වී මිලට පඹයෝ විරෝධතා දක්වයි!

ගොවියාගේ වී අස්වැන්න ට  රුපියල් 60කට වඩා සාධාරණ මිලක් ලබා දෙන්නැයි බලකරමින්   අද (08) කවුඩුල්ල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පඹයින් යොදා ගනිමින් උද්ඝෝෂණයක නිරත වූ හ.

වී මෝල් හිමියන් වී තොග මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ගොවීන් ගේ මෙවර යල කන්නයේ වී අස්වනු අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් රුපියල් 50 ක ආණ්ඩුවේ සහතික මිල ට වී අලෙවි කිරීමෙන් ගොවියාට කිසිම ප්‍රතිලාභයක් නොලැබෙන බවත් ඔවුහු කියති.

කවුඩුල්ල,සංසුන්ගම යන ගම්මානවල ගොවීන් පිරිසක් අද  (08) පෙරවරුවේ කවුඩුල්ල පාසල හන්දියේ සිට කෙත් ඇල  දිගට පඹයන් සි‍ටුවා විවිධ සටන් පාඨ ප්‍රදර්ශනය කර මෙම විරෝධතාව දියත් කළ හ.

“ලංකාවට බත් එපා ද පිටි කෑවට බඩ පිරෙයි ද රට හැදෙයි ද”,”අත්‍යවශ්‍ය සේවා නිලධාරි තුමනි ගොවි ගෙදර වී ටිකට අත නොදබනු”,”ජනපතිදුනි මේ අහන්න ගොවිජනයට සවන් දෙන්න වැව්වල මං තීරු එපා එපා වැවට වින කරන්න”.

ගොවීන් පවසන්නේ යලි 2000 වසරේ දී මෙන් ගොවියාගේ වී මිල ඉතාම අඩු මිලකට පහල දැමුව හොත් යලිත් පොලොන්නරුවේ ගොවියාට වස බීමට සිදුවනු ඇති බවයි.

“අපි අද මේ පඹයින් ගෙනත් විරෝධය පළ කරන්නේ අපේ වී ගන්නේ නෑ. මෝල් හිමියෝ වී මිල දී ගැනීම නවත්වලා. අපි ණය වෙලා කුඹුරු  වැඩ කරලා සාධාරණ මිලක් ගන්න ගියාම ඒක වැලැක්කුවා. අපි කියන්නේ වී කිලෝ එක රුපියල් 60 වත් කරන්න කියලා. අපේ නිෂ්පාදන වියදම දැන් ගොඩක් වැඩියි. රුපියල් 48ක් විතර වෙනවා නිෂ්පාදන වියදම. එහෙම වුණාම අපි රජයේ සහතික මිල වන රුපියල් 50 ට වී දීලා කොහොමද ණය බේරන්නෙ. උකස්කරලා තියෙන කණකර බේරා ගන්නේ.

මීට අවුරුදු 10කට විතර ඉහත දී තමයි අපි රුපියල් 50 ඉල්ලුවේ. දැන් ඊට  සාපේක්ෂව වෙළද පොළේ සියලු බඩු භාණ්ඩවල මිල ඉහළ ගිහින් 100 ට 200කටත් වැඩියෙන්. වී වලටත් එහෙම මිලක් ඔන නැද්ද. ගිය කන්නයේ තෙල් මිල විතරක් සියයට 200කින් වැඩි වුණා. රුපියල් 65000ක් විතර යනවා අක්කරයක් කපා  පාගා අස්වනු ගෙට ගන්න. ඒක කුණු කොල්ලයට දීලා ගොවියාට නැවත වතාවක් සිද්ධ වෙන්නේ වහ බොන්න. මේ විදිහට ගියොත්. සහල් නිෂ්පාදනයට යන්නේ වී කිලෝ එකහමාරක්. ඒ කියන්නේ රුපියල් 60 ගත්තත් රුපියල් 98 ට සහල් දෙන්න පුලුවන්. රුපියල් 100 ට මිල තියාගන්න පුලුවන්. ඒ අයට සුණු සහල්වලින්,කැඩුනු සහල්වලින් දහයියාවලින්,කුඩුවලින් අමතරව ආදායම් ලැබෙනවා. ඒ නිසා අපට රුපියල් 60ක් වත් වී වලට ඕන.

ඒ මිලට  පෞද්ගලික වෙලෙන්දෝ ගත්තා. නමුත් ආණ්ඩුවේ ඔලමොට්ටල වැඩ හින්දා දැන් වී කීයටවත් ඒ අය ගන්නේ නැ. ආණ්ඩුවෙන් ගන්නෙත් නෑ.ලක්ෂ 70ක් විතර ඉන්න ගොවි ජනතාවගේ  ඡන්දවලින් බලයට ආව ආණ්ඩුව අද ගොවිජනතාවගේ බෙල්ල මිරිකමින් ඉන්නේ. අපි කියන්නේ වහාම වී මිල රුපියල් 60 ක් කරලා ආණ්ඩුවෙන් හරි අපේ වී ටික මිලට ගන්න කියලා.” යැයි ගොවි නායක කවුඩුල්ලේ ආර්.පී.ධර්මතිලක මහතා කීය.

ඊෂා  මුදියන්සේ- පොලොන්නරුව

Social Sharing
නවතම