එක්සත් ජනපද පොලිස් ඝාතන හා ට්‍රම්ප් පාලනය

එක්සත් ජනපද පොලීසිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම බිහිසුනු අපරාධයකි. අප්‍රිකානු ඇමරිකානුවෙකු වූ ෆ්ලොයිඩ් සඳුදා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් බිම හෙලා පොලවට තදකරගෙන ගෙල සිරකිරීමෙන් අනතුරුව මිය ගියේය. ඔහුට යන්ට හරින ලෙස ඉල්ලා කෑගැසූ සෙනඟ ඉදිරියේ මෙය සිදුවිය. අපරාධයේ වැඩි හරියක් අසල සිටි අයෙකුගේ වීඩියෝ කැමරාවට සහ නිරීක්ෂන කැමරාවලට හසු විය.  ඩෙරෙක් ෂෝවින් නමැති සුදු පොලිස් නිලධාරියා, ඔහුගේ දනහිසෙන් මිනිත්තු ගණනාවක් ෆ්ලොයිඩ්ගේ ගෙල තදකරගෙන සිටිනු එක් වීඩියෝ දසුනක දැක්වෙයි. 46 හැවිරිදි ෆ්ලොයිඩ් මෙසේ කියනු ඇසින. “මට හුස්ම ගන්ට බෑ, ඔබ මාව මරන්න යනවා! ”  ඩොලර් දහයක හොර නෝට්ටුවක් භාවිතා කිරීමට උත්සාහ කල බවට වෙලඳසැලකින් ලැබුනු දුරකථන ඇමතුමකින් පසුව ෆ්ලොයිඩ් අල්ලා ගනු ලැබීය. වෙලඳසැලේ හිමිකරු පසුව මාධ්‍යයට කියා සිටියේ එය හොර නෝට්ටුවක් බව ෆ්ලොයිඩ් දැන සිටියේ දැයි තමා නොදන්නා බවයි. පොලිසිය වහාම එම ස්ථානයට පැමිණ ෆ්ලොයිඩ් ඔහුගේ වාහනයෙන් එලියට ගෙන මාංචු දමා ඔහුගේ සිරුර අඩපන වන තුරුම හුස්ම හිරකරගෙන සිටියේය.

George Floyd

ෆ්ලොයිඩ් අත්අඬංඟුවට ගැනීමට උදව් කල අනෙක් නිලධාරීන් තිදෙනා තෝමස් ලේන්, ටූ තාඕ සහ ජේ. ඇලෙක්සැන්ඩර් කුවෙන්ග් ය. නිල පොලිස් වාර්තාවේ ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනීමේදී ඔහු ප්‍රතිරෝධය දැක්වූ බව සඳහන් වුවද, ප්‍රාදේශීය අවන්හල් හිමිකරුවෙකු විසින් බදාදා නිකුත් කරන ලද නිරීක්ෂන වීඩියෝවෙන් පැහැදිලි වන්නේ, පොලිසිය ෆ්ලොයිඩ් මෝටර් රථයෙන් එලියට ගෙන මාංචු දමන අවස්ථාවේ ඔහු කිසිම ප්‍රතිරෝධයක් නොදැක්වූ බවය. මහ දවල් සිදුකල ඔහුගේ ඝාතනය කිසිදු ලෙසකින් හෝ සාධාරනීකරනය කල නොහැකි වුවද බදාදා සවස වන විටත් චාවින්, ලේන්, තාඕ සහ කුවෙන්ග් නිදහසේ පසුවූහ. පොලිස් දෙපාර්තමේන්තුව විසින් වැටුප් රහිතව ඔවුන්ගේ සේවය අත්හිටුවනු ලැබුවේත් පසුව ඩිමොක්‍රටික් නගරාධිපති ජේකබ් ෆ්‍රේ විසින් සේවයෙන් පහ කරන ලද්දේත් අඟහරුවාදා වන විට ඇවිල ගිය මහජන කෝපය හමුවේ පමනි. දහස් ගනන් සුදු හා කලු කම්කරුවන් හා තරුනයෝ, අඟහරුවාදා ෆ්ලොයිඩ් ඝාතනය  කල මංසන්ධියේ සහ අසල පිහිටි පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතා දැක්වූහ. පෙලපාලිය විසුරුවා හැරීම සඳහා පොලිසිය දිගින් දිගටම කඳුලු ගෑස් සහ මාරාන්තික නොවන  උණ්ඩ වලින් වෙඩි තබනු ලැබීය.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය එක්සත් ජනපද පොලිසිය සිදු  කල අපරාධ රැල්ලක නවතම අවස්ථාවයි. killbypolice.net වෙබ් අඩවියට අනුව මේ වසරේ මේ දක්වා පොලිස් ඝාතන 400 ක් සිදුව තිබේ. සෑම වසරකම ඝතනයට ලක්වන සංඛ්‍යාව 1,000 කට වඩා වැඩිය. පොලිස් ප්‍රචන්ඩත්වයට ජාතිවාදය දායක වන බවට සැකයක් නැත. පොලිසිය විසින් ඝාතනය කර ඇති වැඩිම පිරිස සුදු ජාතිකයින්ය.  අප්‍රිකානු ඇමරිකානුවන් සහ හිස්පැනික්වරු හිරිහැර, අපයෝජන, අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් සඳහා අසමාන ලෙස ඉලක්ක කරගෙන ඇත. ට්‍රම්ප් පරිපාලනය හිතා මතාම, පොලිස් නිලධාරීන් ද ඇතුලු වඩාත් පසුගාමී හා ප්‍රතිගාමී බලවේග ගොඩනගා ඇත. “ මැරයා” ට එරෙහිව “රලු” ප්‍රතිචාර දැක්වෙන වීඩියෝ පට නැරඹීමට තමා කැමති බව ට්‍රම්ප් දක්වා ඇත. “එතරම් කරුණාවන්ත වෙන්න එපා ” යයි ඔහු පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත. කෙසේ වෙතත්, පොලිස් ප්‍රචණ්ඩත්වයට වාර්ගික සතුරුකම පමණක් නොව පන්ති පරපීඩනය ද බලපා ඇත. ඇමරිකානු පොලිස් ප්‍රචන්ඩත්වයට ගොදුරු වූ

කලු, සුදු, හිස්පැනික් හෝ ස්වදේශික ඇමරිකානුන් අතර පවතින පොදු ලක්ෂනය නම් ඔවුන් දුප්පත් සහ ජනගහනයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් වීමයි.

මෙම භීෂණකාරී ප්‍රචන්ඩත්වය, ඩිමොක්‍රටික් ජනාධිපති බැරැක් ඔබාමාගේ රැකවල යටතේද පැවති අතර ෆැසිස්ට්වාදී රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ද පවතී. පවතින ආන්ඩුව ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් වේවා, නගරාධිපති හෝ පොලිස් ප්‍රධානියා කලු ද සුදු ද ගැහැනු ද පිරිමි ද හෝ වේවා, සමලිංගික හෝ එසේ නොවන අයෙකු වේවා, පවතින ධනපති ක්‍රමය යටතේ පොලිස් ඝාතන අඛන්ඩව සිදු වේ. විශේෂයෙන් පොලීසියේ ම්ලේච්ඡ ක්‍රියාවන් හා හිංසනයන් ප්‍රසිද්ධියේ හෙලිදරව් වීමෙන් පසු, ඒවා අනිවාර්යයෙන්ම චිත්‍රපට මාතෘකා වීමට ඉඩ ඇති හෙයින්, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් දේශපාලඥයෝ එම අපරාධ පිලිබද විමර්ශනය කරන බවට ව්‍යාජ පොරොන්දු දෙති. සෑම විටම පාහේ මෙම විමර්ශන, නඩු පැවරීම් සහ දඬුවම් නියම කිරීම් දක්වා හෝ ඉදිරියට යාමට අසමත් වෙයි.

Social Sharing
නවතම විශේෂාංග