මාධ්‍යවේදීන් දඩයම් කරන CID යට වැරදි කොරෝනා දත්ත නිකුත් කරන රාජ්‍ය නිලධාරීන් පෙනෙන්නේ නැද්ද ? පා.ම. මනුෂ නානායක්කාර

කොරෝනා රෝගීන් වාර්තාවීම සම්බන්ධයෙන් වැරදි දත්ත ඉදිරිපත් කළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා ආකාරයට වැරදි දත්ත ඉදිරිපත් කරන රජයේ නිලධාරීන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි  සමගි ජන බලවේගයේ  මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු  මන්ත‍්‍රි මනුෂ නානායක්කාර මහතා විමසයි.

ජනාධිපතිවරණය අවසන්වුනාට පස්සේ ජනාධිපතිවරයා දත්ත මත පදනම්ව කටයුතු කරන බව පැවසුවත්  දැන් ජනාධිපතිවරයා මොන දත්ත මත පදනම්වද කටයුතු  කරන්නේ? යැයි විමසා සිටින ඒ් මහතා පෙන්වා දෙන්නේ  ඊයේ ගාල්ලේ කොරෝනා රෝගීන් 635ක්,  මාතර 421ක්, හම්බන්තොට 389ක් වාර්තා වු බවත් එහි  එකතුව 1445 ක් වු නමුත් මුළු ලංකාවෙන්ම වාර්තා වුනේ 3500ක් කියා රජය පවසන බවය.

දකුණේ විතරක් 1500ක් වාර්තා වන විට ලංකාවේම  3500ක් වුනේ කොහොමද? යැයි විමසා සිටින ඔහු කියා සිටින්නේ  කෑගල්ලේ, ගම්පහ කොරෝනා රෝගීන් වාර්තාවීමේ  වැරදි දත්ත ගැන තියෙන වෙනස්කම් ගැන මාධ්‍යයෙන් පහුගිය දිනවලද පෙන්වා දුන් බවය. මේ  දත්ත බොරු කරලා, දවසට පන්දහසක් හයදහසක් රෝගීන්ගේ දත්ත හංගලා කාවද රවට්ටවන් හදන්නේ යැයි ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියි.

කොරෝනා ගැන බොරු දත්ත ඉදිරිපත් කළ බව පවසමින්  මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා බවත් තවත් අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන නමුත්  වැරදි දත්ත නිකුත් කරන, රජයේ නිලධාරීන්ට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ග  මොනවාද? ඒ වැරදි දත්ත  ඉදිරිපත් කරන්නේ රාජ්‍ය දැනුවත්වීම මතද? යැයි ඒ් මහතා තවදුරටත් විමසා සිටියි.

මේවා  ගැන තොරතුරු හොයලා ෆේස් බුක් එකට දාන ෆැක්ට් චෙක් ආයතන තිබෙන නමුත්  ඒ අයට මේවා නොපෙනෙන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටින ඔහු පවසන්නේ මේවා  හිතා මතා ජනතාව මුලාවේ  දැමීමට ගන්නා උත්සහයක්ද යන්න බවය.

ශානි

 

 

Social Sharing
නවතම