂේප වුණා ද කියලාවත් කතුවරයාට නොදැන්වූ ප්‍රකශකයෙක්ගේ ග්‍රහණයට අවුරුදු තිස් ගණනක් හසුව තිබූ පොතක්. තමන්ව ප්‍රතික්ෂේප වුණාද නැතිනම් තමන්ව පිළිගත්තද කියන දෙකෙන් එකක්වත් කියන්නෙ නැතුව, අවුරුදු ගානක් මිනිසෙක්ට වැනි වැනි ඉන්න සලස්වන එක, මානසිකව විඳවන්න සලස්වන එක සාහසිකයි. මේ සිත් පීඩනය විඳි කතුවරයා ජොසේ සරමාගෝ. අපි ජීවත්වෙන මේ දූපතටත් මේ පීඩනය පොදු තත්ත්වයක්. මෙතරම් ඇත්තක් සාහිත්‍ය නිර්මාණයකට ගේන මේ පොත, කතුවරයා ඉද්දි ම පළ නොවූයේ ඇයි කියල යමක් තේරෙන්න ගන්නවා කියවගෙන යද්දි. පණගැහෙන ඇත්තට වඩා, නිර්මාණාත්මක මුසාවලට ලෝකය ආසා වීම ඊට එක හේතුවක් වෙන්න පුළුවන්.
මාසයක් තිස්සේ ‘පියැසි කවුළුව’ කියෙව්වා. සුභාෂිණී චතුරිකාගෙන්, ඩිල්ශානි චතුරිකාට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා !
• ඩිල්ශානි චතුරිකා දාබරේ