විධායක කෝලම..!

විධායක ජනාධිපති ධූරය ගැන සාකච්ඡාවක් ආයෙත් කරලියට ඇවිල්ලා. ඒකත් එක්ක ගැටගැගිලා තියෙන 20 වෙනි සංශෝධනය ගැනත් සාකච්ඡාවක් මතුවෙලා. සමහරු විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කතා කරනවා. තවත් සමහරු 20 රිවස් කරන්න කතා කරනවා. රටේ රාළ කියන්නේ මේ සාකච්ඡා දෙකම හොදයි.

හැබැයි රටේ රාළට දැනගන්න ඕනි මොකද්ද මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා කරන්න හදන්නේ කියලා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියන උඩම කෑල්ල ගලවලා පැත්තකින් තියන එකද මේ කියන්නේ. එතකොට තියෙන්නේ පාර්ලිමේන්තුවයි, කැබිනට් එකයි, අගමැතියි විතරයි. ඇත්තටම මේක හරියට තේරුම් ගන්න ඕනි කථාවක්. අපි මෙච්චර කල් විධායකය අහෝසි කරන්න ඕනි කියන සටන් පාඨය කර ගහගෙන අවට ඒක අහෝසි කරන්න ඕනි හරි ක්‍රමය තේරුවේ නෑ. අපි දිගටම කළේ විධායකය අහෝසි කරන්න ජනාධිපතිවරු පත් කිරීම විතරයි. ඒ ජනාධිපතිවරුම තමයි අපට ගේම දුන්නේ. මෙතනදී මෛත්‍රී විතරක් 19 වෙනි සංශෝධනය ගේන්න මුල් උනා. ඒ ගෞරවය යහපාලන ආණ්ඩුවටත් අයිති. හැබැයි එයාලත් වැඩේ කළේ භාගෙට. කොහොම උනත් යහපාලන ආණ්ඩුව එතනට තල්ලු කරන්න මූලික වුණේ මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. ඒත් අපේ අවාසනාවට උන් උහන්සේත් අපවත් උනා.

ඕනිම ආණ්ඩුක්‍රමයක විධායකය, ව්‍යවස්ථාදායක, අධිකරණයේ කියලා බල කනු තුනක් තියනවා. ඒ වගේම ඒවා එකිනෙකට යටත් නෑ. ඒවා අතර තුළන පවතින තරමට ඒ ආකෘතිය සාර්ථයකයි. අපි ගත්තොත් ඉන්දියානු ව්‍යවස්ථාව. එතන අගමැති, ජනාධිපති හා අධිකරණය තියෙනවා. ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති. ඒ වගේ නිශ්චිත වගකීමක් තියන ජනාධිපතිවරයෙක් ඉන්නවා. බොහෝ දුරට ඉන්දියන් අධිකරණය ස්වාධීනයි. එංගලන්තය ගැන හිතුවොත් එහේ අගමැතිවරයෙක් ඉන්නවා. එයා තමයි ආණ්ඩුවේ ප්‍රධානියා. ඊට උඩින් ජනාධිපති කෙනෙක් නෑ. ඉන්නේ රැජින. ජපානයෙත් අගමැතිට උඩින් ඉන්නේ අධිරාජ්‍යයා. එතකොට එංගලන්තයේ වගේම ජපානයේ රජාටත් විශේෂ කාර්යභාරයක් තියනවා. යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම ඒ වගකීමවලින් ප්‍රධාන කාර්යයක්. ඔයාලට මතක ඇති දෙවෙනි ලෝක යුද්දෙදි ජපානයේ යටත්වීම ප්‍රකාශ කළේ හිරෝ හිතෝ අධිරාජ්‍යයා.

අපි ඇමරිකානු ව්‍යවස්ථාව ගත්තත් ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඇමරිකාවේ අගමැති කෙනෙක් නෑ. ඉන්නේ උප ජනාධිපති කෙනෙක්. ඒ වගේම කොමියුනිස්ට් පක්ෂ පාලනයක් තියන චීනයේත් බලසම්පන්න ජනාධිපතිවරයෙක් ඉන්නවා. නමුත් ජනාධිපතිට කොමියුනිස්ට් පක්ෂ මතය අභිබවා යන්න බෑ. දැන් ඉන්න ජනාධිපති ෂී ජින් පින්ගේ තියන විශේෂත්වය හින්දා එයා චීනයේ යාවජීව ජනාධිපති බවට පත් කරලා තියනවා. ඒ කියන්නේ මාවෝගේ තත්වය එයාට දීලා තියනවා. හැබැයි අපේ රටේ තියන ජනාධිපති ප්‍රමුඛ ව්‍යවස්ථාවෙන් සියලු බලයන් එතෙන්ට ආරෝපනය කරනවා. ජනාධිපති කැබිනට් එක සලකන්නේ නෑ. පාර්ලිමේන්තුව සලකන්නේ නෑ. අගමැති පඹයෙක් කරනවා. සියලු පත්වීම් කරන්නේ එයා. ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට, වගේම මහාධිකරණට විනිශ්චයකාරවරු පත් කරන්නේ ජනාධිපති. ඉතින් කොහොමද අධිකරණය ස්වාධීන වෙන්නේ.

අපේ රටට 78 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධූරය හඳුන්වා දුන්න ජේආර් ලෝකයේ තියන අනිත් ව්‍යවස්ථා අධ්‍යයනය කරන්න ඇති. කොහොම උනත් රටේ රාළට හිතෙන්නේ ජේආර් අපිට ආදේශ කරලා තියෙන්නේ ඇමරිකාවේ, ප්‍රංශයේ, සිංගප්පූරුවේ තියන ක්‍රමවල මිශ්‍රණයක්. ඇත්තටම ජේආර් ගොඩක් වෙලාවට හිතලා තියෙන්නේ රට ගැන නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ බලය අඛණ්ඩව ගෙනියන්න පුළුවන් විදිහක් ගැනයි. ලෝකේ ශිෂ්ඨ සම්පන්න රටවල මොන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යනය කළත් ඇත්තටම අපේ රටේ තරම් විකාර රූපී ක්‍රමයක් තවත් නෑ. ඒක නිසා තමයි ජේආර් හඳුන්වලා දුන්න ව්‍යවස්ථාවට 20 වතාවක් සංශෝධන එකතු වෙලා තියෙන්නේ. ඒ විකෘතිය නිසා තමයි විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕනි කියන සටන් පාඨය තවමත් වලංගු සටන් පාඨයක් විදිහට පවතින්නේ. අපේ රටේ ජනතාව පත් කරගත් විධායක ජනාධිපතිවරු හය දෙනාගෙන් තුන් දෙනෙක්ගේම ප්‍රධාන සටන් පාඨය වෙලා තිබුණෙත් විධායකය ජනාධිපතිධූරය අහෝසි කිරීම.

විධායකය අහෝසි කිරීම කියන සටන් පාඨය ගත්තේ නැත්තේ ජේආර්, ප්‍රේමදාස හා ගෝඨාභය විතරයි. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී ආවේ විධායක අහෝසි කරන්න. හැබැයි මහින්ද 18 වෙනි සංශෝධනය ගෙනත් හැදුවේ ජේආර් ගිය ගමන යන්න තමයි. වෙලාවට මේ රටේ ජනතාව මහින්ද ගෙදර ඇරියා. ඇත්තටම ගෝඨාභය හා ජේආර් ඉන්නේ එක පීල්ලේ. ඒක පැහැදිලිව පේන ප්‍රකාශ දෙකක් ඒ දෙන්නා කරලා තියනවා. ජේආර් කිව්වේ මට බැරි ගෑනියෙක් මිනිහෙක් කරන්නයි මිනිහෙක් ගෑනියෙක් කරන්නයි විතරයි කියලා. ගෝඨාභය කිව්වේ මම කියන එක තමයි නීතිය ආය වෙන චක්‍ර ලේඛණ අදාළ නෑ කියලා. ජේආර් ගැනත්, ගෝඨාභය ගැනත් තේරුම් ගන්න ඒ කතා දෙක හොඳටම ඇති වගේම විධායක ජනාධිපතිකම ගැන තේරුම් ගන්නත් ඒ කතාව හොඳටම ඇති. ඇත්තටම දැන් විධායක ජනාධිපතිකමට පෙරේත අය හදන අලුත් කතාව තමයි ඔතන වැදගත් මිනිහෙක් ඉද ගත්තොත් ප්‍රශ්නයක් නෑ කියලා.

හරි දැන් ඔය තනතුරේ අපි ඉන්දවපු වැදගත් නොවන මිනිහා කවුද? ඉන්දවන්න ඉස්සෙල්ලා ඔක්කොම වැදගත් තමයි. ඉදගත්තට පස්සේ තමයි යකා වෙන්නේ. හරි ඊට වඩා වැදගත් කියලා කියන දැන් ඉන්න නායකයෝ කවුද? සජිත්ද? අනුරද? එයාලා වැදගත් කියලා කියන්න එක උදාහරණයක් කිව්වොත් එහෙම නෑ කියන්න රටේ රාළ උදාහරණ දහයක් කියනවා. ඒක නිසා සජිත්ගෙයි, අනුරගෙයි වැදගත්කම ගැන කතා නොකර අපි ප්‍රශ්නය කතා කරමු. දැන් සමහර අය කියනවා විධායක ජනාධිපති ධූරය ඔය කියන තරම් රටට අහිතකර නෑ කියලැ. වෙන කවුරුත් නෙවෙයි අනුර තමයි කියන්නේ. අනුර මේක තනුක කරන්න හදන්නේ මොන අදහසින්ද කියලා ඔයාලට හිතාගන්න පුළුවන් ඇති. රටේ රාළට නං හිතා ගන්න පුළුවන්. ඒක නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා තමන්ගේ හිතේ තියන එක කට්ටිය දැන් කියන්න ඕනි. රටේ රාළ විධායකය ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන්නේ ජනාධිපතිකම අයින් කරන එක නෙවෙයි. අත්තනෝමතික බලය විධායක ජනාධිපතිගෙන් ගැලවීමයි. නැතිව ජනාධිපති කියන ධූරය නැති කිරීම නෙවෙයි.

මරණාධාර සමිතියක උනත් සභාපති වරයෙක් ඉන්නවා. එයා නැත්තං ඒ සමිතියේ තින්දු තීරණ ව්‍යවස්ථානුකූල වෙන්නේ නෑ. ඒ වගේම තමයි රටේ විධායක බලතල මෙහෙයවන්න ජනාධිපති කෙනෙක් ඕනි. සියල්ල කැබිනට් එකට පවරලා මේක කරන්නත් බෑ. හැබැයි එයා විධායකය ජනාධිපති කෙනෙක් නෙවෙයි. ඒක නාමමාත්‍රික කියලා හෑල්ලු කරන්නත් අවශ්‍ය නෑ. ජනාධිපති වෙත පැවරෙන වගකීම නිශ්චිත කරන්න ජනාධිපති ධූරයක් ඕනි. සමහරු කියයි ඒක පාර්ලිමේන්තුවෙන් පත් කරගමු කියලා. තවත් සමහරු කියයි ඒක ජනවරමකින් පත් වෙන්න ඕනි කියලා. රටේ රාළ ඔය ප්‍රශ්නයත් එකක් ඔට්ටු වෙන්නේ නෑ. රටේ රාළ කියන්නේ ඒක කරන ඔයාලගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත මොකද්ද කියලා පෙන්නන්න. ඒක කලින් රටට කියන්න. මොකද මේ ජනාධිපති ධූරය සතු අත්තනෝමතික බලතල අයින් වෙන්න ඕනි.

ජනාධිපතිවරයා අධිකරණයට යටත් වෙන්න ඕනි. ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් පැවරුන වගකීම හා බලතල පැහැදිලි වෙන්නේ ඕනි. ඊළඟ එක තමයි ජනාධිපති ධූරයට නෙවෙයි රටේ මොනම වගකිවයුතු ධූරයකටවත් පිස්සෝ පත් වෙන්න තියන අවස්ථාව ව්‍යවස්ථාවෙන්ම අහුරන්න ඕනි. ඒකට අවශ්‍ය ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුළත් වෙන්න ඕනි. ඒක නිසා ඒ වැඩේ කරන්න කියලා මේ බලය තියෙන විධායකය ජනාධිපති පුටුවේ කිසිකෙනෙක් ඉන්දලා නං වැඩක් නෑ. ඒ ව්‍යවස්ථාව රට ඉදිරිපත් කරලා ඒකට ජනවරමක් ලබාගැනීම තමයි කරන්න ඕනි. ඇත්තටම මෙතනදී නව ව්‍යවස්ථාවකට අදාළ සාකච්ඡාවක් දැනටමත් මතු වෙලා. දැනට එහෙම ව්‍යවස්ථා රාමු කීපයක් ඉදිරිපත් වෙලා තියනවා. ආණ්ඩුවත් එහෙම එකක් ඉදිරිපත් කරනවා කියනවා. ඒක ඉදිරිපත් කරනවා කිව්වේ 2021 දී. හැබැයි තවම නෑ. ආරංචියේ විදිහට ආකෘතිය ජනාධිපතිතුමා ළග තියනවා.

ඊළගට සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් එකක් ඉදිරිපත් කරලා තියනවා. ඒකෙන් එයා යෝජනා කරන්නේ මේ ව්‍යවස්ථා රාමුව තුලින්ම ගිහින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න. රටේ රාළ අනිත් අයගෙනුත් ඉල්ලනේ ඒ ඒ වෙලාවට පොඩි පොඩි කෑලි දාලා මේ විධායක ජනාධිපති ධූරය කියන ලෝදිය බදුන තනුක කරන්න යන්නේ නැතිව විධායකය අහෝසි කරනවා නං කරන විදිහ කියන්න. ඒ කියද්දී සැළකිලිමත් වෙන්න ඕනි එක ප්‍රධාන කරුණක් තියනවා. ජේ ආර්ගේ ව්‍යවස්ථාව හැටියට රටේ ඒකීයභාවයේ සංකේතය තමයි විධායක ජනාධිපතිවරයා. ඒ බලතල ශක්තිමත්ව ජනාධිපතිවරයාට පවරලා තියනවා. විධායකය ජනාධිපති ධූරය අහෝසි කරද්දී ඒ බලය කොතෙන්ටද ගැට ගැහෙන්නේ කියන එක පැහැදිලිව තියෙන්න ඕනි. කිසිම බෙදුම්වාදී ව්‍යාපාරයකට රටේ කොටසක් කඩාගෙන වෙන් වෙන්න බැරි ප්‍රතිපාදනය හරියට තියෙන්න ඕනි. ඊළඟට සෑම ජාතියකටම මේ රටේ තියන සම අයිතිය තහවුරු කරන්න ඕනි. රටේ මහජන මතය නිවැරදිව පිළිඹිබු වන නව මැතිවරණ ක්‍රමයක් ඕනි. කොටින්ම කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, සමානත්මතාවය තහවුරු කරපු ව්‍යවස්ථාවක් ඕනි.
එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

මීට
රටේ රාළ.
(ප්‍රියන්ජිත් විතාරණ)

Social Sharing
නවතම විශේෂාංග