නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන තැනට පත් වෙමුද?

අන්තවාදී ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු අවුළුවන සමාජ මාධ්‍ය වෛරී කථනයට එරෙහිවෙමු

“මහත්තයා මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. කුරුණෑගල ටවුමේ රෙදි ලෑල්ලක් දාගෙන රෙදි විකුණලා තමයි අපි ජීවත් වෙන්නේ. අපි මුස්ලිම්. මගේ දරු පවුල ජීවත් කරවන්න මේකෙන් ලැබුණු ආදායම ප්‍රමාණවත් වුනා. අවුරුදු කාලෙට, නත්තල් කාලෙට හොද ආදායමක් ලැබුණා. ඒත් ඒ ඉස්සර. පස්සෙ මිනිස්සු මගේ රෙදි ලෑල්ල පැත්ත පලාතෙ ආවෙ නැහැ. ජීවත් වෙන එක බොහොම අමාරු වුනා. දරුවො පාසැල් යවන්න ඕනි. කන්න බොන්න දෙන්න ඕනි. ඉස්සර මගෙන් රෙදි ගත්තු සිංහල මිනිස්සු දැන් වෙන තැන්වලට යනවා. මම කිසිම වරදක් කරලා නැහැ මහත්තයා. එකම දේ මම මුස්ලිම් වෙලා ඉපදීම විතරයි.” මෙහෙම කියන්නේ කුරුණෑගල ජීවත්වෙන මොහොමඩ් නිෆ්රාස් නම් සුළු වෙළද ව්‍යාපාරිකයෙක්. හිතන්න පුළුවන් ද කෙනෙක්ගේ ජාතිය, ආගම පදනම් කරගෙන ඔවුන්ට පහර දෙන එකේ අදුරු පැතිකඩ.

අන්තවාදය කියල කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, පුද්ගල නිදහස සහ විවිධ විශ්වාසයන් හා විශ්වාසයන්ට ගරු කිරීම සහ ඉවසීම ඇතුළු අපගේ මූලික සාරධර්මවලට වාචිකව හෝ ක්‍රියාකාරී ලෙස විරුද්ධ වීම ලෙස සරළව හඳුන්වන්න පුළුවන්. බොහෝ ප්‍රචණ්ඩ අන්තවාදී මතවාද පදනම් වෙලා තියෙන්නේ වෙනත් පුද්ගලයකුගේ ජාතිය, ආගම, ජනවාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ රට / පවතින රජය කෙරෙහි ඇතිවන වෛරය මත බව UNODC – දෝහා ප්‍රකාශයේ සදහන් වනවා.

අන්තවාදී ක්‍රියාකාරකම් වලක්වන්න ශ්‍රී ලංකාව ඇතුලේ නිශ්චිත නීති පද්ධතියක් තවම බිහිවෙලා නැහැ. නමුත් ඊට ගැලපෙන අන පනත් කිහිපයක් තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහය, පොලිස් ආඥා පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන පනත) සහ ඒ යටතේ පවතින නියෝග, 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය (අයි.සී.සී.පී.ආර්) පනත, 2007 අංක 24 දරන පරිගනක අපරාධ පනත, 1999 අංක 11 දරණ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මැඩපැවැත්වීමේ පනත, 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත ඒ අතුරෙන් කිහිපයක්. විශේෂයෙන්ම 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 2(අ)(ඌ) වගන්තියට අනුව, ජාතිය, ආගම පදනම් කරගනිමින් එකිනෙකා අතර එදිරිවාදිකම් ඇතිකිරීමට සැළැස්වීම වරදක් බව දක්වා තිබෙනවා.

ආගම, ජාතිය, ජාතිකත්වය කියන කාරණා පදනම් කරගනිමින් ලංකාව ඇතුලේ අන්තවාදය වපුරන කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා කියලා පිළිගන්න වගකිවයුතු අංශ සූදානම් නැහැ. එහි අනිසි ප්‍රතිඵල සමාජයේ තැනින් තැන පත්තු වෙනවා. වර්තමානයේ අන්තවාදී සංවිධානවලට රහසිගත වගේම සූක්‍ෂම වේදිකා රැසක්ම බිහිවෙලා තිබෙනවා. ඒ තමයි සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍ය කියලා කියන්නේ, තොරතුරු හුවමාරුකර ගැනීම හා පරිභෝජනය කිරීම මගින් පුද්ගලයින් එකිනෙකා සමඟ එකිනෙකට සම්බන්ධ කර ගැනීමට හැකි වෙබ්-සන්නිවේදන මෙවලමක්. ෆේස් බුක්, ට්විටර්, වට්ස්අප්, වයිබර්, ඉමෝ, ලිංක්ඩ් ඉන්, ඉන්ටර්ග්‍රෑම්, බ්ලොග්, වෙබ් කියන මේ සියල්ලක්ම අයත් වන්නේ නව මාධ්‍ය ගොඩට. වර්තමානයේ ලංකාව ඇතුලේ අන්තවාදය වපුරවන බොහෝ පිරිස් තමන්ගේ වේදිකාව කරගෙන තියෙන්නේ මෙන්න මේ සමාජ මාධ්‍ය. මෙම අවකාශයන් නිර්මාණය වෙන ආකාරය ගැන 2014 වර්ෂයේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) මගින් කරපු මෙරට ෆේස් බුක් මාධ්‍ය ඔස්සේ සිදුවන වෛරී කථනය පිළිබදව කරපු අධ්‍යයනයකින් පැහැදිලිව දක්වා තිබෙනවා.

වෛරී කථනය කියල කියන්නේ වර්ගය, ආගම, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය හෝ ලිංගික නැඹුරුව පදනම් කරගෙන පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පහර දෙන කථනය විදිහට බෙනිෂ් තමන්ගේ නිර්වචන ඇතුලේ සදහන්කර තිබෙනවා. අන්තර්ජාලය තුළ වෛරී කථනය ව්‍යාප්ත කරන්න වේදිකා ගණනාවක් ම දක්නට ලැබෙනවා. මේ අතුරෙන් වෛරී අඩවි හා බ්ලොග් හා ඔන්ලයින් සංවාද මණ්ඩප කටයුතු කරන්නේ යම් යම් කණ්ඩායම්වලට එරෙහිව වෛරී කථනය ප්‍රවර්ධනය කිරීම හා ඇවිස්සීම වෙනුවෙන්. තරුණ තරුණියන් සහ පාසැල් දරුවන් අන්තවාදයට යොමු කරන තවත් ක්‍රමයක් තමයි වීඩියෝ ගේම්. ඒ වගේම යූ ටියුබ් වැනි වීඩියෝ සංසරණ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචණ්ඩත්වය සමාජගත කරන්න ගීත සහ වීඩියෝපට යොදාගන්නා ආකාරයක් දැකගන්න පුළුවන්.

ලංකාව වගේ රටක වෛරී කථනය ගොඩක් වෙලාවට ආරම්භ වන්නේ මුස්ලිම් භීතිකාවත් එක්ක. මේක අපි ඉංග්‍රීසියෙන් Islamophobia ලෙසින් හඳුන්වනවා. කුඩා කණ්ඩායම් එකතුවෙලා නිර්මාණය කරන, පතුරුවා හරින වෛරී කතා වලින් පසුකාලීනව දරුණු ව්‍යසන ඇතිකරනවා. මහනුවර සහ කුරුණැගල යන දිස්ත්‍රික්ක දෙක ගත්තොත් පසුගිය සමයේ අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවශයෙන් දැකගන්න ලැබුණු දිස්ත්‍රික්ක දෙකක්. වෛරී කතා ප්‍රවර්ධනය කරමින් ප්‍රතිවාදීන් පාගා දමන්න ඔවුන් භාවිත කරන්නේ වෙළඳ සංගම්. ලංකාවේ සෑම ප්‍රදේශයකම වෙළඳ සංගම් පිහිටුවාගෙන තිබෙනවා. කුරුණෑගල ඒ අතුරෙන් විශේෂයි. අලුත් අවුරුදු කාලසීමාවට තමයි “මුස්ලිම් කඩ වලට යන්න එපා … හම්බයන්ගේ කඩවල කාන්තා යට ඇඳුම්වල වඳ බෙහෙත් තවරා ඇත … සිංහල බෞද්ධ කඩයකින් රෙදි ගමු …” ආදී වශයෙන් තේමා පාඨ කරලියට එන්නේ. අන්තවාදී පිරිස් ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය මේ සඳහා වේදිකාවක් බවට පත්කර ගන්නවා.

මේ සෑම වෙලඳ සංගමයක්ම තමන්ගේ වෙළඳාම දියුණු කරගන්න ව්‍යාපාරික ක්‍රමෝපායන් භාවිත කරනවා වෙනුවට ගොඩක්ම කරන්නේ නෙගටිව් මාර්කටින්. ආවේගශීලී තරුණයෙක් හෝ තරුණියක් භාවිත කරමින් ප්‍රතිවාදී වෙළඳසැළක තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් සමාජ මාධ්‍යයෙන් ජනගත කිරීම ඔවුන්ගේ මූලික උපායක්. බුද්ධිමත් මිනිස්සුන්ට මේකෙ යතාර්ථය වටහා ගන්න පුළුවන් වූවත්, නූගත් මිනිස්සු මේක ඇත්ත විදිහට පිළිගන්නවා. ඒ අනුව තමයි වෛරී කටකතා ප්‍රචාරණය වෙන්න පටන් ගන්නේ. පහුගිය කාලෙ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව ඉලක්ක කරගෙන ජනප්‍රිය වෙළද සන්නාම වලට එරෙහිව ගෙන ගිය මඩ ව්‍යාපාරය මීට හොදම උදාහරණයක්.

මේ කතාව අපිත් එක්ක බෙදා ගත්තේ කුරුණෑගල මානව හිමිකම් මධ්‍යස්ථානයේ සභාපති සෙන්දිල් සිවගනානම් මහතා සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක සමන් කීර්ති බණ්ඩාර මහතා. “මාවතගම නුවර පාරේ පරගහ දෙනිය හන්දිය කියන්නේ තනිකර මුස්ලිම් ගමක්. මෙහි ජීවත් වෙන්නේ මුස්ලිම් පවුල් විතරයි. ගම වටේම තියෙන්නේ සිංහල ගම්මාන. දන්න කාලෙක ඔවුන් අතර ගැටුමක් නම් ඇතිවෙලා නැහැ. ඔය කාලසීමාවේ තමයි බොදුණුවන්ගේ බලය පෙන්වන සංවිධානයක ලේකම් ස්වාමීන්වහන්සේ නමක් මේ ප්‍රදේශයේ ජනතාව අතර ගැටුමක් අවුළුවන්න පාර කපන්නේ.

“පරගහ දෙනිය හන්දියේ තියෙනවා එක්තරා පෙට්‍රල් ෂෙඩ් එකක්. මේක අයිති මුස්ලිම් මුදලාලි කෙනෙක්ට. දවසක් මේ හාමුදුරුවෝ ඔතනින් තමන්ගේ වාහනෙන් වඩිනකොට ෂෙඩ් එක ළඟ ත්‍රීවීල් පාර්ක් එකේ හිටපු මුස්ලිම් තරුණයෙක් තමන්ගේ ත්‍රී රෝද රථයේ නලාව ශබ්ද කරනවා. හාමුදුරුවොත් හිටියේ තරහින් නිසා හෙවිල්ලක් බැලිල්ලක් නැතිව බැනවදින්න පටන් ගන්නවා. උන්වහන්සේ අනුමාන කරන්නේ මේක ෂෙඩ් එක අයිති මුස්ලිම් මුදලාලිගේ අනුදැනුම පිට තමන්ට අපහාස කිරීමේ අරමුණෙන් සිද්ධ වෙච්චි කාරණයක් ය කියලා. පසුව හිමි නම සිංහල තරුණයින් පිරිසක් මෙතැනට රැගෙන එනවා. කොහොමින් කොහොම හරි මේක මාවතගම පොලිසිය දක්වා යනවා.” කුරුණෑගල දිස්ත්‍රික් මානව හිමිකම් සංවිධානයේ වාර්ෂික සිද්ධි විශ්ලේෂණ වාර්තාවල පවා ඔවුන් මේ පිළිබද දීර්ඝ ලෙස විස්තරයක් ඉදිරිපත්කර තිබෙනවා.

# පරපුර ආයතනය දක්වන ආකාරයට, “සිංහලේ … සිංහල ලේ …” මෙන්න මේ විදිහේ සටන් පාඨ රැල්ලක් සමාජය තුළින් මතුවෙලා ආවා. “සිංහ” කියන අකුරු තුන කළු පාටිනුත්, “ලේ” කියන අකුර රතු පාටිනුත් නිර්මාණය කරමින් ටී ෂර්ට්, හිස් පලඳනා, ලේන්සු විතරක් නෙවෙයි, ස්ටිකර්, බැඡ් රැල්ලක් සමාජය ඇතුලෙන් මතුවෙන්නේ. මේ කාලෙ තමයි “සිංහලේ” පාඨය වෙනුවට ප්‍රතිවිරුද්ධ “දෙමළේ …” “මුස්ලිම් ලේ …” කියන පාඨ සමාජය තුළින් මතුවෙන්න පටන් ගත්තේ.“හලාල් සංකල්පය, වඳ පෙති, තම්බි කඩ වර්ජනය” කියන කාරණා සමාජය ඇතුලෙ ඔඩු දුවන්නෙත් මේ කාල සීමාවේයි.

මුස්ලිම් භීතිකාව ලාංකේය සමාජය තුළ ඇතිවුනේ ක්‍රමක්‍රමයෙන්. 2009න් පසුසේ යුද්ධය අවසන් වීමත් එක්ක මේ කාරණය වරින් වර සමාජය තුළින්ම මතුවූවා. විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය ගතහොත් එහි සිංහල වෙළඳ සංගමය, වීර විධාන වැනි සංවිධාන සමඟ එක්ව තදබල ලෙස ජාතිවාදී මුහුණුවරකින් වෙළඳ කටයුතු මෙහෙයවන්නට පවා ඔවුන් උපකාර කරනවා. කුරුණෑගල ගලගෙදර පැත්තේ වැඩි වශයෙන් සාදික්කා, කොප්පරා වැනි වෙළඳ බෝග මිලට ගත්තේ මුස්ලිම් ප්‍රජාව. මේක නොයිවසූ අය තමයි පසු කලෙක හලාල් ප්‍රශ්නය වැනි ජනතාව මුලා කරන, නොමග යවන සංකල්ප ජනගත කළේ. අදටත් අපි මුස්ලිම් කෑම කඩයකට හෝ රෙදි කඩයකට ගොඩවෙන්න කලින් දෙපාරක් හිතනවා. ඒ තමයි අපේ යටි හිතේ තැන්පත්වෙලා තියන බය සහ සැකය. ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය (International Centre for Ethnic Studies) සහ මානව හිමිකම් අධ්‍යාපනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය (Equitas) මගින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හතරක් තුළ අන්තර් ආගමික ගැටුම් නමින් පලකළ ප්‍රකාශනයේ ඔවුන් ආගම් අතර ගට්ටනයෙන් ජනවර්ග අතර ගැටුම් ඇතිවන ආකාරයත්, වෛරී කථා ප්‍රවර්ධනයෙහි ලා පුද්ගල ක්‍රියාකාරීත්වය පිළිබද ඉතා හොද විග්‍රහයක් ඉදිරිපත්කර තිබෙනවා. පසුකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී කථා පැතිරීම කෙරෙහි මෙම ආගමික ගැටුම් බලපෑම් කර තිබෙන බව එයින් පැහැදිළිව හඳුනාගන්න පුළුවන්.

මහනුවර දිස්ත්‍රික්කය මුල්කර ගනිමින් දරුණු අන්තවාදී සිදුවීමක් වාර්තා වුනේ 2018 වර්ෂයේ පෙබරවාරි මාසයේ අග භාගයේ. තෙල්දෙනිය නගරයේ පෙට්‍රල් ෂෙඩ් එකක සිංහල තරුණයින් තිදෙනෙක් සහ මුස්ලිම් තරුණයන් පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදුවන ගුටිබැට හුවමාරුවෙන් එක් සිංහල තරුණයකු මියයනවා. තරුණයාගේ මරණය ජනතාව ප්‍රකෝප කරන්න සහ අවුළුවන්න මුල් වූවා. මේ කතාව සියල්ලන්ම දන්න කාරණයක්. මහසෝන් බලකාය දරුණු විදිහට මේ ජාතිවාදී ගැටුම ඉදිරියට රැගෙන ගියා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇතුලේ ඔවුන් ගෙන ගිය මෙහෙයුම නිසා සමස්ථයක් විදිහට රටේ ජනතාව තුළ මුස්ලිම් විරෝදී ආකල්ප මතුවෙන්න පටන් ගත්තා. මෙම ගැටුමට මුල් වූ ආගමික ප්‍රජාව ප්‍රධාන කල්ලි දෙකකට බෙදුණා. ඒ ගැටුම සමථයකට පත්කරන පිරිස සහ අවුළුවන පිරිස. මෙයින් ගැටුම සමතයකට පත්කරන පිරිස ඉතාමත් අවම වූවා. සමහරු ගැටුම වර්ධනය කරන්න සමාජ මාධ්‍යයේ, විශේෂයෙන්ම ෆේස් බුක් එක ඇතුලේ ලොකු මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූවා.  නමුත් මේ අවස්ථාවේ ඊට විරුද්ධව අදහස් දක්වන්න ලොකු බලවේගයක් සමාජය තුළ ක්‍රියාත්මක වූයේ නැහැ.

ගැටුම ජීවිත දෙකක් හා විශාල දේපළ හානියකින් කෙළවර වූවා. මේ කාලසීමාවේ වෛරී ප්‍රකාශන බොහෝමයක් සමාජය තුළ පැතිරුනේ සමාජ මාධ්‍යයෙන්. උදාහරණ විදිහට, “සියලු මුස්ලිම් වැසියන් මරා දමමු … දරුවන්වත් ඉතිරි නොකරමු … ඔවුන් සියල්ලෝම බල්ලන් පිරිසකි …” වැනි ප්‍රකාශ පෙන්වා දෙන්න පුළුවන්. “මුස්ලිම් ආපනශාලා හිමියන්ගේ ආහාරවලට වඳ පෙති මිශ්‍රකර තිබේ. මුස්ලිම් කඩ වර්ජනය කරමු …” වැනි ප්‍රකාශ සමාජය තුළ ලැව් ගින්නක් වගේ පැතිර ගියේ නිමේෂයකින්. සමාජ මාධ්‍ය තුළින් තමයි අන්තවාදී කණ්ඩායම් ඒ අදහස් පෝෂණය කළේ. කෙසේ නමුත් ඒ ආසන්න කාලයේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය වැනි සාමය සහ සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන ආයතන LIRC සහ DIRC කියන කමිටු හරහා ප්‍රතිවිරුද්ධ කතා නිර්මාණය කරමින් මහනුවර සාමකාමී පරිසරයක් ගොඩනගන්න කටයුතු කළා.

# පරපුර ආයතනය තමන්ගේ පර්යේෂණ වපසරිය තුළ මෙම ගැටුම් කාලසීමාව තුළ, ඊට පෙර සහ පසු තත්ත්වය පිළිබද අධ්‍යයනය කරමින් පර්යේෂණ රැසක් සිදුකර තිබෙනවා. ඒ තුළ ආගමික සහ ජනවාර්ගික පදනමින් සමාජ මාධ්‍ය තුළ වෛරී කථා ප්‍රචාරණය සිදු වූ ආකාරය පිළිබද ඔවුන් සංඛ්‍යා ලේඛන පවා ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී ට්විටර් වලට වඩා ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ වැඩිවශයෙන් සමාජය කුපිත කරවන ප්‍රකාශන සහ ජායාරූප ඉදිරිපත් වී තිබුණා. සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය සදහා වූ කාරක සභාවේ සභාපති ගාමිනී ජයවීර මහතාට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව අතර ප්‍රචණ්ඩ අන්තවාදය ව්‍යාප්ත කිරීමෙහි ලා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වෛරී කතා ප්‍රබල ලෙස හඳුනාගෙන තිබෙන බව පවසනවා.

ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කිරීම සඳහා ෆේස් බුක් සමාජ ජාලය බලපෑම් කර තිබෙන බවට ෆේස් බුක් සමාගම විසින් සිදු කළ අධ්‍යයනයකින් තහවුරු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින අවධානමේ ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස මුස්ලිම් සුළු ජාතිකයින්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය සඳහා ප්‍රකෝප කරවීමට ෆේස් බුක් ඔස්සේ කටකතා සහ වෛරී ප්‍රකාශන ව්‍යාප්ත කිරීම” දක්නට ලැබෙන බවයි. මේ සඳහා 2018 වසරේ දිගන සිදුවීමත් එක්ක අකුරණ, කටුගස්තොට යන ප්‍රදේශවලින් පවා යම් යම් සිදුවීම් වාර්තා වූවා. එම සිදුවීම් එතරම් දරුණු නොවූවත්, වෛරී ප්‍රකාශන සහ අසත්‍ය තොරතුරු නිසා සිදු වූ බව පෙන්වා දෙන්න පුළුවන්. එවක රජය ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ඇතැම් ප්‍රකාශන හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අක්‍රිය කරන්න කටයුතු කළා. එම අවහිර කිරීම් 2018 මාර්තු 1 වන දින සිට මාර්තු 16 වන දින දක්වා ක්‍රියාත්මක වූවා. කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්ක දෙකේම සිද්ධවෙච්චි මේ සිදුවීම් පිළිබඳ විමසා බලනකොට පේන්න තියෙන කාරණයක් තමයි සිද්ධියට බලපාපු පූර්ව සහ පශ්චාත් සිදුවීම් රැසක් තිබූ බව.

මේ නිසාම තමයි දකුණු ආසියානු කලාපයේ රටවල සමාජ මාධ්‍ය මානව හිමිකම් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් අරගෙන තිබෙන්නේ. ඒ අතර, මානව හිමිකම් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ ආයතනික වගවීම වැඩි දියුණු කිරීම, ප්‍රජා ප්‍රමිතීන් යාවත්කාලීන කිරීම සහ බලාත්මක කිරීම වැඩි දියුණු කිරීම වැනි තවත් බොහෝ කාරණා එහි අන්තර්ගතයි. “මාර්ක් රොසන්බර්ග්” දක්වන ආකාරයට ප්‍රචණ්ඩත්වය ඇතිවෙන්නේ සංතෘප්ත කරගන්න බැරි අවශ්‍යතාවක අවසාන ප්‍රතිඵලයක් ලෙසයි. අනික අපි කිසිම වෙලාවක වෛරී ප්‍රකාශ කරන කෙනාව කළු චරිතයක් ලෙස හංවඩු ගැසීම නොකළ යුතුයි. ඔහුට හෝ ඇයට ඇහුම්කන් දිය යුතුයි.

සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවන වෛරී කතාවලට එරෙහි වෙන්න රජයට වගකීමක් තිබෙනවා. මොකද ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකීම දරන්නේ ඔවුන් නිසා. බෞද්ධ දර්ශනයට අනුව “ස්වභාෂිත” සූත්‍රයේ සියල්ලන්ටම කාරුණිකව කතා කිරීමේ වැදගත්කම පිළිබඳ බුදුන් වහන්සේ කරුණූ දක්වනවා. ඒ වගේම සෑම ආගමකම ශාස්තෘවරුන් අනෙකාගේ යහපත වෙනුවෙන් වචන භාවිතකළ යුතු බව පෙන්වා තිබෙනවා. අනෙත් කාරණය තමයි මේ වෙනුවෙන් නෛතිකමය මැදිහත්වීමක් අවශ්‍යයි. මෙවැනි තත්ත්වයක් තුළ වෛරී කථා ප්‍රවර්ධනය කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නවා සේම ඒවායේ ආදීනවත් පෙන්වාදිය යුතුයි.  සියලුම ආකාරයේ වෙනස්කම් තුරන් කිරීමේ සම්මුතියේ සිව්වන ව්‍යවස්ථාවේ සියලුම ආකාරයේ වෛරී ප්‍රකාශනවලට එරෙහි වීම පිළිබඳ සඳහන්කර තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් මේ වෙනුවෙන් විවිධ සම්මුති පවා ඇතිකර තිබෙනවා මෙන්ම ලංකාවේත් නීති පද්ධතිය නම්‍යශීලීකළ යුතුයි. වෛරී ප්‍රකාශනවලින් සිදුවන්නේ ජනවාර්ගික ආතතියක් සහ අසමගියක් නිර්මාණය කිරීම යි. වෛරී කථනය රටින් තුරන් කිරීමට සිවිල් සමාජ සංවිධානවලට සහ ආගමික නායකත්වයට විශාල වගකීමක් තිබෙනවා. මිනිස්සු විදිහට අපි බුද්ධිමත්ව කටයුතුකළ යුතුයි. වෛරී කතාවලට ප්‍රතිවිරුද්ධ කතා නිර්මාණය කරමින් සමතුලිතබව ආරක්‍ෂා කරගත යුතුයි.

සටහන :- අමිල නුවන් මධුසංඛ

Social Sharing
නවතම විශේෂාංග