රංජන් නිදහස් කරන්නැයි ඉල්ලා කලාකරුවන් පෙළ ගැසෙයි!

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණීය දඬුවම ලබා බන්ධනාගාර ගතව සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලැබී දැන් පොහොයක් පසු වී ඇත. නිදහස ලබා මාසයක් යාමට මත්තෙන් ඔහුට රජයේ අධිකාරියක සභාපතිධුරයක්ද හිමි විය.

නමුත් සත්‍ය කථා කළ රංගන ශිල්පි, හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු රංජන් රාමනායක මහතා තවමත් සපිරි ගෙයි වෙසෙන්නේය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා, ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලා සාධාරණ සාමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරු ජයසුරිය මහතා ද ජනාධිපිතවරයාට ලිපියක් යොමු කළේ දුමින්ද සිල්වාව නිදහස් කළ සමයේමය. නමුත් ඊට  යහපත් ප්‍රතිචාරයක් හිමි වුයේ නැත.

මේ අතර රංජන් සහ  අපි කලා හවුල ද ඊයේ (27) දින මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ රංජන් රාමනායක මහතාට ජනාධිපති පොදු සමාව ලබා දි නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය. එසේම මෙම ඉල්ලීම සඳහන් ලිපියක්  කලා ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ අත්සන් සහිතව ජනාධිපතිවරයාට යොමු කිරිමට මේ කලා හවුල දැන් පියවර ගෙන ඇත.

රන්ජන් සමග සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කළ උදයකාන්ත වර් ණසුරිය, දිල්හානි අශෝකමාලා, සුරංග ද අල්විස්, ජීවන් කුමාරතුංග, අනුෂා දමයන්ති ඇතුලු කලා ලෝකයේ රංගන ශිල්පීන්, සිනමා අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකයින්, වේශ නිරූපන ශිල්පීන්, කැමරාකරුවන්  ආදී බොහෝ දෙනෙක් මේ කලා හවුලට එක්ව ඇත.

ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ප්‍රවීන රංගන ශිල්පී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග මහතා සඳහන් කළේ නීතිය ඉදිරියේ රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ වැරදි වුවද, ඔහුගේ විවේචනය සාධාරණ බව මේ වනවිට හොඳින්ම තහවුරු වී ඇති බවය. රන්ජන් රාමනායක මහතා සිදුකළේ වංචා-දූෂණ, වැරදි විවේචනය කිරීම බව පෙන්වා දෙන ජීවන් කුමාරතුංග මහතා සඳහන් කරන්නේ ඔහු සිදුකළ වරද සම්බන්ධයෙන් මේ දක්වා ඔහු විඳි දඬුවම ප්‍රමාණවත් බවයි. ඒ නිසා කලාකරුවෙකු ලෙස සලකා, කලාකරුවන් විසින් සිදු කරන ඉල්ලීම සලකා බලා රන්ජන් රාමනායක මහතාට සහනයක් ලබා දෙන්නැයි  ජීවන් කුමාරතුංග මහතා ඉල්ලා සිටියේය.

-ශානි-

Social Sharing
නවතම