කොවිඩ් භයානක වෙද්දි සියලු සේවකයින් සේවයට කැඳවන්නේ ඇයි?

අගෝස්තු 02 වැනිදා සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාට දැනුම්  දුන් පුවත ඊයේ (30) මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

ඒ් අනුව 2020-03-19 සිට රාජ්‍ය සේවය සම්බන්ධව ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබු කොවිඩ් චක්‍රලේඛ 09 ම අවලංගු කර ඇත.

රාජ්‍ය සේවකයන් බහුතරයකට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදී ඇති බැවින් සහ එන්නත්කරණය වේගවත්ව සිදුවන බැවින් රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට බාධාවක් සිදු නොවනු ඇති බවට මේ වන විට  රජය තක්සේරුවට පැමිණ ඇත. ඒ් අනුව සියලුම සේවකයින් මෙලෙස කැඳවීමට තිරණය කර ඇත.

නමුත් මේ වන විට රටේ තත්ත්වය යහපත් නොවන බව රජය හැර සියලු දෙනාම පිළිගන්නා කරුණකි. විශේෂයෙන්ම බස්නාහිර පළාත අවදානම් සහිතය.  මේ බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ ආනන්ද විජේවික්‍රම මහතාද ඊයේ දින පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණි.

ඒ් ඩෙල්ටා ප්‍රභේදය හඳුනා ගැනීමෙන් පසු බස්නාහිර පළාතේ කොවිඩ් රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන රෝගීන් වැඩි වී තිබෙන බවටය.

කොවිඩ් 19 අසාදිත රෝගීන්ගේ වැඩිවීමක් මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්ද පෙන්නුම් කර තිබෙන බවත් මෙම රෝග දෙකේම රෝග ලක්ෂණ සමාන බවක් පෙන්නුම් කරන හෙයින් රෝග ලක්ෂණ පෙන්නුම් කරන මුල් අවස්ථාවේදීම රජයේ රෝහලක් වෙත පැමිණ වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබුනි.

එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසදිතව පැමිණෙන රෝගීන්ගෙන් වැඩි දෙනෙකුට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාවය මතුව තිබෙන අතර රෝගීන් වැඩි වීම අතින් නැවත මැයි මාසයේ පැවති තත්ත්වයට ගොස් තිබෙන බවද ඔහු පෙන්වා දී ඇත.

මේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඊයේ කියා තිබුණි. ඒ් යළිත් වරක් කිසියම් ආකාරයකින් කොවිඩ් 19 ව්‍යාප්තිය හිස ඔසවමින් තිබෙන අතර අවදානම් සහ තීරණාත්මක මොහොතක පසුවන බවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කර තිබුණේ වාර්තා වන රෝගීන්ගෙන් 50%කට පමණ ඔක්සිජන් අවශ්‍යතාවය පවතින බවය. මේ මොහොතේ නිවැරදි ලෙස කටයුතු නොකළහොත් රට නැවත වරක් වසා දැමීමේ අවදානමක් මතු විය හැකි බව ඔහුද අවධාරණය කර තිබුණි. .

දිනකට මරණ 50කට අසන්න වෙලා තිබෙනවා. මෙය භයානක තත්ත්වයක් බවත් මාසෙකට රෝගීන් 4000ක් 4500ක් අතර මිය යාවි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන් යැයි ඔහු කියා සිටියි.

මේ අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාද කියා තිබුණේ මේ අවස්ථාවේ සියලුම සේවකයින් සේවයට කැඳවීමට ගත් තීරණය ගැටලු සහගත බවය. මන්ද වෛරස් ව්‍යාප්තිය ඉහළ යාමක් පෙන්නුම් කර අවස්ථාවේ රජය මේ තීරණය ගැනීම ගැන ඔහු එකඟ වන්නේ නැත.

ආණ්ඩුව කියන ආකාරයට එන්නත් මාත්‍රා දෙකම බොහෝ අය ලබා ගෙන ඇති නිසා ඔවුන්ව රැකියාවට කැඳවීම ගැටලුවක් නැත. නමුත් කැපිටල් මහරාජා ආයාතනයේ හිමිකරු, මීගමුවේ හා ගාල්ලේ පුද්ගලයින් දෙදෙනෙකුද මිය ගියේ මේ එන්නත් දෙකම ලබාගෙන තිබියදී කොවිඩ් වැළඳි බව අපට අමතක නැත. එසේම මේ වන විට එන්නත් දෙකම ලබාගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාද මේ වන විට කොවිඩ් ආසාදිතයෙකු වී ඇත.

කොළඹ ජාතික රෝහලේද මේ වනවිට තත්ත්වය ඉතාම භයානක ත්ත්වයකට පත්ව ඇත. එහි කාර්ය මණ්ඩලයෙන් 250 කට වැඩි පිරිසක් මේ වනවිට කොවිඩ් ආසාදිතව ඇත. ගිලන් රථ රියදුරන්ද ඒ් අතර වේ. මේ නිසා කොළඹ ජාතික රෝහලේ ගිලන් රථ වලට මේ දිනවල හමුදා නිලධාරින් යොදවා ඇත.

එසේම දුම්රියේ, බස් රථයේ යන විට මීටර දෙකේ දුරක් තියා මීටරයේ දුරක්වත් නැත. පොකුරු පිටින් ගමන් කරනු දක්නට හැකිය.

මෙවන් අනාරක්ෂිත පසුබිමක් තුල සියලු සේවකයින්  සේවයට කැඳවීම තුල ඇත්තේ සේවකයින් වෛරසයට ගොදුරු කරවීමක් නොවන්නේද?

ශානිකා

 

Social Sharing
නවතම