කොවිඩ් කමිටුවේ වැරදි තීරණ නිසා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කමිටුවෙන් ඉවතට!

කොවිඩ් මර්දන ජනාධිපති කාර්යසාධක බලකාය විසින් ගනු ලබන තීරණ වැරදි තීරණ බවත්, එම තීරණවලට තමන්ට වග කිව නොහැකි බවත් පවසමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා  කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීම සදහා වන ලිපිය වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඊ මේල් මාර්ගයෙන් යොමු කර ඇත..

රට වසා දැමීමේ  තීරණය හෝ එන්නත්කරණය කළ යුතු ආකාරය ගැන තාක්ෂණික කමිටුව ලබාදුන් උපදෙස් අනුගමනය කර නොමැති බවත්, දේශපාලන අවශ්‍යතා මත එම තීරණ වෙනස්වී ඇති බවත්, වෛද්‍යවරයා පවසයි.

මෙම වැරදි තීරණ නිසා ඉදිරියේදි ඇතිවිය හැකි ව්‍යවසනයන්ට වගකීමට නොහැකි බවද වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා පෙන්වා දෙයි.

කොවිඩ් තාක්ෂණික කමිටුව විසින් ලබාදුන් නිර්දේශ අනුව රජය කටයුතු කළේ නම් කොවිඩ් මරණ සංඛ්‍යාව අඩු කරගැනීමට හැකියාව තිබුණ බවද වෛද්‍යවරයා සිය ලිපියේ සදහන් කර ඇත.

විශේෂඥයින්ගේ උපදෙස් නොතකමින් මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉකුත් කාල සීමාවේදී ක්‍රියාත්මක වූ බවට පාර්ශව රැසකින් චෝදනා එල්ල විය.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට පළමුව කොවිඩ් එන්නත් ලබා දිය යුතු බවට තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබුණද වයස අවුරුදු   30 ට වැඩි සියලු පුද්ගලයින්ට පළමුව එන්නත් ලබාදීමටයි පියවර ගෙන තිබුණි.

ඒ හේතුවෙන් වයස අවුරුදු 60 ට වැඩි අවදානම් කාණ්ඩයේ පුද්ගලයින් විශාල පිරිසකට එන්නත් ලබාදීම ප්‍රමාද වූ බවත්, එය මෙරට කොවිඩ් මරණ වැඩිවීමට හේතුවක් වූ බවත් විශේෂඥයින්ගේ අදහස විය.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් ත් අතර තරුණයින් සඳහා ෆයසිර් එන්නත් ලබාදීමද විශේෂඥ මතයට බැහැරව සිදුවී ඇති බව අප ඊයේ හෙළිදරව් කළෙමු. . විශේෂඥ වෛද්‍යවරුන් යෝජනා කර ඇත්තේ විවිධ රෝගාබාධවලින් පෙළෙන අවධානම් කාණ්ඩයේ පසුවන දරුවන් සඳහා එම ෆයිසර් එන්නත මාත්‍රා 50,000 වෙන් කරන ලෙසටය. නමුත්  එම උපදෙස් නොතකමින් ෆයිසර්  එන්නත් 50,000 ක් පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එන්නත්කරණ කටයුතු සඳහා ලබා දී තිබුණි.

ශානි

Social Sharing
නවතම