‘ඉඩම් සංවර්ධන සංශෝධන පනත’ පසුගිය සිකුරාදා කිසිදු මන්ත්‍රීවරයෙක්ගේ විරෝධතාවයක් නොමැතිව පාර්ලිමේන්තුව තුල සම්මත වුණා. මෙම පනත ගැන දැනුවත් වූ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්ට එදින පාර්ලිමේන්තුවට ගොස් ලංකාවේ සුළු ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් හා පොදු ජනතාවගේ ආහාර හා වාසස්ථාන සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් එක වචනයක් කීමට වෙලාව හෝ උනන්දුවක් තිබුණේ නැහැ.
ලංකාවේ වාමාංශයට ඉඩම් ප්‍රතිසංස්කරණ අමතකා වුණා වගේ යන්න අලුත් ප්‍රස්ථාව පිරුලක් ලෙස එකතු විය යුතුයි. ජනතාව ආණ්ඩුව ගෙදර යවන්නේ නැත්තේ ආණ්ඩුවට කැමැති නිසා නෙවෙයි. අපි නොකරන කැප කිරීම, අදහා ගත නොහැකි කැප කිරීම ලංකාවේ සාමාන්‍ය ජනතාව දශක ගණනාවක් තිස්සේ කරනවා. ඔවුන්ට වෙලා නැහැ මේ පනත් කියවන්න, මේවාට විරුද්ධව සංවිධානය වෙන්න, ඔවුන්ට සිදුවෙලා තියෙනවා දිනපතා වැඩට ගිහින් තමන්ගේ දරුවන්ව, දෙමව්පියන්ව පෝෂනය කරන්න ඔවුන්ට හැකි පමණනින් තමන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න.
ත්‍රී වීලර් රියදුරාගේ සිට වැඩපොලේ අනේක දුක් විඳින කාන්තාවන්, වතුකරයේ කාන්තාවන්ට තමන්ගේ ඒදා වේල හොයන්නට කරන යුද්ධය අතරතුර මේ කෙටුම්පත් කියවලා විරුද්ධ වෙන්නට වෙලා නැහැ. අපි පාර්ලිමේන්තුවට නියෝජිතයින් පත් කරන්නේ ඒ්කටයි. අපි වෙනුවෙන් අපගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමටයි. ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට ආණ්ඩු බලය එනකම් ඉන්න අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ ඉඩම් පුද්ගලීකරණය කරන්න පනතක් ගෙනාවම ඒයට අඩුම ගානේ ඡන්දයක් ඉල්ලා සිටියත් ඒය කරන්න පුලුවන්.
මාධ්‍ය සංදර්ශන, මහා රැලි වගේ නාටක ඇරුණාම ආණ්ඩුකරණයේ තාක්ෂණික කරුණු සමිබන්ධයෙන් වාමාංශිකයෝ උනන්දු නොවීම නිසා අපේ රටේ ජනතාවට හෙට දවසේ ගෙවන්නට සිදුවෙන වන්දියට කවුද වග කියන්නේ ?
ඉඩම් සංවර්ධන සංශෝධන පනතට විරුද්ධ විය යුත්තේ ඇයි?
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ රජයේ ඉඩම් භුක්තිය සඳහා බලපත්‍ර මගින් ලබා දෙන අතර කලක් භුක්ති විඳින ලද බලපත්‍ර ඉඩම් ප්‍රදාන වශයෙන් පිරිනැමේ. 1927 දී පැවති ඉඩම් කොමිසමේ ප්‍රතිඵලයක් ලෙස 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත ගෙන ඒ්මේ ප්‍රධාන අරමුණක් වන්නේ ඉඩම් රහිත ගම්බද ගොවීන්ට ඉඩම් ලබා දිමයි. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මගින් පෞද්ගලික ඉඩම් හිමිකාරිත්වය සිමා කරමින් ඉඩම් රජයට පවරා ගැනීමත් සමගම ලංකාවේ මේ වනවිට රජයේ ඉඩම් හිමිකාරිත්වය මුළු ඉඩම් ප්‍රමාණයෙන් 80% ක් පමණ වේ. මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ වල අරමුණ වන්නේ ඉඩම් පොදු හිමිකාරිත්වයක පැවතීමත් රජය මගින් සාධාරණ ලෙස පොදු අරමුණු සඳහා සහ ගම්බද ගොවි ජනතාවගේ රැකියාවන් ආරක්ෂා වෙන ආකාරයෙන් ඉඩම් ජනතාවට බෙදාදීමයි. මෙම ඉඩම් භුක්ති විඳීමේ සහ තම දරුවන්ට උරුම කිරීමේ සම්පූර්ණ අයිතිය ප්‍රදානපත්‍ර ලාභියා වෙත තිබුණද, එම ඉඩම් උගස් කිරීමට හෝ විකිණීමට බාධා පනත තුල ඇත.
1969, 1975 සහ 1981 වර්ශවලදී කරන ලද සංශෝධන මගින් ප්‍රදානපත්‍ර ඉඩම් උගස් කිරීමට ඉඩ ලබා දී තිබුණ ද ඒය පහත සඳහන් කොන්දේසි වලට යටත් වය.
- ප්‍රදාන ඉඩම් උගස් කල හැක්කේ රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතනවලට පමණි.
- උගස් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය ලබා ගත යුතු වේ.
- යම් කිසි හේතුවක් නිසාවෙන් ණය ගෙවා ගත නොහැකිව ඉඩමේ භුක්තිය බැංකුවට පැවරුනද එය අධිකරණ නියෝගයක් මගින් පවරා ගත යුතුවේ.
- එම ඉඩම නැවත විකිණීමේදී ඉඩම් කොමසාරිස්වරයාගේ අවසරයට යටත් වන අතර ඉඩම් කොමසාරිස්වරයා විසින් අවසර ලබා නොදෙන අවස්ථාවන්වලදි විකිණිම නිති විරෝධී වේ.
- යම් අවස්ථාවන්වලදී අදාළ ගෙවිය යුතු මුදල රජය විසින් අය කර දෙයි ( ලියාපදිංචි සංස්ථා සම්බන්ධයෙන්)
ඒ් අනුව ඉඩම උගස් කරනා අවස්ථාවේදී මෙන්ම නැවත විකුණන අවස්ථාවන්වලදී රජයේ අධීක්ෂණය යටතේ එම ක්‍රියාවලිය සිදු වේ. එම අධීක්ෂණය මගින් ඉඩම් මහා පරිමාණ වශයෙන් පුද්ගලීකරණය වීම වලක්වා ගැනීමට හැක. විශේෂයෙන්ම බැංකු මාර්ගයෙන් ඉඩම් අත්පත් කර ගනිමින්, බැංකු විශාල ඉඩම් හිමියන් බවට පරිවර්තනය වීම, මෙම අධීක්ෂණ ක්‍රියාවලිය මගින් වලක්වා ගත හැකි වී ඇත.
නව සංශෝධන
2022 සංශෝධනය මගින් උගස් කිරීමට අදාළව පවතින නියාමනයට වෙනස් කම් දෙකක් සිදු කර ඇත.
- වාණිජ බැංකුවලට මෙම ඉඩම් උගස් කිරීමේ හැකියාව ඇති කිරීම
- ප්‍රදාන පත්‍ර ලාභියා විසින් ඉඩම් උගස් කරන අවස්ථාවේ දී ඇති රජයේ අධීක්ෂණය ඉවත් කිරීම
ඒ් අනුව දැන් ප්‍රදාන ඉඩම් රජයේ අවසරයකින් තොරව වාණිජ බැංකුවලට උගස් කිරීමේ හැකියාව ඇත.
මෙම සංශෝධනය ගොවීන්ට හා ප්‍රදාන පත්‍රලාභී අනෙක් ජනතාවට ණය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය පූුළුල් කිරීමක් ලෙස පෙන්වා දී තිබුණ ද ඇත්ත වශයෙන්ම 2022 ඉඩම් සංවර්ධන පනතේ 4 වන වගන්තිය මගින් සිදු කරන්නේ රජය මතු ඉඩම් මත උගස්කර ඇති කර ගනිමින් ඉඩම් මූල්‍යකරණය කිරීමට පෞද්ගලික වාණිජ බැංකුවලට ඉඩ විවෘත කිරීමයි.
ඉඩම් උගස්කිරීමට පෙර පැවති රජයේ අධීක්ෂණය ඉවත් කර ඇත්තේ පෞද්ගලික බැංකුවලට මෙම කාර්යය ඉතාමත් ලෙහෙසියෙන් සිදු කිරමට මිසක සුළු ගොවියාගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට නොවේ. දැනටමත් දැඩි ආර්ථීක අර්බදුයක සිටින ගොවියාව තමන්ගේ ඉඩමෙන් ඉවත් කර එම ඉඩම මූල්‍යකරණය කරමින් ඉඩම් වෙළඳපොළ ප්‍රසාරණය කිරීමට බැංකුවලට අවස්ථාවක් සැලසීම මේ මගින් සිදු වේ.
ඒ් අනුව නව සංශෝධනය විසින් සුළු ගොවියා හා ග්‍රාමීය ජනනතාව ඔවුන්ගේ ඉඩම් වලින් ඉවත් කරමින් ඒ්වා තුන්වන පාර්ශවයන් වෙත විකිණීමේ ඉඩකඩ පුලුල් කර ඇත. දැනට විකිණීමේ ක්‍රියාවලිය රජයේ අධීක්ෂණයට යටත් වුනද ගොවියා ඉඩමේන් ඉවත් කිරීමෙන් පසු මෙම ඉඩම් මහා පරිමාණ පුද්ගලික සමාගම් වෙත බදු දීම ආදිය සිදු කිරීමට පුද්ගලික බැංකවට කිසිදු බාධාවක් නොමැත.
ඒ් අනුව පනතේ දැනටමත් රජයේ අධීක්ෂණය පවත්වාගෙන යන ප්‍රතිපාදන තහවුරු කල යුතු වන අතර පෞද්ගලික බැංකුවලට රජයේ ඉඩම් නිදහසේ මූල්‍යකරණ කරමින්, සුළු ගොවීන් ඉවත් කරමින් ලාභ ගැරීමට ඇති අවස්ථාවන් වළක්වා ලීම සඳහා නීති සහ රෙගුලාසි සකස් කළ යුතුය.
ඉඩම්වලින් ගොවීන් ඉවත් කරමින් ඉඩම් මූල්‍යකරණය සඳහා විවෘත කිරීම ඉඩම්වල පරමාර්ථය වන වාසස්ථාන හා වගාවන් යන අරමුණු පරදවා ඉඩම් පෞද්ගලික බැංකුවලට ලාභය සඳහාය යන අදහසට නීතිමය වලංගුබවක් ලබා දේ. ග්‍රාමීය ජනතාවගේ ජීවිකා මෙන්ම රටේ ආහාර සුරක්ෂිතභාවයද මෙම ප්‍රතිසංස්කරණ විසින් අවධානමේ හෙලා ඇත.
ලක්මාලී හේමචන්ද්‍ර ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගතිමු