ෂානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

දැනට සේවය අත්හිටුවා ඇති, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ෂානි අබේසේකර විසින් පසුගිය බදාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේ තමා දරමින් සිටි තනතුරේ නැවත පිහිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්, වැඩබලන පොලිස්පති, ජාතික පොලිස් කොමිසමේ සභාපති හා සාමාජිකයන්, ජාතික මැතිවරණ කොමිසමේ සභාපති හා සාමාජිකයන් සහ නීතිපති නම් කර තිබේ.

ඔහු චෝදනා කරනුයේ පසුගිය වසරේ නොවැම්බර් පැවති ජනාධිපතිවරණයෙන් පසුව වලංගු හේතුවක් නොමැතිව අපරාධ විමර්ශන දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයෙන් තමා ඉවත් කර දකුණු පළාතේ නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර වශයෙන් පත් කරනු ලැබූ බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ තමන් අතර වූ දුරකථන සංවාදයක් කරලියට ඒමත් සමග මෙම වසරේ ජනවාරි 7 සිට තම සේවය අත්හිටවූ බව කියා සිටින ඔහු ජාතික පොලිස් කොමිසම විසින් තමන්ට ලබා දුන් ස්ථාන මාරුව හා සේවය අත්හිටුවීම සම්පූර්ණයෙන් නීති විරෝධී බව පෙන්වා දෙයි.

තම සේවය අත්හිටුවීමෙන් මාස 07 කට පසුව වුවද තමන්ට විරුද්ධව කිසිදු විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා නොමැති බව ද ඔහු තවදුරටත් පෙන්වා දේ.

ඔහු ප්‍රකාශ කර සිටින්නේ අසද්භාවයෙන් යුතුව, සිය බලය ඉක්මවා ගත්, නීති විරෝධී හා නීතියට පටහැනිව ස්වභාව යුක්තියේ මූලධර්මයන්ට පටහැනිව පොලිස් කොමිසම විසින් ගත් තීරණය මගින් තමන් වෙනස්කොට සැලකීමකට ලක් කර ඇති බවයි.

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ සහ පොලිසියේ සාමාජිකයන් කිහිප දෙනකුම චෝදනා ලබන පළමු රාජපක්ෂ පාලන සමයේ සිදුකෙරුණු පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, වධහිංසා සහ ඝාතන මෙන්ම ඇවන්ට් ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවූ ප්‍රධාන නිලධාරියකු වන ෂානි අබේසේකර ඇතුළු රහස් පොලිසියේ නිලධාරීන් ගණනාවක්ම මාරු කර යැවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විගස පියවර ගන්නා ලදී. ඔවුන් විසින් කරන ලද විමර්ශන වෙනත් නිලධාරීන්ට පවරන ලදී.

එම විමර්ශන බොහොමයක ප්‍රධාන පරීක්ෂකයා වූ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ආණ්ඩු මාරුවත් සමග දරු පවුල සමග රටින් පලා ගියේය. ඒ සමගම රජය විසින් රහස් පොලිසියේ හත්සියයකට අධික නිලධාරීන් විදේශ ගතවීම තහනම් කොට තිබේ.

Social Sharing
නවතම