ඇමති බන්දුලගෙන් සලාක ක්‍රමය යළිත්!

දිනෙන් දිනම ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සලාක ක්‍රමයක් ආරම්භ කළ යුතු බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පවසා ඇත.

මේ වන විට කහ, කිරිපිටි, සීනි, පරිප්පු,  සහල්, පොල්තෙල්, අර්තාපල් ආදී ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ ගොස් ඇත. එසේම මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් හොර රහසේ ගබඩා කර ඇතැයි පැවසෙන සීනී ගබඩා වැටලීම්ද සිදු කෙරෙන අයුරු මාධ්‍ය මඟින් වාර්තා කර සිටියි.

ඉන්දියාවේ සිට  ආනයනය කරන ලද සීනි කන්ටේනර් 600 කට ආසන්න සංඛ්‍යාවක් මාස දෙකක පමණ කාලයක් තිස්සේ කොළඹ වරායේ මේ වන විට සිරවී ඇත.  ඉන් කන්ටේනර් 433 ක් ආනයනකරුවන් නවදෙනකු විසින් ආනයනය කරන ලද ඒවා වන අතර සීනි මෙට්‍රික් ටොන් 12000 ක් පමණ එහි අඩංගුව ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත. මේ අතර තවත් සීනි ආනයනකරුවකු විසින් බලපත්‍ර නොමැතිව ගෙන්වනලද සීනි කන්ටේනර් 130 ක් ද, මාස දෙකක් තිස්සේ කොළඹ වරායේ රඳවාගෙන ඇති බව ද එම පුවතේ වැඩිදුරටත් සඳහන් වී තිබුණි. මේ නිසා ඉදිරියේදී සීනි හිඟයක් ඇති වීමේ අවදානමක්ද මතුව ඇත.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ සම්බන්ධව ප්‍රකාශ කර ඇත්තේ රඳවාගෙන තිබෙන සීනි තොගය ලංකා සතොසට ලබාගැනීමට තීරණය කර ඇති බවය. ඒ් අනුව ඉදිරියේදී මෙම සීනි ලංකා සතොස හරහා අලෙවි කිරිමට නියමිතව ඇත.

එහිදී ලංකා සතොස අලෙවිසැල් හරහා අලෙවි කෙරෙන සීනි සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පසුගිය මාස කිහිපය තුළ වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලකට භාණ්ඩ ලබා දීම කෙරෙහි අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අවධානය යොමු කර ඇති අතර ඊට  සලාක කිරීමේ ක්‍රමයක් කැබිනට් මණ්ඩලයට යෝජනා කිරීමට නියමිතව ඇත්තේය.

කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු එම යෝජනාව ක්‍රියාත්මක කෙරෙන අතර, සලාකනය කළ යුතු ප්‍රමාණය සහ වර්තමාන වෙළෙඳපොළ මිලට වඩා අඩු මිල ගණන් පිළිබඳව තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

සීනි සහ පරිප්පු වැනි භාණ්ඩ සඳහා මිල පාලනයක් නොමැති විට පසුගිය සති දෙක තුළ මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි.  සීනි, පරිප්පු සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේ අඩු ආදායම්ලාභී කණ්ඩායම් සඳහා පමණක් පාලන මිලකට ලබා දීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු තවත් යෝජනාවක් බව අමාත්‍යවරයා කියා සිටියි.

උච්චාවචනය වන විදේශ විනිමය අනුපාත, බහාලුම් හැසිරවීමේ හා නැව් ගාස්තු ඉහළ යාම සහ ඉල්ලුමට සාපේක්ෂව සැපයුමේ හිඟය මිල ඉහළ යාමට දායක වන බව ඔහු පවසා සිටියි. වෙළෙඳුන් මිල වැඩි කිරීමට උත්සාහ කළහොත් නාඩු, කැකුළු සහ පොන්නි සම්බා වැනි සහල් මෙට්‍රික් 100,000 ක් ආනයනය කිරීමට ඉන්දියාව සමඟ සූදානම් වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ සමාජ මාධ්‍ය වල සටහන් වුයේ යළි රට 77-78 යුගයට යන බවය. එකල ක්‍රියාත්මක වු හාල් පොල්ල, මිරිස් බද්ද ආදී සිරිමාවෝ මැතිණියගේ කාලේ ආහාර සම්බන්ධව පැන වු නීති යළි සිහිපත් කරමින් 77 ආර්ථික යුගය ගැන කථිකාවතක් ගොඩ නැගෙමින් ඇත.

ශානි

 

Social Sharing
නවතම