ගවුඩිගේ ස්භාදහමේ බලකොටුව

සග්‍රාදා ෆැමිලියා.. එහෙමත් නැත්නම් බාසිලෝනා නගරයේ ශුද්ධ වූ පවුලේ දේවස්ථානය ගැන හැමෝම අහල නැති වෙන්න පුළුවන්.
මේ කතෝලික පල්ලියක් විදිහටයි සමහරවිට ප්‍රසිද්ධ වෙලා ඇත්තෙ. ස්පාඤ්ඤයේ බාසිලෝනා ( Spain – Barcelona) නගරයේ තවමත් සම්පූර්ණයෙන්ම වැඩ ඉවර නැති මේ යෝධ ගොඩනැගිල්ලෙ වැඩ පටන් අරන් තියෙන්නෙ 1882 මාර්තු දහනම වෙනිදා.

මේක පල්ලියක් කියල සිංහලට පරිවර්තනය කලත් මේ කැතේඩ්‍රාල් එකක්. සරල වෙනස පල්ලිය ප්‍රමාණයෙන් කුඩායි, නමුත් කැතේඩ්‍රාල් එකක් විශාලයි වගේම විශාල ප්‍රදේශයක පිරිසකට අයිතිය කියන්න පුළුවන්. යුරෝපයේ මිනිස්සු පල්ලි පංසල් දේවාල හැදීමෙන් ඉවත් වෙලා ගොඩාක් කල්.
යුරෝපයේ දුප්පත්ම රටවල් වන රුමේනියාව හා බල්ගේරියාව හැරුණු විට වෙන කිසිම රටක ඉදිවන දේවස්ථානයක් මම දැකල නැහැ පෞද්ගලිකව.

මොකද්ද මේ බාසිලෝනා කැතේඩ්‍රාල් එකේ වෙනස.?

මේ තරම් මගෙ හිත ඇදගත් වෙනත් ගොඩනැගිල්ලක් යුරෝපයේ නැති තරම්. මේ ගොඩනැගිල්ලෙ මහා මොලකාරයා තමයි අන්තෝනියෝ ගවුඩි. වාස්තු විද්‍යාවට හරි චිත්‍ර නිර්මානවලට හරි එහෙමත් නැත්නම් වෙනස් විදිහේ නිර්මානවලට සම්බන්ධ ආදරේ කරන අයනම් ගවුඩිව අනිවාර්‍ය්‍‍යෙන් දන්නවා.

බාසිලෝනා නගරේ ගවුඩි උද්‍යානය මුළු ලෝකෙම ප්‍රසිද්ධයි. ස්පාඤ්ඤයේ කැටලෝනා ප්‍රාන්ථයේ 1852 ජූනි 25 වෙනිදා උපන් අන්තෝනියෝ ගවුඩි දුප්පත් වගේම ලෙඩ රෝග වලින් පීඩා විඳි දරුවෙක්. කොහොම උනත් වාසනාවකට වාස්තු විද්‍යාව ඉගෙනීමට යොමු වුණු මේ තරුණයා විවිධ සුළු රැකියාවන් කරමින් වාස්තු විද්‍යාඥයෙක් විදිහට උපාධියක් ලබනවා. තරුණ ගවුඩි ස්භාදහමට අසීමිත විදිහට ආදරේ කරපු මිනිහෙක්. විවේකයක් ලැබුණු හැම අවස්ථාවෙම කැලේ වැදිල ගහකොල එක්ක කාලෙ ගත කරන එක තමා ඔහු ආසම කරපු දේ. මධ්‍යධරණී කලාපයේ ගස් කොලන්.. කඳු..පර්වත..දිය ඇලි.. මල්.. කොළ පොහොට්ටු.. හැම දේම තරුණ ගවුඩිගෙ ජීවිතේට සමීප දේවල්.

antoni gaudi
අන්තෝනියෝ ගවුඩි

1882 දි වෙනත් නිර්මාන ශිල්පියෙක්ගෙ නායකත්වයෙන් පටන් ගත්ත, අපි මේ කථා කරන යෝධ දේවස්ථානයේ ඉදිකිරීම වලට සම්බන්ධ වෙන්න ගවුඩිට අවස්ථාව ලැබෙනවා. මේ කාලෙදි ක්‍රිස්තියානි ආගම යුරෝපයේ ජනප්‍රියයි. දැන් අපි හැමෝම බලාපොරොත්තු වෙන විදිහට මේ ගොඩනැගිල්ල දේව රූප.. රෝම කුළුණු වලින් පිරුණු සාමාන්‍ය දේවස්ථානයක්. අන්තෝනියෝ කොයිතරම් දක්ෂද නිර්මාණශීලීද කියනවනම් ඉතා ඉක්මනින් මේ කර්තව්‍යයේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා බවට පත්වෙනවා.

හැමෝම ගවුඩිව අගේ කරනව විතරක් නෙමේ සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා. මේ වගේ යෝධ දේවස්ථානයකට අති විශාල මුදලක් ඕනෙ. ඒ මුදල් ලැබෙන්නෙ රජයෙන් වගේම ආධාර දෙන්නන්ගෙන් හා වන්දනාකරුවන්ගෙන්. එතකොට භක්තිවන්තයින්ගෙන් මුදල් ගන්න නම් මේ දේවස්ථානය ගතානුගතික අකාරයට නිර්මාණය වන ගොතික් ක්‍රමයට නිර්මාණය වෙන හෝ පිලිම වලින් පිරුණු, භක්තිය ඇතිවෙන ආකාරයේ ගොඩනැගිල්ලක් වෙන්න ඕනෙ.

තනිකඩයෙක් වුණු ගවුඩි තමන්ගෙ මුළු ජීවිතේම කැප කරනව මේ නිර්මාණය වෙනුවෙන්. එක්දහස් නමසිය විසි ගනන් වෙද්දි මේ ගොඩනැගිල්ලෙ සෑහෙන කොටසක් ඉදිවෙලා ඉවරයි. මේ වෙද්දි සමහර නිර්මාණ ශිල්පීන්ට වැටහෙනව මේ ගොඩනැගිල්ල මුල් නිර්මාණ සැලැස්මෙන් වෙනස් කියලා.
නමුත් කතෝලික භක්තිකයෙක් විදිහටත්, ඉතාම දක්ශ නිර්මාණ ශිල්පියෙක් විදිහටත්, ආදරය දිනාගෙන හිටපු ගවුඩිගෙන් ප්‍රශ්ණ කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ.

දවසක් ලැබුණු කෙටි විවේකයකදි ගවුඩි යනව නගරයේ පොඩ්ඩක් ඇවිදින්න. අවාසනාවකට ට්‍රෑම් රථයක් මේ අපූරු පුද්ගලයාව හප්පන් යනවා.
තුවාල වුණු ගවුඩි ගැන කවුරුත් ඒ තරම් අවධානයක් යොමු කරන්නෙ නෑ. ඒකට හේතුව කවුරුත් හිතන්නෙ මේ කමකට නැති හිඟන්නෙක් කියලා. කොහොම වුණත් පස්සෙ ගවුඩිව රෝහල් ගත කරත් අන්තෝනියෝ ගවුඩි අවාසනාවන්ත විදිහට මිය යනවා. ඒ එක්දාස් නමසිය විසි හයේ ජූනි දහවෙනිදා. කොහොම වුණත් ගවුඩිගේ සැලසුම් වලට අනුව මේ කැතේඩ්‍රාල් එකේ ඉදිකිරීම් සිදුවෙනවා.

2009 අවුරුද්දේ මගේ හිතවත් නිර්මාණ ශිල්පියෙක්ට පිංසිද්ධ වෙන්න මට හැකියාව ලැබෙනව මේ වැඩ බිමේ දවස් දෙකක් ගත කරන්න. මගේ මිත්‍රයාගෙන් මං ඉගෙන ගත්ත දේ වලිනුත්.. දැකපු දේ වලිනුත් මං පුදුම උනා. මං විතරක් නෙමේ මේ ගොඩනැගිල්ල ඇතුලට යන කවුරුත් පුදුම වෙනවා. මේ කැතේඩ්‍රාල් එක ඇතුලෙ මහා ලොකු කුරුස.. දේව දූතයො.. දේව රූප කිසි දෙයක් නෑ. ( මගේ ක්‍රිස්තියානි කතෝලික මිත්‍රයො මට සමා විය යුතුයි). නමුත් අපි දකිනව දිව්‍ය ලෝකෙ. ඒ කොහොමද.? මේ දේවස්ථානය ඇතුලෙ අපි දකින්නෙ මහා විශාල ගස් වගේ කුළුණු.. විවිධ පර්වත හැඩ.. කඳු… කොළ.. මල්.. දළු.. ඉර… හඳ.. සිය ගණන් තරු.. වළාකුළු.. වතුර බිංදු… කතෝලික බැතිමතෙක් විදිහට ප්‍රසිද්ධව හිටපු ගවුඩි එයාගෙ සැබෑ දෙවියො මේ දේවස්ථානෙට ගෙනල්ලා. ඒ කොහොමද? මේ සුන්දර මනුස්සයා සැලසුම් වෙනස් කරලා. එයාගෙ මරණයෙන් අවුරුදු අසූවකට විතර පස්සෙ අපි දකිනව එදා ඔහු දුටු සැබෑ දෙවියො .. ඒ කියන්නෙ ස්භාව ධර්මය.

කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ දේව සලකුණු කියල.. ඒත් හිතට දැනෙනව මේ සොභාදහම බව. මේ ගොඩනැගිල්ලට දෙවියන්ගෙ නාමයෙන් මුදල් පරිත්‍යාග කරපු කවුරුත් දුක් වෙන්නෙ නෑ. හේතුව නිර්මාණය ඒ තරමට ලස්සනයි. සමහර විට පිලිම දේව රූප දෙක තුනක් පසුව එකතු කරන්න ඇති. ඒත් සොභාදහමේ හැඩතල එක්ක කාටද තරඟ කරන්න පුළුවන්.

පිටින් බැලුවත්, ඇතුලෙන් බැලුවත්, පේන්නෙ සොභාදහමෙන් අපිට පෙන්වන රූප හා හැඩ. උදේ ඉර පායද්දි මේ ගොඩනැගිල්ල ඇතුලෙදි මං දැක්කෙ ඉර එලියෙන් නෑවෙච්ව ගස් කොලං. මට හිතුනෙ මං ඉන්නෙ කැලයක් ඇතුලෙ කියලයි. අලෝකය සෙල්ලම් කරනවා.. හැඩතල.. හෙවනැලි හා වීදුරු හරහා එන වර්ණත් එක්ක.

නාථගෙ.. ගනේශ්ගෙ.. සමන්ගෙ පිලිම හදාගෙන දනින් වැටෙන මිනිස්සු ඉස්සරහ ගවුඩි කොයිතරම් ශ්‍රේෂ්ඨද? ඒ මගෙ පෞද්ගලික අදහස, එහෙමයි ගවුඩි මගේ වීරයන්ගෙ ලයිස්තුවට ඇතුල් වුණේ.

උපුටා ගැනීම: malcolm sang ෆේස්බුක් පිටුවෙන්  👇👇👇

 

Social Sharing
නවතම විශේෂාංග