මම ජනාධිපතිනම්…!!

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතුවා. (මට නම් හිතෙන්නේ අපිට එහෙම ජාතියක් කියලා එකක් නෑ කියලා). කොහොම වුණත් අපි හැවෝම දවස් 3ක් තිස්සේ ඒ කතාවට ලෑස්ති වුණා. මට හිතෙන්නේ ජනාධිපතිතුමාවත් එහෙම ලෑස්ති වෙන්න නැතුව ඇති. මිනිත්තු 12යි තත්පර 56ක් පුරා ගිය ඒ කතාව ගැන මොකද හිතෙන්නේ? ගොඩක් පුරවැසියෝ ඊයේ රෑම තමන්ගේ අදහස් මූනු පොත හරහා කියලා තිබුණා. ජනාධිපතිගේ කතාව වෙලාවේ බොහෝ නාලිකාවල ගිය වීඩියෝවලට ගොඩක් අය හා හා රියැක්ෂන් තමයි දාලා තිබුණේ. ගොඩක් අය ‘ගෙදර යන්න ගෝඨා’ කියලා කමෙන්ට් කරලා තිබුණා. බොහෝ අය ජනාධිපතිතුමාව විහිළුවක් විදිහට තමයි භාර අරං තිබුණේ. ඇත්තටම මේ කතාවේ ගන්න දෙයක් ඇත්තෙම නැද්ද?

අර්බුදය සහ ජනාධිපති

‘මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවෙයි. එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය, අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටිද්දී, මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහනයක් ලබා දෙන්නයි’ ජනාධිපතිතුමාගේ මේ කියමන බලන්න. ඇත්තටම මේ අර්බුදය කාගෙද? පුරවැසියෝ වුණ අපේ ද? අපේ නිර්මානයක් ද? මේ අර්බුදයට නිදහසින් පස්සේ බලයේ හිටිය හැම නායකයෙක්ම සහ පක්ෂයක්ම වගකියන්න ඕනෑ. හැබැයි මේ ප්‍රශ්නයට මේ අර්බුදයට ඒ සේරටම වඩා 2005-2015 කාලේ බලයේ හිටපු රාජපක්ෂවරුන් වගකියන්න ඕනෑ. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ කාලේ ඇවිදින මන්තීරු හදමින් තමයි හිටියේ. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. එතකොට වර්තමාන මුදල් ඇමති ඒ කාලේ මොකද කළේ? දිවිනැඟුම වගේ අරමුදල් ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අමතක වුණාට අපිට මතකයි. ඒ නිසා මේ අර්බුදයට හැවෝම වගකියන්න ඕනෑ වගේම ඊටත් වඩා වැඩියෙන් රාජපක්ෂ පවුල වගකියන්න ඕනෑ. ඒ නිසා ජනාධිපතිවරයාට ‘අනී මම නෙවෙයි මේ අර්බුදය නිර්මානය කළේ කියලා’ අත පිහදාගන්න බෑ. තමන්ගේ උපන් ගමේ කොන්ක්‍රීඩ් ගොඩගහනකොට ඒ විදෙස් ණය කියලා මේ ජනාධිපතිවරයාට අමතක වීම රෝගයක් මිසක් සාමාන්‍ය තත්ත්වය නෙවෙයි.

රුපියල අල්ලගෙන හිටියේ අපිද?

‘මේ වර්ෂය තුළ ඩොලර් බිලියන 6.9ක් ණය වාරික සහ ස්වෛරී බැඳුම් වෙනුවෙන් ගෙවන්නට‌ වෙනවා. එවිට ඩොලර් බිලියන 11.9ක හිඟයක් ඇති වෙනවා. අනෙකුත් ලැබෙන ණය ආධාර සහ ආයෝජන ලෙස ඩොලර් බිලියන 2.5ක් අපේක්‍ෂා කරනවා. මේ ආකාරයට විදේශ මුදල් ප්‍රවාහයේ ඩොලර් බිලියන 9.4ක සම්පූර්ණ හිඟයක් තියෙනවා.

එහෙත් රුපියල නම්‍යශීලී කළාට පසුව, අපනයන ආදායම ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි වේ යැයි අපේක්‍ෂා කරනවා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 20 දක්වා අඩු කර ගන්නත් පුළුවන් වේවි. එසේ වුවහොත් වෙළඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 7 දක්වා අඩු කර ගන්න පුළුවන්. අපි ඉලක්ක කර ගත යුත්තේ එයයි.’

මේ කතාව දැන් කාලයක් තිස්සේ විපක්ෂය කියන දෙයක්. ආචාර්‍ය හර්ෂ ද සිල්වා වගේ අය දිගින් දිගටම කිව්වා රුපියල අල්ලගෙන ඉන්න එපා කියලා. එතකොට මහබැංකු අධිපති වගේම ආණ්ඩුවේ ලොක්කෝ කීව සුරංඟනා කතා මතකයිද? ජනාධිපති ප්‍රමුඛ මේ ආණ්ඩුවට තියෙන ප්‍රධාන රෝගයක් තමයි උද්දච්චකම, මේ නිසා මේ කණ්ඩායම කවුරුත් කියන දෙයක් පිළිගන්න කැමති නෑ. විපක්ෂය කෑගහනකොට කොවිඩ් වැක්සීන් එක ඕඩර් කරන්න කියලා, මොකද්ද ආණ්ඩුවේ ප්‍රතිචාරය උනේ? අවසානයේ ආණ්ඩුවට තමන්ගේ තීරණය හකුලගන්න උනා. එතකොට අශ්වයා ගිහිං. විශාල ජීවිත හානියක් සිද්ධ වෙලා. ජනාධිපති සහ මේ ආණ්ඩුව ඒ තීරණය හරියට නියමිත කාලයට ගත්තනම් මිනිස්සු 15000කට වඩා අද මිය ‍යන්නේ නෑ. මේ රුපියල නම්‍යශීලී කිරීමත් එහෙම තමයි, ඒක නිසි වෙලාවේ කළේ නෑ. දැන් සිද්ධවෙලා තියෙන්නේ මොනාද? දැන් නහය ගාවට වතුර ඇවිත් ඉවරයි.

IMF යනවද? නැද්ද?

‘අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වනවා. මේ හිඟය පියවා ගැනීමත්, අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුළ මෙය ක්‍රියාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්. ඒ සාකච්ඡා තුළින් අප බලාපොරොත්තු වන්නේ වසරකට අප ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මා කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා’.

මේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල එක්ක එකතුවෙලා මේ ප්‍රශ්නය බේරගන්න තමන් සහ ආණ්ඩුව කැමතියි කියලා සහ දැනටමත් IMF එකත් එක්ක සාකච්ඡා පටන් අරං කියලා ජනාධිපති ඊයේ කියපු විදිහ. මේකත් දැන් බොහෝ කාලයක ඉදලා විපක්ෂය වගේම ආර්ථික විශේෂඥයෝ කියන කතාවක්. ඒත් ආණ්ඩුව සහ ජනාධිපති දිගටම කිව්වේ, අපි IMF යන්නේ නෑ කියලා. කොහොමත් මේ ආණ්ඩුව IMF ප්ලග් එක ගලවන්න ආපු ආණ්ඩුවනේ..!. ඒත් අද වෙනකොට ජනාධිපතිවරයා තීරණය කරලා තියෙනවා ආයෙත් රට IMF එකත් එක්ක ප්ලග් කරන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ගැන ජනතාව අස්සේ බිල්ලෙක් හැදුවේ මේ ආණ්ඩුව සහ විමල් වීරවංශ වගේ ජනාධිපති බලයට ගේන්න වැඩකරපු අය.

ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ වෙළඳපොළ හැසිරෙන්නේ ජාතික චින්තනයට අනුව නෙවෙයි කියලා ජනාධිපති දැන් වෙනකොට තේරුන් අරගෙන ඉන්නවා කියන එකයි. ඒත් මේ තීන්දුව ගන්නත් ජනාධිපති සෑහෙන්න ප්‍රමාදයි කියලා තමයි මටනම් හිතෙන්නේ. දැන් ජනතාව තෙල් පෝලිම්වලට එකතුවෙලා ඉවරයි. බස් ගාස්තු වැඩිවෙලා ඉවරයි. පාන් වගේ ආහාර ද්‍රව්‍ය හැම එකක්ම ගණන් වැඩිවෙලා ඉවරයි.

ප්‍රමාදය පසුතැවීමට හේතු වේ කියලා කතාවක් තියෙනවා. ඒත් ඊයේ ජනාධිපතිගේ කතාවෙන් තේරුණේ මේ ප්‍රමාදය ගැන ජනාධිපතිට කිසිම හැඟීමක් නැහැ කියන එකයි. රුපියල අතාරින්න උන ප්‍රමාදය ගැන, IMF යන්න තීරණය කරන්න ගත්ත විශාල කාලය ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන්න තිබුණා හරිනම්.. ඒත් ජනාධිපති ඒක නොකර කිව්වේ මේ අර්බුදය හැදුවේ මම නෙවෙයි කියලා.

ජනාධිපති ප්‍රමුඛ මේ ආණ්ඩුව තවමත් යුද්ධයෙන් තමයි දුවන්නේ, ජනාධිපතිතුමාගේ මේ කතාව නැවත නැවතත් ඔප්පුකරන්නේ ඒක. ‘අපි ඉතිහාසයේ ඕනෑ තරම් අවස්ථාවල වැටිල නැගිටපු ජාතියක්. විදේශ ආක්‍රමණවලට, මහා සාගතවලට, ස්වාභාවික විපත්වලට, ත්‍රස්තවාදී උවදුරුවලට අපි මුහුණ දීලා ආපසු නැගිටලා තියෙනවා. පසුගිය කොරෝනා වසංගතයට අපි මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක් වුණා. විසඳුම් ක්‍රියාත්මක කිරීමේ දී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අධෛර්යවත් නොවී මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා’

ඉතිං මේක තමයි ජනාධිපතිගේ ජාතිය ඇමතිල්ල ගැන මගේ අදහස.

මම ජනාධිපති නම්..

මේ අර්බුද කාලේ මම මේ රටේ ජනාධිපති උනා නම් මම ඊයේ කරන්නේ මේ වගේ කතාවක්. ඒකත් නිකං කියවන්න බලන්න. විනාඩි 5ක චූටි කතාවක්.

මම මේ ආර්ථික අර්බුදය ගැන මෙලෝ අල බෝලයක් දන්නේ නෑ. ඒ නිසා මම ආර්ථික විශේෂඥයෝ 5 දෙනෙක් පත්කරනවා මේ අර්බුදය කළමනාකරණය කරන්න. ඔවුන් මහබැංකුව සහ මුදල් අමාත්‍යවරයාට ඉහළින් ඉදලා මේ ආර්ථික අර්බුදයට අපි ගන්න ඕනී ඉක්මන් ක්‍රියාමාර්ග තීරණය කරයි

ඒ ක්‍රියාමාර්ග ඉහළ සිට පහළට ක්‍රියාත්මක වෙනවාද කියන එක මම අධීක්ෂනය කරනවා.

මේ ආර්ථික අර්බුදය නිසා මම හිතුවා අපි වහාම රාජ්‍ය ප්‍රතිසංවිධානය කළ යුතුයි කියලා. ඒ අනුව රාජ්‍ය සේවය 50%කින් අඩු කරන්න මම තීරණය කළා. මේ අනුව මසක කාලයක් ඇතුලත අත්‍යාවශ්‍ය ප්‍රමානයට වැඩියෙන් සිටින සියළු රාජ්‍ය සේවකයන් වන්දි මුදලක් සමග සේවයෙන් ඉවත් කරනු ඇති.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංගම, දුම්රිය ආදී පාඩු ලබන සියළු රාජ්‍ය ආයතන 51% සහ 49% අනුපාතය යටතේ පුද්ගලික අංශයට ලබා දෙන්න තීරණය කළා. මේ සියලු ආයතන මෙලෙස පුද්ගලික අංශයට ලබා දුන්නත් ඒවායින් කෙරෙන සේවාවන් රජය විසින් නියාමනය කරනු ඇති.

විදේශ ආයෝජන දිරිගැන්වීම සහ ආයෝජකයන්ට හිතවත් පරිසරයක් ඇති කිරීම උදෙසා වෙනම මණ්ඩලයක් පිහිටවීමට කටයුතු කරනවා. කොමිස් සහ අතයට ගණුදෙනුවලින් තොරව ආයෝජන රට තුළට ගැනීමට අවශ්‍ය නීති අනපනත් සංශෝධයන කරන්නට කටයුතු කරනවා. මේ තුළට දේපළ ඉඩම් පැවරීම් වල සිට බදුවලින් නිදහස් කිරීම දක්වා සියල්ල අන්තර්ගත කරනවා. මෙයින් බලාපොරොත්තු වෙන්නේ ආයෝජකින් වෙනුවෙන් ලිහිල් රාජ්‍ය ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම.

මේවා තමයි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යා ගන්න ඉක්මනින් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ.

තෙරුවන් සරණයි..!

k sanjeewa

කේ . සංජීව

Social Sharing
නවතම විශේෂාංග