හොඳම දේ හම්බන්තොටටද?

ලංකාවේ මේ වන විට වයස අවුරුදු 30 ට අඩු අය සඳහාද කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කර ඇත. නමුත් මේ සඳහා විධිමත් සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැත.

මේ වන විට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු තිහට අඩු පිරිස් සදහා එන්නත් කරණය වෙනුවෙන් ෆයිසර් එන්නත් තොගයක් ලබා දී ඇත. ෆයිසර් එන්නත් භාරව ඇත්තේ මේ වන විට ශ්‍රි ලංකා යුද්ධ හමුදාවය.

අවදානම් අයට දෙන්න ෆයිසර් නැහැ .

මෙම එන්නත් තොගය  ලබාදීම ඉතා අවිධිමත් සහ විද්‍යානුකූලභාවයකින් තොර බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

ලංකාවට ලැබී ඇති ඇස්ට‍්‍රසෙනිකා සහ ෆයිසර් එන්නත් ප‍්‍රමාණය ඉතාමත් සීමිත බැවින් සාමාන්‍ය සෞඛ්‍ය තත්වයේ පසුවන සයිනොෆාම් එන්නත මගින් හොද ප‍්‍රතිශක්තියක් ඇති කළ හැකි වයස අවුරුදු විස්සත් තිහත් අතර කණ්ඩායමට ෆයිසර් එන්නත් ලබාදීම අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවායාමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප‍්‍රනාන්දු සහ ලේකම් ආර්. ඥාණසේකරම්ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පිළිකා රෝග, වකුගඩු රෝග වැනි ශරීරයේ ප‍්‍රතිශක්තිය අඩු අයට සයිනොෆාම් එන්නත් මාත‍්‍රා දෙකම ලබාදුන්නද, ඔවුන්ගේ ශරීරයේ ප‍්‍රතිශක්තිය සම්පූර්ණයෙන්ම නොලැබෙන බවද, මේ නිසා මෙම කාණ්ඩයට ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට‍්‍රසෙනිකා එන්නත් ලබාදිය යුතු බවද විශේෂඥ වෛද්‍යවරු පෙන්වාදෙති.

එන්නත්කරණය පිළිබද ක‍්‍රියාවලිය සදහා අව්‍යශ්‍ය උපදෙස්, ඒ සදහා දැනුම් සම්භාරයක් ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබද විශේෂඥ කමිටුව මගින් ලබාදිය යුතු බවද, එම උපදෙස් ක‍්‍රියාත්මක නොකිරීම නිසා වයස අවුරුදු හැටට වඩා වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරු පෙන්වාදෙති.

ඉදිරියේදී හෝ විද්‍යාත්මක ක‍්‍රමයට එන්නත්කරණය කරනු ඇතැයි අපේක්ෂා කරන බව බවසන විශේෂඥ වෛද්‍යවරු, ඒ ගැන තීරණ ගන්නා පිරිස් වසංගත රෝග පිළිබද විශේෂඥ උපදේශක කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ඇතිව ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාව පිළිපැදිය යුතු බවද වැඩිදුරටත් අවධාරණය කර සිටී.

හම්බන්තොටට ෆයිසර් දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්.

මේ සම්බන්ධව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ හම්බන්තොටට  එන්නත් ලබාදීම පිළිබද තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බවය.

මේ වනවිටත් කටුවන ප්‍රදේශයේ එන්නත්කරණ දැනුම් දීමේ පොස්ටර් අලවා ඇත. එහි සඳහන් කර ඇත්තේ නම් නාමල් රාජපක්ෂ මහතා විසින් ලබා දෙන එන්නත් ලෙසය.

සිද්ධ වෙන්නේ එකඟ විය නොහැකි දේවල්.

නමුත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන්නේ කොවිඩ් පාලනය සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලදී ඇතැම් සිදුවීම් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව තමාටද ගැටලු සහගත බවය.

එකඟ විය නොහැකි දේවල්ද සිදුවන බවත්, ඇතැම් දේ පාලනය කිරීමට ඇමතිවරුන්ටද නොහැකි වී ඇති බවත් ඔහු මිහින්තලයේදී පවසා තිබුණි.

ඇතැම් ප්‍රදේශවලට එන්නත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලබාදෙන බවත් එසේ ලබා දෙන්නේ කුමන හේතුවක් මතද, එම එන්නත්වලට සිදු වන්නේ කුමක්ද යන කරුණු පිළිබඳ තමාද දැනුවත්ව නොමැති බව චන්න ජයසුමන මහතා එහිදි වැඩිදුරටත් පවසා තිබුණි.

ශානි

Social Sharing
නවතම