පියසේන රාමනායකලාට පෙර තිබූ හම්බන්තොට මානව සමාජ සිතියම අපට සොයා ගන්නට උපකාර කරන්නේ ලෙනාඩ් වුල්ෆ්ය. ” Village in the jungle” නමින් ඔහු ලියූ පසුව ‘බැද්දේගම’ නමින් සිංහලට පරිවර්තනය වූ නවකතාව පරිකල්පනයක් වුවත් එය වුල්ෆ් පසුගිය සියවසේ ආරම්භයේ සියැසින් දුටු ගිරුවා පත්තුවය. වුල්ෆ් දුටු හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා පැතිරුණු සමාජ ආර්ථික පසුබිම ගැන නිවැරදිව කියවිය හැක්කේ වුල්ෆ්ගේ හම්බන්තොට දින පොත් කියවීමෙන්ය. ලෙනාඩ් වුල්ෆ් මෙන්ම මෙකල හම්බන්තොට බූන්දල විසූ ගම්බාරේ නම් උගත් මිනිසෙකු ලියූ දිනපොත් සටහන් තුලින්ද යටත් විජිත සමයේ මේ ගිරුවාපත්තු සමාජ පසුබිම කියවිය හැකිය. වුල්ෆ් ගේ සටහන් අතර ගිරවා පත්තුව ගැන ඇති අපුරු සටහනක් මෙහි සඳහන් කළ යුත්තෙ පියසේන රාමනායක නැමැති අරගල කරුවාගේ දේශපාලනය තේරුම් ගැනිම පහසු කිරීමටය.
ඉංග්‍රිසි ආණ්ඩුවේ හම්බන්තොට පරිපාලකයා හැටියට භාෂා පරිවර්තකයන් සමඟ ගැමියන් හමුවීමට ගිය මේ අපුරු ඉංග්‍රිසි යුදෙව්වාට ගමේ ආරච්චි විසින් වලකනු ලබන උඩුකය නොවැසු ස්ත්‍රීන් සමූහයක් ඈතින් පෙනුනේය. ආරච්චිගේ බාධාව මග හැර වුල්ෆ් මේ පැමිණිලිකාර ස්ත්රීන්ට සවන් දෙන්නේය. වුල්ෆ් සටහන් තබන ආකාරයට මේ පීඩිත ස්ත්‍රීන් ඉල්ලා සිටින්නේ එවකට නවින මෝස්තරයක් වෙමින් තිබූ උඩුකය වසා ගැනීමේ අවසරයයි.
දිසාවේ ඉංග්‍රිසි පාලකයා වුවත් පලාත්වල ඇති සිරිත් විරිත් හොඳින් දැන සිටි වුල්ෆ් මේ ස්ත්‍රින්ට උඩුකය වසා ගැනීමට අවසර දිය නොහැකි මන්දැයි ආරච්චිගෙන් විමසුවේය. ආරච්චිගේ පිලිතුර වන්නේ කුලයෙන් “පහත්” වීම නිසා ඊට අවසරයක් නොමැති බවය. ලෝකප්‍රකට ඉංග්‍රිසි නවකතාකාරියක් වූ වර්ජිනියා වුල්ෆ්ගේ පෙම්වතා වූ ලෙනාඩ් වූල්ෆ් වඩා සංවේදි ආකාරයට ගිරවාවේ කුල තහංචිය විසඳන්නේ ‘අත්දිග හැට්ටය බෙල්ලෙන් දමා පිටුපසට ගැට ගසා පියයුරු වසා ගැනීමේ අයිතිය මේ ස්ත්රීන්ට ලබා දෙමිනි. නියඟය, දුප්පත්කම සමාජ පීඩන වෙනස්කම් හැමදාමත් ගිරුවාපත්තුවේ තිබුණේය. එසේ නැතිනම් සිළිඳුලා, පුංචි මැණිකලාගේ, බබුන් හා ආරච්චිගේ ගේ කතා ලෝක සාහිත්‍යයට එකතු වන්නේත් නැත. මේ සාහිත්‍යමය අර්ථයෙන් ගත් විට පියසේන රාමනායක සිළිඳුගේ මිමුණුපුරෙක්ය. ඒ අර්ථයෙන් ගත් කළ ‘බැද්දේගම’ සිළිඳු දේශපාලන නූගතෙක්ව ගමේ ආරච්චිට වෙඩිතබා මරා කෲර පාලනය අවසන් කරන්නට උත්සාහ දරන්නේය. යටත් විජිත යුගයේ විසු පියසේන රාමනායක පශ්චාත් යටත් විජිත ඩොමිනියන් ආණ්ඩුව පෙරලන්න තුවක්කුව අතට ගත්තේය. රාමෙලා තුවක්කුව අතට ගන්නා විට එංගලන්ත රැජිනගේ ලංකා නියෝජිතවරියව සිටියේ ඉංග්‍රිසි පාලනයේ මහ මුදලියා වූ සොලොමන් ඩයස් බණ්ඩාරනායකගේ ලේලිය වූ සිරිමා බණ්ඩාරනායකය.
හම්බන්තොට උසාවියේ සිළිඳුගේ මිනීමැරුම් නඩුව විභාග වූ ආකාරයටම ඒ සියවසේම රාමෙලාට විරුද්ධව නඩු ඇසෙන්නේය. ඔහු සිලිඳුමෙන් තෝල්කයා පරිවර්තනය කර ඇසු “තමා වැරදිකාරයා ද නිවැරදිකාරයා ද” අසද්දී ආතක් පාතක් නැතිව බලා නොසිටියේය.71 අප්‍රේල් පහරදීමට එරෙහිව නඩුව ගොනුකර තිබුණේ බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ආණ්ඩුවට එරෙහිව අවි අතට ගැනීමට විරුද්ධවය. තව දුරටත් මේ රටේ තියෙන්නෙ ඉංග්‍රිසි රැජිනගෙ ආණ්ඩුවක් නම් ඊට එරෙහිව අවි අතට ගැනීම හා රැජිනගේ පාලනය පෙරලා දැමිමට තමන්ට තිබූ අයිතිය ඔහු සපුරාම පිලිගත්තේය. චෝදනාවට ඔහු නිවැරදිකරු බව කිවේය…
ඔහු තරුණ වියේම ජවිපෙ ක්‍රියාකාරිකයෙක් වී සිරගත වුනේය. 1971 අප්‍රියෙල් තරුණ නැඟිටීමේ කොටස්කරුවෙකු වීමේ අභිමානය හැමදාමත් ඔහු තුල තිබුනේය.
රාමෙ ගේ මුල්ම දේශපාලනය තිබුණේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුලය. රාමේ ම අපට පැවසූ ආකාරයට ගෝණදෙනියේ රාමනායකවරු “පංච මහා බලවේගයෙන්” ලංකාව ගොඩ දමන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුගාමිකයන්ව සිටියහ. ඔවුන්ගේ ප්‍රාදේශීය නියෝජිතයා වූයේ මැදමුලනේ ඩී. ඒ. රාජපක්ෂය. රාමේ නවයොවුන් වියට එද්දී මහ රාජපක්ෂ වෙනුවට සිටියේ පොඩි රාජපක්ෂය. ඔහුගේ දේශපාලන අනුගාමිකත්වය
වෙනස් වන්නේ 1970 මැතිවරනයෙන් පාර්ලිමේන්තු යන පොඩි රාජපක්ෂ සවකීය අනුගාමිකයන්ගේ දියණිවරුන්ට විරකැටියේ උඩුකිරුව වැව පාමුල තානායමේ ආන්ඩුවේ පත්විම් කැඳවිමත් සමඟය. ඒ වන විට නොකෙරෙන සමසමාජ විප්ලවයේ නායකයන්ගේත් කෙඳිරිගාමින් සිටි සෝවියට් කොමියුනිස්ට් විප්ලවයේ නායකයන්ගේත් ගිරුවාපත්තු නියෝජිතයා වුයේ මේ ‘තානායම් පත්විම් දෙන’ රාජපක්ෂය. යුක්තිය පතා සටන් වැදුනු රාමනායකලා සිරගෙදරින් නිදහස ලබා පැමිණ නැවතත් පොඩි රාජපක්ෂගේ පාදඩ දේශපාලනයට එරෙහිව හඬ නැඟුවේය.
1977 වසර අග භාගය වෙද්දී අපට ඔහු හමුවන්නේ දිවා රෑ වෙහෙසෙමින් ලංකාවේ කාලකණ්නි පාලනය වෙනස් කිරිමට වෙර දරණ නිර්භීත හා නිහතමානි දිස්ත්‍රික් නායකයා හැටියටය. එකල පක්ෂයේ වයස්ගතම පුර්ණකාලීනයා වූ ඒකනායක මාමා එහෙමත් නැත්නම් මිද්දෙනියේ ඒකනායක අන්කල් කී කතාවක් මට මේ මොහොතේ දී සිහිපත් වේ. මාමා මේ කතාව කීවේ අපි තනමල්විල කිතුල්කොටේ පැන්ටිස් අයියගෙ පක්ෂ ගොවිපළේ හිටි කාලයේ ය. දවස පුරාම වැඩ කර හැන්දෑකාලෙ ගිමන් හරිමින් රාත්‍රී ආහාරය පිසින අතරේ ඔහු අපට පැරණි රසවත් කතා කියන්නේය. ඒකනායක අන්කල්ගේ වචන වලින්ම රාමෙ ගැන ඔහු කියූ කතාව මෙහෙමය.
” 71 අප්‍රේල් 5 මිද්දෙනිය පොලිසියට පහර දෙන්න ගිය කණ්ඩායමට මමත් එකතු වුනා. එදා රෑ තරුණයො 25 ක විතර කණ්ඩායක් මේ වැඩේට ලෑස්ති වුනා. කණ්ඩායමේ ඔක්කොම පොලිසියෙ වත්තෙ පිටු පස්සෙ කම්බිවැට ළඟට ඇවිල්ල නතර වුනා, කවුද ඉස්සර වෙලාම කම්බි වැට පනින්නෙ කියන තීරණය ගන්න බැරුව. රාමෙ ඒ වෙලාවෙ කණ්ඩායමේ පිටුපස්සෙම හිටියේ . රාමෙ කලුවරේ ඇවිත් බැලුව ඇයි මේ කට්ටියම බලාගෙන ඉන්නෙ කියල. රාමෙ ඇහුවෙ බැලුවෙ නැතිව ඔක්කොම බලාගෙන ඉද්දි මුලින්ම කම්බිවැට පැන්න. ඊට පස්සේ තමයි අනෙක් අයත් එකිනෙකා කම්බි වැට පනින්න පටන් ගත්තේ”
ඔහු 1977 වෙද්දී ජනතා විමුක්ති පෙරමුනේ හම්බන්තොට නායකයාය. පක්ෂය ගොඩනැඟීමේ මොඩලය හම්බන්තොට බව කියවෙන තරමට ඔහු ජනප්‍රවාදයක් විය. රාමෙගෙ නිර්භීතකම එඩිතරකම අපි ඔහු සමග දේශපාලන වැඩ කරද්දි හොඳින් දුටුවෙමු. 83 පක්ෂය තහනම් කිරීමට පෙර මැතිවරණ දේශපාලනය තුලත් සන්නද්ධ දේශපාලනය තුලදිත් රාමෙගෙ ඒ දේශපාලන නිර්භීතකම කැපී පෙනුනි. 1981 මේ අරගල කරුවා සංවර්ධන සභා මැතිවරණයේ දි හම්බන්තොට සංවර්ධන සභා මංත්‍රිවරයෙක් හැටියට පත් වුනේය. 1983 පක්ෂය තහනම් කරන විට ඔහුගේ නායකත්වයෙන් යුතුව හම්බන්තොට දිස්ත්‍රික්කය ජ වි පෙ බලකොටුවක් බවට පත්කර තිබුනේය. 1983 කළු ජුලිය මැද්දේ ජයවර්ධන අණ්ඩුව ජ වි පෙ තහනම් කළ විට රෝහණ කොළඹ සිට ආරක්ෂාව පතා පලා යන්නේ හම්බන්තොටටය. පලමුවෙන්ම හමුවෙන්නේ පියසේන රාමනායක නම් විශ්වාසවන්ත සගයාය.
” රාමේ, අපි වහාම වහන් වෙන්න ඕන. ජයවර්ධනගේ දඩ බල්ලො අපි පස්සේ පන්නනව. අහු වුනොත් ආයෙ සැරයක් අපි හිරේ දමල පක්ෂය මර්ධනය කරනව”
“අපිට ඔහේට ආරක්ෂාව දෙන්න පුළුවන් වනාන්තරේ දි විතරයි. අපි කැලේට යමු”
රාමෙ යෝජනා කළේය .
අපි රෝහණත් සමඟ කතරගම වනාන්තරයට යද්දී එහි පෙරමුණේම ගියේ මේ ගෝනදෙනියේ නිර්භිත රාමනායකය. සැඟව හිටි කාලයේ ඔහු දිනක් කුඩා පුතනුවන් බලා යන්නට තංගල්ල විතාරණ්දෙනිය නිවසට පැමිණියේය. එදින ඔත්තුකරුවෙකු මගින් පොලිසිය රාමෙ අල්ලන්නට කඩා වදිද්දී ඔහු පලා ගියේ වඩාගෙන සිටි කලකින් නොදුටු පුතා සමඟමය. ඒ රාමෙගේ හැටිය. තවත් වරක් 1984 වසරේ දිනක ඔහු තිස්ස උඩුවිල සගයෙකුගේ නිවසකට පැමිණි මොහොතක පොලිස් ඔත්තුකරුවෙක් තෑගි පතා පොලිසියට ඔහු අල්ලා දෙන්නට උත්සාහ කළේය. ඔහු වහා සැඟවී පලා ගියේය. 1984 පක්ෂය නැවත සංවිධානය කරන විට ඔහු බදුලු දිස්ත්‍රික් නායකයා හැටියට පත් කෙරුණේය. ඔහු බදුලු දිස්ත්‍රික්කය ගොඩනඟමින් සිටිද්දී 1987 දී යලි පොලිස් අත් අඩංගුවට පත් විය. 88 වසරේ මැද බදුලු හිර ගෙදරින් බොරැල්ල මැගසින් බන්ධනාගාරයට මාරු කරද්දී අපට යලිත් රාමේ සමඟ නිදහසේ ඇසුරු කිරිමට අවස්තාව ලැබුණි. 1988 දෙසැම්බරයේ මැගසින් තාප්පය බිඳ අපි එලියට එද්දී රාමෙ එලියට රැගෙන ආවේ සගයන් කිහිප දෙනෙකුගේ උපකාරයෙනි. පොලිස් අත්තඩංගුවේදී ඇතිවූ අනතුරකින් ඔහුගේ එක් පාදයක ඒ දිනවල ආබාධයක් ඇතිව තිබුණි. සන්නද්ධ දේශපාලන යළි ඇරබෙද්දී ඔහු තරුණ විය ඉක්මවමින් සිටියත් එලබෙමින් තිබූ මැදි වියට ඔහුගේ නිර්භිතකම හා ශක්තිය පාරාජය කිරීමට නොහැකි වී තිබුනේය. රෝහණ ඇතුලු නායකයන් සතුරු ග්‍රහණයට ලක් වෙද්දි මරණයේ මිණීමරු සෙවනැලි රාමෙ ද ලුහුබඳිමින් උන්නේය. ආර් ඩී එෆ් මර්ධනීය බලකාය රාමෙ උන් ගම්පහ නිවස වට කරන්නට මොහොතකට පෙර ඔහු සූක්ෂම ලෙසින් සැඟවී පාලා යන්නට සමත් විය.
1990 වෙද්දී පක්ෂයේ දෙවන යුගයේ අඛන්ඩව මධ්‍යම කාරක සභාවේ හිඳ ජීවිතය බේරා ගත් කිප දෙනාගෙන් එක් අයෙකු වූයේ රාමේය. 1994 දි ජ වි පෙ නැවත නිත්‍යානුකුල දේශපාලනයට එන තෙක්ම ගෝණදෙනිය උපන් ගමේ පිහිටි කුඩා කදු මුදුනක දිගු කලක් සැඟවී සිටියේය. ඔහු කිසිම දිනක සතුරාට හසු වූයේවත් යටත් වුයේවත් නැත. එසේ නමුත් අමරසිංහගේ දේශපාලන හිනමානය නිසා මේ අගනා දේශපාලන මිනිසා කිසිම දිනක යලිත් ජවිපෙ මධ්‍යම කාරක සභාවට ඇතුලත් කර නොගත්තේය. එහෙත් ඔහු දේශපාලනයෙන් ඉවත් නොවීය. 1997 වෙද්දි රාමේ හම්බන්තොට පලාත් සභාවේ මංත්‍රිවරයෙක් හැටියට පත් වි සිටියේය. රාමේ අමරසිංහගේ දේශපාලන නොපනත්කම් හා වෙනස්කම් දෙස බැළුවේ වඩාත් කාරුණික ඇසකිනි.
“ ඒක අමරසිංහ ගේ දේශපාලනය , මේක මගේ දේශපාලනය … අපිට පක්ෂය වෙනුවෙන් කටයුතු කරන්න අමරසිංහ බාධාවක් කරගන්න ඕනෙ නැහැ. පක්ෂ තානාන්තර වගකීම් වැඩක් නැහැ. අපි අපේ යුතුකම කරමු සහෝදරය එච්චරයි.”
ඔහුගේ කාරුණික පිළිතුර එසේ විය.
හිරගෙවල්, වනාන්තර හා සන්නද්ධ දේශපාලනය හරහා ගෙවුණු රාමෙගේ දුෂ්කර කටුක ජීවිතය මැදිවිය අවසන් කරද්දීම ඔහු රෝගියෙකු බවට පත්කර තිබුනේය. එහෙත් ඔහුගේ දේශපාලන ජවය සිරුරෙන් ඉවත් වී නොතිබුනේ ය. ඔහු බලවත්ම කම්පාවට පත් වූයේ 2011 දී පක්ෂය ජවිපෙ සහ පෙසපෙ හැටියට බෙදීම නිසාය. ස්වකීය පන මෙන් ආදරය කළ පක්ෂය බෙදී යාම ඔහුට ඔරොත්තු නොදුන්නේය. තමන් උපන් රටේ ජනයාගේ දුක නැති කළ හැක්කේ ඔවුන් පීඩාවෙන් මුදවා ගත හැක්කේ සමාජවාදී විප්ලවයකින් බව රාමේ
ජීවිත කාලය පුරාම විශ්වාස කලේය. එය සිදුකිරීමේ ඓතිහාසික වගකීම තිබූ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවදි පක්ෂය හැටියට බෙදීයාම ඔහු නොයිවසූවත් දේපාර්ශය සමඟම දේශපාලන ඇසුරක් පවත්වාගෙන ගියේ ය.
“උඹල ගහ මරාගන්න එක නවත්තල එකතු වෙයල්ලා“ පක්ෂයක් හැටියට එකතු වෙන්න බැරිනම් එකට එකතු වෙලා දේශපාලන ක්‍රියාමාර්ග ගනිල්ලා“ කියල ඔහු මිය යන තෙක්ම දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියේය.
බැද්දේගම සිළිඳු ගමේ ආරච්චි මරා කාළකණ්ණි ජිවන උරුමය වෙනස් කිරීමට උත්සාහ දැරූ කතාව ලියන්නට ඒරොප්පේ සිට ලෙනාඩ් වුල්ෆ් සිටියේය. එහිම උපන් පියසේන රාමනායක ගිරුවාපත්තුවේ පමණක් නොව මුළු රටේම ඉරනම වෙනස් කර ගැනිමට දෙවතාවක් තුවක්කුව අතට ගත් කතාව අනාගතය වෙනුවෙන් අප ලියා තැබිය යුතුය.
සටන්කාමී පරපුරක නිර්භීත නායකයාණනි…..
ඔබට අපේ උත්තමාචාරය !!!
සටහන – ගාමිණී මුතුකුමාරණ