කුමාරතුංග මුනිදාස භාෂා ව්‍යාපාරය..!

කුමාරතුංග මුනිදාස යනු අතිශයින් ඉහළ මට්ටමේ බුද්ධිමය පරිකල්පනයක් හා විචාර ශක්තියක් තිබූ බුද්ධිමතෙකි. නමුත් සිංහල භාෂාව පිළිබඳ ඔහුගේ ව්‍යාපෘතිය සමස්ථයක් ලෙස තේරුම් ගත හැක්කේ අසාර්ථක ව්‍යාපෘතියක් ලෙසිනි. නූතන සිංහල භාෂාව සඳහා අවශ්‍ය පාරිභාෂික වචන විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීම ඔහුගෙන් හා ඔහුගේ ව්‍යාපාරයේ සෙසු සාමාජිකයින්ගෙන් සිදු වූ අනගිතම සේවාව විය හැක. සම්භාව්‍ය භාෂා සාහිත්‍ය අධ්‍යයනය සඳහා වූ ඔහුගේ දායකත්වය ද කිසිසේත්ම අමතක කිරීමට අවශ්‍ය නැත. නමුත් මගේ උනන්දුව ඇත්තේ භාෂා ප්‍රතිසංස්කාරකයෙකු ලෙස ඔහුගේ කාර්යභාරයයි.

ඒ දෘෂ්ටිකෝණයෙන් සලකා බැලූ විට ඔහු විසින් කථනය සහ ලේඛනය සඳහා යෝජනා කරනු ලැබූ සිංහල භාෂා ආකෘතිය ඓතිහාසික වශයෙන් පරීක්ෂාවට ලක් කෙරී ප්‍රතික්ෂේප වී ඇත. එම සිංහල භාෂා ආකෘතිය ප්‍රයෝජනයට ගනු ලබන්නේ කුමාරතුංග විසින් ඇති කරනු ලැබූ හෙළ හවුලේ සාමාජිකයින් අතර සන්නිවේදනයේ දී පමණක් බව පෙනේ. එය ද කොයිතරම් දුරකටදැයි කිව නොහැක. හෙළ හවුල් සාමාජිකයින් සාමාන්‍ය දෛනික සන්නිවේදනයේදී තම තමුන් අතර කොයි තරම් දුරට මෙම හෙළ හවුල් ආකෘතියේ භාෂා භාවිතය සිදු කරන්නේදැයි නොදනිමි. ඉන් පිටත ඊට ඇත්තේ සංකේතාත්මක වටිනා කමක් පමණි. එය තරමක් දුරට සමාන කළ හැක්කේ වර්තමාන වැදි බස පරිහරණය කරන ආකෘතියටයි. වැදි බස භාවිත වන්නේ මූලික වශයෙන් ඉතාම සීමිත ප්‍රමාණයක් වන වැදි ප්‍රජාව අතර සන්නිවේදනයේදී ය. ඒ අය ද ක්‍රමාණුකූලව වෙනස් භාෂා භාවිතයන්ට අනුවර්තනය වෙමින් සිටී. වැදි ප්‍රජාවේ නායකයා වැදි ප්‍රජාවෙන් පිටත දී සන්නිවේදනය සදහා වැදි බස භාවිතය ඉවසනු ලබන්නේ ඊට ඇති සංකේතාත්මක වැදගත් කම නිසාය.

වාමාංශිකයන් අතර ද එවැනි විශේෂ භාෂා ව්‍යවහාර පවතී. එහි දී සහෝදරයා වැනි ආමන්ත්‍රණ ක්‍රම යොදාගනී. නමුත් ඒ ප්‍රජාවෙන් පිටත් ඒ භාෂාවට ඇත්තේ වෙනත් වැදගත්කමකි. සමහර විට පොදු අවස්ථාවලදී වාමාංශිකයින් නොවන අයත් කෙනෙකුගේ වාමාංශික අනන්‍යතාවය පිළිගනු ලැබීමට “සහෝදරයා“ යන ආමන්ත්‍රණය ඔහු මත පැටවීම දැකිය හැකිය. බොහෝ තැන්වල වාසුදේවට මේ ආකාරයෙන් සහෝදරයා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම දැකිය හැකිය. සිරස රෑපවාහිනියේ රොෂාන් වටවල වැනි අය නිතරම මෙවැනි ආමන්ත්‍රණ ආකෘතියක් යොදාගැනීම දැකිය හැකිය.

සාමාන්‍ය වශයෙන් හෙළ හවුල් මාදිලියේ භාෂා භාවිත ආකෘතිය යොදා ගැනීම දක්නට ලැබෙන්නේ හාස‍ේ‍යාත්පාදනය සඳහා ය. මම ද 1982 දී පමණ මගේ පාසැල් මිතුරෙක් සමග කොළඹ මහානාම විද්‍යාලයේ පැවැති හෙළ හවුල් භාෂා පංති සඳහා අවස්ථා කීපයකදී සහභාගී වී ඇත. ඒ පංති මෙහෙයවනු ලැබුවේ මට මතක හැටියට ආ. දෝ. චන්ද්‍රෙස්කර විසිනි. ඒ පංති ඉතා රසවත් ඒවා විය. නමුත් ඒ භාෂා ව්‍යවහාරය යොදා ගැනීම සිදු කෙරුණේ ඒවා විසුළු ලෙස අනුකරණය කිරීම සඳහා පමණි. ඒ දිනවල අපි අපේ නම් හෙළ හවුල් ක්‍රමයට සකස් කොට විනෝදය සඳහා භාවිත කළෙමු.

කුමාරතුංග මුණිදාසගේ භාෂා ව්‍යාපෘතිය පමණක් නොව සමස්තයක් ලෙස ඔහුගේ බුද්ධිමය ව්‍යාපෘතිය ලංකාවේ පශ්චාත් යටත් විජිත ව්‍යාපෘතිය තුළ එතරම් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන ඇති එකක් නොවේ. මා කුමාරතුංග ව්‍යාපෘතිය සැලකීමට කැමැත්තේ සිංහල සමාජයේ නූතනකරණයේ ආරම්භක අතරමැදි අවස්ථාවක් ලෙසිනි. එය හරියට සිංහලයා, දැන් ජාතික ඇඳුම ලෙස සැලකෙන රෙද්ද බැනියම ඇදීම වැනි ක්‍රියාවක් ලෙස සැලකිය හැක. මුල් කාලයේ සිංහල ජනයා මේ ඇඳුම තම දෛනික ජීවිතයේ ඇඳුම ලෙස භාවිත කලේය. නමුත් ක්‍රමාණුකූලය නූතනකරණයේ ප්‍රතිඵලයක් ලෙස ඒ ඇඳුම දෛනික ජීවිතයෙන් ඉවත් කොට බටහිර ඇඳුමට මාරු විය. දැන් ජාතික ඇඳුම භාවිත කරන්නේ දේශපාලකයෙක් වීම, කසාද බැඳීම හා දහම් පාසැල් යාම වැනි අවස්ථාවලදී පමණි.  ඒ අනුම ඊනියා ජාතික ඇඳුම ඇදීම අපට සැලකිය හැක්කේ සිංහල සමාජය නූතනකරණය වීමේ සංක්‍රමණී්‍ය මාදිලියක් ලෙසයි. ඉන් පසුව එය ඉතිරිවන්නේ සංකේතාත්මක ක්‍රියාවක් ලෙස පමණි. හෙළ හවුල් ව්‍යාපෘතිය ද සැලකිය හැක්කේ එසේය. එසේ වුවද සංකේතාත්තමක දේ සමාජයකට අවශ්‍ය වේ. ඒවායේ සෞන්දර්යයක් ඇත.

ඒ අනුව හෙළ හවුලට ද වැදි භාෂාවට, වාමාංශික දේශපාලනයට හා ජාතික ඇඳුම ඇදීමට මෙන්ම සෞන්දර්යාත්මක වැදගත් කමක් ඇත.

මහාචාර්‍ය නිර්මාල් රංජිත්ගේ ෆේස්බුක් අඩවියෙන් උපුටා ගත්තෙමු

Social Sharing
නවතම විශේෂාංග