මහාචාර්ය මාරඹේ එලියට, චීන පෝර නැවත පරීක්ෂාවට

අහිතකර බැක්ටීරියා අඩංගු බව තහවුරුවූ චීන සමාගමක නිශ්පාදිත පොහොර තොගයක් ශ්‍රී ලංකාව තුලට ගෙන්වීමට  විරෝධය පෑ විෂය ප්‍රවීනයෙක් තනතුරු වලින් ඉවත් කරමින් ආනයනිත පොහොර චීන බලපෑම නිසා නැවත පරික්ෂා කිරීමට රජය  තිරණය කර තිබේ.

මහින්දානන්ද අළුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ජයසූරිය උඩුකුඹුර   විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති  බවයි.

හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ  චීන කාබනික පොහොර තොගය තුන්වැනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා  26 අඟහරුවාදා උදෑසන සදහන් කර තිබුනි.

කොළඹ දී  පැවති වැඩසටහනක් අතරතුරදී  මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සදහන් කළේ චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී තව දුරටත් සදහන් කර තිබුනේ , ශ්‍රී ලංකාවේ  විද්‍යාගාරවල සිදු කර ඇති පර්යේෂණ පිළිගත නොකැහි බව අදාළ චීන සමාගම දන්වා සිටි බවයි.

චීනයේ චින්දාවෝ සිවින්ග් බයෝ ටෙක් සමාගමේ නිෂ්පාදනය කරන කාබනික පොහොරවල අහිතකර බැක්ටිරියා අඩංගු බව අවස්ථා දෙකකදීම  මෙරට ශාක නිරෝධායන සේවය තහවුරු කර තිබුනි.

එම පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වීමට ඉඩ නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යංශය දිගින් දිගටම ප්‍රකාශ කළත් මෙට්‍රික් ටොන් 20,000 ක පොහොර තොගයක් රැගත් නැවක් මේ වන විට මෙරට මුහුදු සීමාවට සමීප වී සිටින බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් සදහන් කර තිබුනේ චීන කාබනික පොහොර පොහොර අධ්‍යනය කිරීම සඳහා දෙපාර්ශවයම කැමති වන තුන්වැනි පාර්ශවයකට දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බවයි.

බුද්ධි මාරඹේ කියන්නෙ CIC ලොක්කෙක්

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ජයසූරිය උඩුකුඹුර විසින් නිවේදනය කර ඇති පරිදි ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් යන සියලු තනතුරුවලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ  වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ ට උපදෙස් ලබා දී තිබේ.

මහාචාර්ය මාරඹේ  රසායනික පොහොර ආනයනය කරන සමාගමක් වන CIC හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අතර, ඉකුත් රජය ග්ලයිපෝසේට් ආනයනය නතර කිරීමට එරෙහිව නායකත්වය ගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවට ද චෝදනා එල්ල වී ඇති  බව එහි වැඩි දුරටත් සදහන්ය.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින් මහාචාර්ය බුද්ධි මාරඹේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වී තිබු බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩි දුරටත් නිවේදනය කර තිබේ.

රුසියානු තේ තහනම හා  ඇස්බැස්ටස් තහංචිය

යහපාලන රජය සමයේ ද අහිතකර බවට විද්‍යාඥයන් විසින් තහංචි පනවන ලද ආනයන විදේශීය බලවතුන්ගේ බලපෑම නිසා ආපසු හැරවීමට ආණ්ඩුව විසින් තීරණය කළ අවස්ථා තිබේ.

මෙයින් තුන් අවුරුද්දකට පෙර මොස්කව් පාලනය විසින් මෙරට තේ ආනයනය අත්හිටුවීමත් සමග රුසියාවෙන් ගෙන්වූ මිනිස් සිරුරට හානිකර අමුද්‍රව්‍යයකට පැනවූ තහනම මෛත්‍රී-රනිල් පාලනය විසින් අකුලා ගන්නා ලදී.

රුසියාව විසින් ශ්‍රී ලංකා තේ වලට තහනමක් පනවන ලද්දේ තේ ඇසුරුමක කෘෂිකර්මාන්තයට හානිදායක කුරුමිණියකු සිටි බව දන්වමිනි.

සොයාගන්නා ලද කෘමියා නිසා රුසියාවේ සමස්ත ධාන්‍ය අස්වැන්නටම හානි පැමිණීමේ අවදානමක් තිබෙන බවට රුසියානු බලධාරිනිය එවකට  අනතුරු අඟවා තිබුනි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම් කරුවා රුසියාවයි.

රුසියාව ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම අත්හිටුවා සතියක් ගතවීමටත් මත්තෙන් ඇස්බැස්ටස් නිපදවීමට අවශ්‍ය රුසියානු අමුද්‍රව්‍ය ආනයනය ට තහංචි පැනවීමේ ප්‍රතිපත්තිමය තීරණය අහෝසි කිරීමට යහපාලන රජය 2018 වසරේදී තිරණය කළේය.

ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ක්‍රිසොලයිට් තන්තු ශ්‍රී ලංකාව ලබාගන්නේ රුසියාවෙනි.

Social Sharing
නවතම