ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වන විට විපක්ෂය

 

 ලබන සතියේ  පාර්ලිමේන්තුව රැස් වන විට ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ මහින්ද මහතා අගමැති ධූරය දරණ කැබිනට් මණ්ඩලයක් පත්ව තිබෙනු ඇත. ජනාධිපතිවරයා ජාතිය අමතනු ඇත. වෙනසක් වෙනවා නම්  සිදු වනු ඇත්තේ බැසිල්, චමල්, නාමල්, ශෂින්ද්‍ර යන රාජපක්ෂලාගේ නම් එම කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොවී තිබීමය. “අපට බහුතරයක් තිබෙනවා. සැකයක් තිබෙනවා නම් 113 ක් අත්සන් කර විශ්වාස භංගයක් ගෙනවිත් පෙන්වන්න. අපි විපක්ෂයට යන්නම්. කැමති කෙනෙක් ආණ්ඩුව අරගෙන කරන්න.”යි මහින්ද මහතා කියනු ඇත. මෙය අලුත් අභියෝගයක් නොවේ. අර්බුදය ඇවිලී යද්දී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට කළ අභියෝගයමය.
ඇඳිරි නීති, මර්දන පොලිස් ප්‍රහාර, කඳුලු ගෑස්,අත් අඩංගුවට ගැනීම්, විෂකුරු ජාතිවාදී ආගම්වාදී ප්‍රචාර, බියගැන්වීම්, ආදී සියල්ලට මුහුණ දී මහා ජන සටනක් ජනතාව එකහඬින් සමගි වී කළ පසුවද අර අභියෝගය එසේම ඉතිරි වී තිබීම ගැන විපක්ෂය කියන්නේ කුමක්ද ?
රාජපක්ෂලා බලයට පත් වූ දින සිට විපක්ෂයේ පක්ෂ කීවේ රාජපක්ෂලා වැරදි බවය. ජනතාව අවදි විය යුතු බවය. ජනතාව සූදානම් නම් තමන්ද සූදානම් බවය. රට ගොඩ නැගීමේ වැඩ පිළිවෙල තමන් සතු බවය.
රාජපක්ෂලා පැන්නීමේ ජනතා අරගලය ජනතාව පාර්ලිමේන්තුවේ දොරකඩටම ගෙනවිත් දී ඇත. එහෙත් එම මහජන සටන ව්‍යවස්ථාදායකයේ සටනක් බවට පත් කිරීමට මේ වනතුරුත් විපක්ෂය කටයුතු කර තිබේද ?
මිනිසුන් පලයන් කියද්දීත් බලය අත්හැර නොයන ජනාධිපතිවරයා ඉවත් කළ හැකි එකම ව්‍යවස්ථානුකූල ක්‍රමය තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය දෝෂාභියෝගයයි. එම තුනෙන් දෙක ලබා ගැනීම තබා සරල බහුතරයකකින් අගමැති වරයා සහිත ආණ්ඩුව පැරදවීමට අවශ්‍ය විශ්වාසභංගයට අවශ්‍ය 113 වත් සකසා ගැනීමට විපක්ෂය අවංක උත්සාහයක් ගෙන තිබේද ? ස්වාධීනවූ හිටපු ඇමති දයාසිරි ජයසේකර  සජබයට කීවේ තමන්ට නොපෙන්වා හදන විශ්වාස භංගවලට අත්සන් කිරීම තමන් සූදානම් නැති බවය. “හොඳයි පෙන්නලා හැදුවාත් තමුන් ඊට අත්සන් කරනවාදැයි”     දයාසිරිගෙන් අසන්නට සජබයේ කිසිවෙක් සිටියේ නැත.
⁣අර්බුදය පුපුරා ගිය මේ මොහොතේ අවශ්‍ය වන්නේ පුර්ණ පරිසමාප්ත වැඩ පිළිවෙලක් නොව ඊ ළඟ මැතිවරණයේදී ජනතාව  තමන් කැමති ආණ්ඩුවක් බලයට පත් කර ගන්නා තුරු  අසහනයට පත් ජනතාවට තවත් වධ නොදී රට යහතින් පවත්වා ගැනීම සඳහා ඉවහල් වන පොදු අවම වැඩ පිළිවෙලකි.
 එවැනි පොදු අවම වැඩ පිළි⁣වෙලකට විපක්ෂයේ  හා  ආණ්ඩු පක්ෂයේ රාජපක්ෂ විරෝධී මන්ත්‍රීවරුන් එකතු කිරීමට විපක්ෂයේ කිසිම පක්ෂ නායකයකු පියවර ගත්තේ නැත.ඒ සඳහා කිසිම  අවංක සාකච්ඡාවක් සිදුවන අයුරු අපි නොදුටුවෙමු.
ඒ වෙනුවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, විස්ස අහෝසිකිරීම, දෝෂාභියෝග විශ්වාස භංග ගෙන  ඒම  තමන් ආණ්ඩුව ගත් පසු ඉන්ධන ⁣බෙදීම, ඉඩම් බෙදීම, ආදිය ගැන ක්‍රියා මාර්ගයක් නැති විසඳුම් ගැන කයිවාරු ගැසුවා පමණි.
“ඊ ළඟ මැතිවරණයෙන් බලය ලබා ගෙනම අපි කොරන්නම්” යැයි පැවසීම සුන්දර කතාවක් වුවද ඒ මැතිවරණය වන විට “කොරන්නට” රටක් ඉතිරිවී තිබේද යන්න විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු තමන්ගෙන්ම අසාගත යුතුය. විපක්ෂය තිබෙන්නේ පිකට් බෝඩ් උස්සාගෙන පාර්ලිමේන්තුව සභා ගර්භයේ යකා නැටීමට පමණක් නොවන බව ආර්ථික අර්බුදයේ  ජීවන බරින් පරිපීඩිත ජනයා වටහා ගන්නා විට  දැනට ව්ධායකට එරෙහිව යොමු වී ඇති ජන අරගලය ව්‍යවස්ථාදායකය දෙස⁣ට හැරෙනු ඇත.
(මෙය මෙසේ ලියන්නේ  විපක්ෂයට ඇති අවස්ථාවන් තවමත් මුලුමනින්ම මගහැරී නොමැත යන අවබෝධය සහිතවය.)
කරු පරණවිතාන 
Social Sharing
නවතම විශේෂාංග