පොලීසිය රඹුක්කන සුද්දට වෙඩි තිබ්බේ ඇයි ?

පසුගිය 19 වෙනිදා රඹුක්කන සුද්දට වෙඩි තියලා මරලා දාන්න පොලීසිය කටයුතු කරනවා. පොලීසිය මේ ඝාතනය ගැන කියන්නේ තමන් අවම බලය භාවිතා කළා කියලා. උද්ඝෝෂකයින් කලහාකාරී විදිහට හැසිරුණා, ඒ නිසා තමන්ට අවම බලය භාවිතා කරන්න සිද්ධ වුණා කියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තල්දූවගේ ඉඳලා පොලිස්පති වික්‍රමරත්න දක්වා කතාව. රිය ධාවනය කරලා සිදුවුණ රිය අනතුරක් නිසා වසීම් තාජුඩීන් මැරුනා කියපු පොලීසිය ඊට අවුරුදු ගානකට පස්සේ කිව්වා නෑ මේක ඝාතනයක් කියලා. ආයුධ පෙන්වන්න ගිහිං ඇතිවුණ කලබල අස්සේ පාතාල නායකයෝ කියලා පොලීසිය ලේබල් කරලා හිටිය පුද්ගලයන් ගොඩකගේ ඔලු කුඩු වුණ ඉතිහාසයක් පහුකරගෙන අපි අද වෙනකොට රඹුක්කනට ඇවිත්.

ඇත්තටම රඹුක්කන මොකද වුණේ? අපි මේ පොලිස් ප්‍රචණ්ඩත්වය ගැන හැමදාම කතා කරනවා. දේශපාලකයන්ට කඩේ යන පොලිස් ලොක්කෝ මිනිස්සු මරලා සාටක අස්සේ හැංඟෙන කාලයක් මේක. මෙහෙම කාලයක් 2005 ඉඳලා 2015 වෙනකම් තිබුණා අපිට මතකයි. රජයේ ආරක්ෂාව මධ්‍යයේ හිටපු හිරකාරයෝ ලිස්ටෙකට අඬගහලා ඔලුව කුඩුවෙන්න වෙඩි තියලා දාපු අප කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන අපි රඹුක්කන කියවා ගන්නේ කොහොමද ?

 

ඇත්තටම රඹුක්කන මොකද උනේ ?

රඹුක්කන කියලා කියන්නේ සපරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයිති නගරයක්. රඹුක්කන ගියාම මට නිතරම හිතෙන්නේ මේක හුදකලා අඳුරු නගරයක් කියලා. කෝච්චිය තමයි මේ නගරය කොළඹ සහ නුවර එක්ක ගැටගැහුවේ. අපිට අද ව්‍යාධියක් වෙලා තියෙන රාජපක්ෂ පවුල් පාලනය වගේම තමයි, කෑගල්ලට ව්‍යාධියක් වුණ මහීපාල පවුල් පාලනය. රඹුක්කන කියලා කියන්නේ මහීපාලලාගේ ලෝකය. ඒක තමයි ඇත්ත. කෑගල්ලට අලුතින් පොලිස් ලොක්කෙක් එනවා නම් ඒ එන්නේ මහීපාලලාගේ එකඟතාවය උඩ. නූරියේ අතකොටා වගේ දාමරිකයෝ නිර්මානය කරපු, කාලයක් සපරගමුවේ මහ ඇමති වෙලා හිටපු මහීපාල හේරත් ලා, කෑගලු රටේ රජවරු වගේ තමයි ඉන්නේ. ඉතිං අපි දැන් අලි සෙල්ලම් තියෙන රඹුක්කනට නැවතත් යමු.

පහුගිය අප්‍රේල් 17 ඉඳලා රඹුක්කන නගරයට තෙල් නෑ. මිනිස්සු තෙල් පෝලිම්වල හෙම්බත් වෙලා තමයි හිටියේ. 18 දවසෙත් මිනිස්සු තෙල් පෝලිම් වල. මේ අහු අස්සේ තමයි නැවත වටයකින් තෙල් මිල වැඩිවෙන්නේ. මේ වැඩිවීම එක්ක ඔන්න මහීපාල සහ කනඛගේ ව්‍යාපාරික ගජමිතුරෝ ක්‍රියාත්මක වෙලා තෙල් බවුසරයක් රඹුක්කන නගරයට එවනවා. මේ තෙල් බවුසරය එවීම වගේම ඒක ප්‍රමාද කිරීම සමූපාකාර සභාපති ගැන විශාල ප්‍රශ්න ගණනාවක් කරළියට ඇවිත් තිබෙනවා. මේ තෙල් බවුසරය එන්නේ 19 දවසේ උදේ. ඇත්තටම 19 වැනිදා උදෑසන 1කේ විතර ඉඳලා තමයි මේ උණුසුම තිබිලා තියෙන්නේ. මේක එන්නේ පොලිසීය ගෙන්වලා දෙනවා වගේ නාට්‍යක් අස්සේ. මිනිස්සු මේ බවුසරයෙන් තෙල් ගැනීම ප්‍රතික්ෂේප කරනවා. මිනිස්සු කියන්නේ මේක පරණ තොගයෙන් ආපු සඟවගෙන හිටිය බවුසරයක් කියලා. කොහොම වුණත් ඒ කතාව එතනින් ඉවරයි.

රඹුක්කන මිනිස්සු අප්‍රේල් 19 දවසේ උදේ ඉඳලා උයාපිහාගෙන කාලා සාමකාමී විදිහට තෙල් මිල වැඩි කිරීමට, තෙල් හිඟයට වගේම වර්තමාන ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වලා උද්ඝෝෂණය කරනවා. උදේ වරුවේ පොලීසිය මේ ජනතාව එක්ක තේ බොමින් සතුටින් ඉඳලා තියෙනවා කියලා තමයි රඹුක්කනින් එන ආරංචි කියන්නේ. මේ තිබුණ තත්ත්වය හවස එකපාරටම වෙනස් වෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ ? පිටතින් උද්ඝෝෂකයෝ ටිකක් රඹුක්කනට ආවා කියලා තමයි කතාව. ඒ අලුතින් ආපු කණ්ඩායමේ චර්‍යාවන් ප්‍රචණ්ඩයි. ඔවුන් එක පෙට්‍රල් ෂෙඩ් එකකට ප්‍රහාරයක් එල්ලකරනවා, ඒක වළක්වන්නේ මිනිස්සු මැදිහත් වෙලා. ඒ මැදිහත්වීමේ වීඩියෝ තියෙනවා. ඒකෙන් පේනවා මිනිස්සු සාමකාමී විදිහට තමයි මේ අරගලය මේ කණ්ඩායම එනකම් අරගෙන ගියේ කියන දේ. මේ සහාසිකයෝ රැල ආවට පස්සෙත් මිනිස්සු කලබල වෙන්නේ නෑ. ඔවුන් ඒ සහාසිකයන්ගේ ක්‍රියාවන් පාලනය කරන්න කටයුතු කරමින් ඉන්නවා.

ඊටපස්සේ පොලීසිය කියන බවුසරය ගිනි තියන්න හැදුවා කියන කතාවත් අතේ පැලවුණ පට්ටපල් බොරුවක්. උද්ඝෝෂකයෝ බවුසරය ළඟ ඉන්නකොට බවුසරය නිරුපද්‍රතයි. හැබැයි පොලීසිය මිනිස්සුන්ට ගහලා එලෙව්වට පස්සේ බවුසරය ආබාධිතයි. මේකෙන් පේනවා පොලීසිය සහ මේ අතුරු හමුදාවේ කතාව. නැත්තං නාට්‍ය මොකද්ද කියන එක ගැන.

 

ගහන්න නියෝගය ආවේ කොහොමද?

දැනගන්නට තියෙන විදිහට රඹුක්කන නගරයේ මේ උණුසුම දවස් කිහිපයක් පවතිනවා. ඒ කාලාවකාශයේ පොලීසියට උවමනාව තිබුණනම් වතුර බවුසරයක් දෙකක් ගෙනල්ලා තියාගන්න තිබුණා, කැරලි මර්දනය සඳහා. කඳුළු ගෑස් උණ්ඩත් තිබිලා තියෙන්නේ 25-30ක් අතර. මේ ප්‍රමානයෙනුත් බාගෙට බාගයක් කල් ඉකුත් වෙච්ච ඒවා කියලා තමයි දැනගන්නට තිබෙන්නේ. හවස 4ට කිට්ටුවෙනකොට අර පිටින් ආපු මැර පිරිස කලහාකාරී විදිහට හැසිරෙන්න උනාට පස්සේ තමයි පොලීසිය කඳුළු ගෑස් ගහන්නේ. බාගෙට බාගයක් කඳුළු ගෑස් උණ්ඩ වැඩ කරන්නේ නෑ. ඒ එක්කම ජනතාව පොලීසියට ගල්මුල් ප්‍රහාරයක් එල්ලකරලා තියෙනවා. හැබැයි පොලීසියට කඳුළු ගෑස් ගහන්නත් මෙතන කිසිම හේතුවක් තිබුණේ නෑ. මොකද අර කලහකාරි විදිහට හැසිරුණ කණ්ඩායමත් එතන හිටපු රඹුක්කන ජනතාවම මැදිහත්වෙලා පාලනය කරමින් තමයි තිබුණේ.

කඳුළු ගෑස් ප්‍රහාරය එක්ක පොලීසිය හිතපු විදිහටම මිනිස්සු ඇවිස්සෙනවා. ගල් ගහනවා. මේ ගල් ප්‍රහාරයට ප්‍රතිචාර විදිහට පොලීසියත් ජනතාවට ගල් ගහනවා. මේ වෙලාවේ කෑගල්ල ඩිවිෂනයේ පොලිස් ලොක්කා කෙළින්ම මේ ඊනියා ජනතා කැරැල්ල මර්දනය කරන්න රඹුක්කනට බැහැලා හිටියේ. අපි හැවෝම මේ ඩිවිෂන් ලොක්කා ගැන මේ වෙනකොට දන්නවා, එස්එස්පී කීර්තිරත්න. මිනිහට ගල් පාරක් වදිනවාත් සමග මිනිහා උද්ඝෝෂ්කයින්ට වෙඩි තියන්න අණ දීලා තිබෙනවා කියන දේ තමයි රඹුක්කන මේ සිද්ධිය ඇසින් දුටු මිනිස්සු කියන කතාව. ඒ වෙනකොට පොලීසියත් මිනිස්සුන්ට ගල් ගහමින් තමයි හිටියේ. පොලීසිය කොහොමද එහෙම ගහන්නේ? මිනිස්සු තව තවත් ඇවිස්සීම තමයි මේ ගල් ගැසීමේ අරමුණ.

 

වෙඩි තියන්න පුලුවන්ද?

‘ඇත්තටම මුලින්ම ජල ප්‍රහාරයක් තමයි එල්ල කරන්න ඕනී. ඒක වැඩ කළේ නැත්තං තමයි කඳුළු ගෑස් ගහන්නේ. ඒකත් වැඩකලේ නැතොත් තමයි රබර් උණ්ඩවලින් වෙඩි තියන්නේ. ඒකෙනුත් පාලනය කරන්න බැරිවුණාම තමයි අවම බලය භාවිතා කරලා වෙඩි තියන්නේ. හැබැයි ඒ නියෝගය දෙන්න කළින් භාෂා තුනෙන්ම අනතුරු ඇඟවීම කරන්න ඕනී. ඊට පස්සේ කවුද වෙඩි තියන්නේ කියන එකත් නම් කරන්න ඕනී. එහෙම නැතුව හිතුන හිතුන විදිහට වෙඩි තියන්න බෑ. ඔය කියන පොලිස් නිළධාරියා අන්ත දූෂිතයෙක්. මිනිහා ඒ වෙලාවෙත් බීලා ඉඳලා තියෙනවා කියලා තමයි ආරංචි. රාජපක්ෂ පවුලට හොඳටම කඩේ ගිහිං උසස්වීම් ලබාගත්ත පුද්ගලයෙක් තමයි ඔය පොලිස් නිළධාරියා. ඒ නිසා මේ වෙඩි තැබීම ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න ඕනෑ. අනික් පැත්තෙන් පොලිස්පතිටත් වඟකීමක් තියෙනවා පොලීසියේ නම කෙළසන මේ පුද්ගලයින් ගැන කරුණු හොයන්න’ මෙහෙම කිව්වේ දැනට පොලිස් සේවයේ ඉන්න දක්ෂ සහ උසස් නිළධාරියෙක්.

මේ කියන පොලිස් ලොක්කා මීට ටික දවසකට කළින් විශේෂ යතුරු පැදි අංශයක් කෑගල්ලේ ස්ථාපනය කරලා තියෙනවා. යතුරු පැදි 3යි. පොලිස් නිළධාරීන් හයයි. තුවක්කු අතැතිව මේ බයික්වල පිටුපස්සේ යනවා පොලිස් නිළධාරීන් තුන්දෙනෙක්. ගහන්න කියපු ගමන් මුලින්ම ගහලා තියෙන්නේ මේ කියන යතුරු පැදි අංශයේ පොලිස් නිළධාරියෙක් කියලා තමයි පොලීසිය ඇතුලෙන්ම එන තොරතුරු කියන්නේ. එහෙම ගැහිල්ල පටන් ගත්තට පස්සේ අතුරු පාරවල් වල දිගට හරහට ජනතාවට එලවා එලවා වෙඩි තියන්න මේ පොලිස් නිළධාරීන් ක්‍රියා කරලා තියෙනවා. කතාව මේකනම් මේ ගැහිල්ලටමද මේ යුනිට් එක පටන් ගත්තේ කියන සැකය අපිට එනවා. කොහොම වුණත් මේ ගල් ගැසීම්වලට වෙඩි තැබීම්වලට සහ ගිනි තැබීම්වලට රඹුක්කන පොලීසියේ නිළධාරීන් නොවෙන වෙනත් පොලිස් නිළධාරීන් පිරිසක් සම්බන්ධ බවටත් කතාවක් ඇසෙනවා. මේවා ගැන ඇත්ත සොයාගැනීම සීඅයිඩීයේ වැඩක්.

ඒ අස්සේ ඔවුන් යතුරු පැදියකට සහ ත්‍රීවිලර් රථයකට ගිනි තියලා තියෙනවා. මේ ගිනි තැබීම කළේ පොලීසිය කියන්න ඇසින් දුටු සාක්ෂි තිබෙනවා.

 

සුද්දා මැරුවේ කවුද? මැරුවේ ඇයි?

අපි දන්නවා මේ සිද්ධිය හින්දා මේ වෙනකොට එක පුද්ගලයෙක් මරණයට පත්වෙලා තවත් 3 දෙනෙක්ට බරපතළයි කියලා. ඔවුන් ජීවිතය සහ මරණය අතර වැනෙමින් තමයි දැනට ජිවත් වෙන්නේ. 17 දෙනෙක් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. මෙහෙම වෙන්න කිසිම හේතුවක් රඹුක්කන එදා තිබුණේ නෑ.

පොලිස් ලොක්කා උද්ඝෝෂකයින්ට වෙඩි තියන්න නියෝග කලාට පස්සේ පස්සෙන් පන්නමින් වෙඩි තියලා තියෙනවා. සමහර තුවාලකරුවන්ට වෙඩි වැදිලා තියෙන්නේ පිටුපසින්. මෙහෙම අතුරුපාරවල්වල පවා පොලිස් භීෂණය පැතිරෙනකොට අස්සක තිබුණ ත්‍රීවිල‍රයට ගිනි තියන්නේ පොලිස් නිළධාරියෙක්. මෙහෙම වෙඩි තිය තියා යන පොලීසිය ඉන්ධන පිරවුම් හල ළඟදී තමයි මරණයට පත්වුන කේ ඩී ලක්ෂාන් ට වෙඩි තියන්නේ. ඔහු ළඟ ඒ වෙනකොට තවත් පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. ඔහු ලක්ෂාන් අල්ලන්න හදනකොට පොලීසිය මොකද්ද කියන්නේ? පොලීසිය කියන්නේ ඇල්ලුවොත් උබටත් වෙඩි තියනවා කියලා. මේකෙන් පැහැදිලියි පොලිස් මාරයා ලක්ෂාන්ව සොයාගෙනම ඇවිත් කියන එක. දැනගන්නට තියෙන විදිහට වයස 42 ක් වුණ ළමයින් දෙන්නෙකුගේ තාත්තෙක් වෙච්ච ලක්ෂාන් ඒ වෙලාවේ ෂෙඩ් එකට ඇවිත් ඉඳලා තිබෙන්නේ තමන්ගේ ලොරියට ඩීසල් ගහගන්න.

මේ ලක්ෂාන් ගැන මාධ්‍යට අදහස් දක්වපු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියලා තිබුණේ මේ පුද්ගලයාට විරුද්ධව අධිකරණයේ නඩු දෙකක් තිබෙනවා කියලා. මම මේ කතාව ගැන නිකං සොයලා බැලුවා. මේ කියන ලක්ෂාන්ට රඹුක්කන මිනිස්සු කියන්නේ ‘සුද්දා’ කියලා. ඉස්සර රඹුක්කන රජකලා හර්ෂ කියලා පාතාල නායකයෙක්. මේ පාතාල නායකයා මහීපාලලා එක්ක එක එක නිතීවිරෝධී බිස්නස් කළා කියලා තමයි කෑගල්ලේ ප්‍රසිද්ධ. මේ හර්ෂ වෙඩි තියලා මරලා දානවා. ඒ මරණයට සැක කරන්නේ ‘සුද්දාව’, නැත්තං පොලීසිය ඝාතනය කරපු ලක්ෂාන්ව.

හර්ෂගේ ඝාතනය සහ මේ පොලිස් ඝාතනය අතර සම්බන්ධයක් තියෙනවාද කියලා මේ ලියුම්කරු දන්නේ නෑ. අවශ්‍ය නම් සීඅයිඩීයට මේ ගැන සොයලා බලන්න පුලුවන්. ඒත් කොස්සක් තියෙන බව පේනවා.

 

අධිකරණයේ දී පොලිස් හැසිරීම

මේ වෙඩි තැබීම සහ මරණය වෙන්නේ හවස 4ට විතර කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. ඒත් පොලීසිය මේක අධිකරණය වාර්තා කරන්නේ සෑහෙන්න ප්‍රමාද කරලා. පැය 26ක විතර ප්‍රමාදයකට පස්සේ තමයි මහේස්ත්‍රාත්වරිය ඒ ස්ථානය පරීක්ෂා කරන්නේ. ඒ ප්‍රමාදය අස්සේ සාක්ෂි විනාශ කළා කියලත් කතාවක් තිබෙනවා. ඒ ගැන සොයලා බැලීමේ වඟකීම තියෙන්නෙත් පොලීසියට. කොහොමවුණත් පොලීසිය මුලින්ම අධිකරණයට මේ ගැන ඉදිරිපත් කරන්නේ ‘A’ වාර්තාවක්. එම වාර්තාවට කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න විරෝධය දක්වලා තිබෙනවා. ඊටපස්සේ පොලීසිය ‘B’ වාර්තාවක් ඉදිරිපත් කරනවා.

කොමහොම හරි පොලීසිය පස්සේ දාන ‘B’ රිපෝට් එකෙන් අනියමින් මේක ඝාතනයක් කියන එක පිළිඅරගෙන තිබෙනවා. ඒ 298 වගන්තිය යටතේ මේ B රිපෝට් එක ඉදිරිපත් කිරීම හරහා. ඒත් මහේස්ත්‍රාත්තුමිය ස්ථානීය පරීක්ෂාවට යන අතරතුර මේ කාරණාව ටිපෙක්ස් කරන්න පොලීසිය කටයුතු කරනවා. ඒ වෙනකොට මේ ලියවිල්ල අධිකරණය භාරයේ තිබෙන එකක්. මේ ටිපෙක්ස් කිරීම අධිකරණයට කරපු අපහාසයක් කියලා තමයි මේ නඩු විභාගය නැවත ආරම්භ වුණාම නීතීඥයන් තර්ක කරන්නේ. ඒ සමග නීතිඥයන් ඉල්ලා සිටින්නේ මේ පරීක්ෂණ භාරව කටයුතු කරන පොලිස් නිළධාරියා අත්අඩංගුවට ගන්න ඕනී කියලා. ඒත් පොලීසියේ ඉල්ලීම එක්ක මහේස්ත්‍රාත්තුමිය මේ පොලිස් නිළධාරියාව අත්අඩංගුවට ගන්න නියෝග කරන්නේ නෑ. ඒත් ඇය මේ ගැන පරීක්ෂනයක් කරන්න කියලා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරනවා.

අප්‍රේල් 20 දවස නිමාවෙනකොට රඹුක්කන පොලිස් නාටකය අවසන් වෙන්නේ එහෙම. මේකෙන් පේන්නේ පොලීසිය මේ සිද්ධිය නිසා මේ වෙනකොට හත්පොළේ ගාගෙන ඉන්නේ කියන එක. පොලීසිය දැන් මොන වේශයෙන් ආවත් මේ ඝාතනය සාධාරණීය කරණය කරන්න හෝ සත්‍ය යටපත් කරන්න පොලීසියට ඉඩ ලැබෙන්නේ නෑ. ඒ හින්දා මේ ඝාතනයට අණ දුන්න පොලිස් නිළධාරියා වගේම වෙඩි තියපු පොලිස් නිළධාරීනුත් මිනී මැරීම සහ මිනී මරන්නට තැත් කිරීම කියන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්න ඕනී.

නීතීඥයන් අධිකරණයට මේ ගැන කරුණු වාර්තා කරමින් ප්‍රකාශ කරලා තියෙන්නේ නියෝගය දුන්නේ කවුද සහ වෙඩි තිබ්බේ කවුද යන්න පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරන්න අවශ්‍යයි කියලා.

අද සවස පටන් ගන්න නඩු විභාගයේදී පොලීසිය එම තොරතුරු අධිකරණය වෙත ඉදිරිපත් කරාවිද? ඒක ප්‍රශ්නාර්ථයක්..!

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග