පුවත්පත් මණ්ඩල පනතට මොකද වෙන්නේ?

මුද්‍රිත මාධ්‍ය නියාමනයට පමණක් වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ එම නීතිය විද්‍යුත් සහ සමාජ මාධ්‍යවලටද අදාළ වන පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. මේ පිළිබද විවිධ ප්‍රවේශයන් ඔස්සේ කතිකාවන් ගොඩනැගී ඇත. එහි එක් ප්‍රවේශයක් වන්නේ මෙය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමේ ක්‍රියාවලියක් බවයි. සියලු මාධ්‍ය සදහා යම් නියාමනයක් අත්‍යවශ්‍ය බවටත් මෙය එහි වැදගත් පියවරක් බවටත් වන අදහස් ද ප්‍රකාශ වී තිබේ.

මෙම ප්‍රවේශයන් පිළිබද තුලනාත්මක විශ්ලේෂණයකදී පුවත්පත් මණ්ඩල පනත පිළිබද යම් අවබෝධයක් ලබා ගැනීම පළමුව අත්‍යාවශ්‍ය වේ.

පුවත්පත් මණ්ඩල පනත යනු කුමක්ද?

ජාතික රාජ්‍ය සහාවේ 1973 අංක 05 දරණ පුවත්පත් මණ්ඩල පනතේ දැක්වෙන්නේ එය පුවත්පත්වලට අදාළ කරැණු විධිමත් කිරීමට, ඒ සදහා උපදෙස් ලබාදීමට පුවත්පත් මණ්ඩලයක් පත්කිරීමට, ඇතැම් කරැණු පුවත්පත්වල පළ කිරීමට අදාළ වැරදි විමර්ශනය කිරීමේ අරමුණ සහිතව ගෙන එන ලද්දක් බවයි.

පනතේ 03 වන වගන්තියට අනුව පුවත්පත් මණ්ඩලයේ සමාජිකයන් හත්දෙනෙකි. එක් අයෙකු නිල බලයෙන් ඊට පත්වන ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයායි. සෙසු හය දෙනා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබේ. ඉන් එක් අයෙකු මාධ්‍ය සංවිධාන නියෝජනය කරන අයෙකු වන අතර ඔහු හත්දෙනකුට නොවැඩි මූල මණ්ඩලයකින් තෝරා ගත යුතුවේ. තවත් අයෙකු පුවත්පත් සේවකයන්ගේ ලියාපදිංචි වෘත්තීය සමිති නියෝජිතයෙකු විය යුතු අතර ඔහු තෝරාගත යුත්තේ තිදෙනෙකුට නොවැඩි මූල මණ්ඩලයකිනි. මණ්ඩලයේ සභාපතිවරයා විය යුත්තේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයන් අතරින් අයෙකි.

මණ්ඩලයේ පරමාර්ථ 08 වගන්තියේ විස්තර කරන අතර එහි ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස සුරක්ෂිත කිරීම, එම නිදහසින් අයුතු ප්‍රයෝජන ගැනීම වැළැක්වීම, සම්මත උසස් තත්වයකට අනුව පුවත්පත්වල ස්වරෑපය ආරක්ෂා කිරීම ඇතුළත් වේ. ඊට මාධ්‍ය ආචාර ධර්ම පවත්වාගෙන යාම, පුරවැසි අයිතිවාසිකම් පිළිබද වන වගකීම, පුවත්පත් කලාවේදී වෘත්තීය සදහා වන බදවා ගැනීමේ ක්‍රම, සුබසාධනය, අධ්‍යාපනය, පුහුණු කිරීම ආදිය දියුණු කිරීම, පුවත්පත් භාවිතය සහ සහ පුවත්පත්වල අවශ්‍යතා පිළිබද පර්යේෂණ පැවැත්වීම ආදියද අයත් වේ.

පුවත්පත්වලට සහ කර්තෘවරැන්ට විරැද්ධව මණ්ඩලයට ක්‍රියා කළ හැකි ආකාරය දක්වා ඇත්තේ 09 වගන්තියේයි. 09 (01) අනුව අසත්‍ය ප්‍රකාශයක්, විකෘති කළ පිංතූරයක්, හෝ වෙනත් අනිසි පළ කිරීමක් සම්බන්ධයෙන් මෙන්ම කර්තෘවරයෙකු හෝ ක්‍රියාකාරී පත්‍රකලාවේදියෙකු කරන වෘත්තීය විෂමාචාරයක් හෝ ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිල්ලක් මත හෝ එවන් කඩවීමක් සිදුව ඇතැයි විශ්වාස කළ හැකි අවස්ථාවක තමන් විසින්ම හෝ විභාගයක් පැවැත්වීමට මණ්ඩලයට බලය ඇත. එහිදී තමන් සෑහීමකට පත්වන්නේ නම් නිවැරදි කිරීමක් පළ කිරීමට අණ කිරීමට, වගකිවයුතු පාර්ශවයන් වෙත දෝෂාරෝපණය කිරීමට, සමාව අයදීමක් පළ කරන ලෙස බල කිරීමට අදාළ බලය මණ්ඩලය සතුවේ. පනතේ 09 (05) වගන්තිය දක්වන්නේ මණ්ඩලය සතු මෙම අණදීමේ සහ දෝෂාරෝපණය කිරීමේ බලය කිසිදු අධිකරණයකදී ප්‍රශ්න නොකළ යුතු තීරණාත්මක සහ අවසානාත්මක එකක් බවයි.

පනතේ 11 වන වගන්තියෙන් මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන යාම සදහා දිසා අධිකරණයක බලතල එය සතුවන බව දක්වන අතර පනතේ 12 (5) දක්වන්නේ මණ්ඩලයේ බලයට විරැද්ධවීමෙන්, අගෞරව කිරීමෙන් සිදුකරන වරද ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් ලෙස සැළකිය යුතු බවයි.

පුවත්පත් මණ්ඩල පනතේ 15 වන වගන්තියෙන්, අසභ්‍ය, අශෝභන , අශ්ලීල ආදි වශයෙන් වැරදි සහගත පළකිරීම් හදුන්වා දී ඇති අතර එම පළකිරීම් සම්බන්ධයෙන් වැරදිකරැවන් වන අයට රැපියල් පන්දහසකට නොවැඩි දඩයකින් සහ වසර දෙකකට නොවැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමකින් , මේ දෙයකාරයම හෝ දෙයාකාරයකින් එක් ආකාරයක හෝ දඩුවමක් නියම කිරීමේ බලය මණ්ඩලය සතුවන බව දක්වයි. මේ අතර පනතේ 16 වන වගන්තියට අනුව අමාත්‍ය මණ්ඩල සාකච්ඡා සහ ඉන් කොටසක් හෝ පුවත්පත්වල පළකිරීම නොකළ යුතුවේ.

මේ අනුව පැහැදිළි වන්නේ මෙම පනත මගින් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පුවත්පත් මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ඉතා පුලුල් බලතල සහිත ආයතනයක් බවයි.

පනතේ පසුබිම

1973 වැනි කාලයකදී මෙවන් පනතක් සම්මත කර පුවත්පත් මණ්ඩලය බිහිකිරීමට පසුබිම්වූ කරැණු මොනවාද? මේ පිළිබද සැළකිලිමත්වීමේදී අදාළ පසුබිම අන්තර්ජාතික මෙන්ම දේශීය දාශ්ටි කෝණයකින්ද විමසා බැලිය යුතුවේ.

පුවත්පත් මණ්ඩල ඇති කිරීම විසිවන සියවසේ මුල්භාගයේදී ඇරඹී එහි දෙවන භාගය ආරම්භයේදී ලෝකය පුරාම රැල්ලක් ලෙස පැතිර ගිය ප්‍රවණතාවයකි. ක්ෂේත්‍රයේ තරගකාරීත්වය ඉහළ යාම, මාධ්‍ය සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි ඉහළ යාම ආදි හේතු මෙම රැල්ලට බලපෑ මූලික හේතු වුවත් ඇතැම් රටවලදී එය ස්ථාපිත වූයේ පවතින ආණ්ඩුවලට මාධ්‍ය මර්දනය කළ හැකි යාන්ත්‍රණයක් ලෙසය.

නියාමණ යාන්ත්‍රණයක් ලෙස පලමු පුවත්පත් මණ්ඩලය බිහිවූයේ 1916 දී ස්වීඩනයේදී වන අතර එය පුවත්පත් නියෝජතියන්ගෙන් සමන්විත පූර්ණ ස්වාධීන ආයතනයක් විය. මීට සමගාමීව වෘත්තීය විනිසුරැවරයෙකුගෙන් සමන්විත ඔම්බුඩ්ස්මන් තනතුරක්ද ස්ථාපිත කරනු ලැබූ අතර ලැබෙන පැමිණිලි විනිසුරැවරයා විසින් විමර්ශනය කර බලා සුදුසු නම් පමණක් කොමිසම වෙත යොමු කිරීම සිදුවිය.

බ්‍රිතාන්‍ය පුවත්පත් කොමිසම 1953 දී ස්ථාපිත කරැණු ලැබූ අතර එහි අරමුණු අතර එරට තුළ මාධ්‍ය නිදහස ඇති කිරීම, ඉහළ වෘත්තීයමයභාවයක් සහ ඉහළ වාණිජ භාවිතාවන් පවත්වාගෙන යාම මෙන්ම පුවත්පත්වලට එරෙහි පැමිණිලි භාර ගැනීමද විය. සාමාජිකයන් විස්සකගෙන් සමන්විත වූ කොමිසමේ 15 දෙනෙකු වෘත්තීය මාධ්‍ය නියෝජිතයන් වූ අතර සෙසු 5 දෙනා සාමාන්‍ය නියෝජිතයෝ වූහ.

ඉන්දියානු පාර්ලිමේන්තුව තුළ 1965 දී සම්මත කරනු ලැබූ පනතකට අනුව 1966 දී එරට පුවත්පත් කොමිසම ස්ථාපිත කරනු ලැබිණ. 1978 සංශෝධනයට අනුව කොමිසමේ සාමාජික සංඛ්‍යාව 28 කි. සභාපතිවරයාගේ පත් කිරීම එරට රාජ්‍ය සභාවේ සභාපතිවරයාගෙන් , ලෝක් සභාවේ කතානායකවරායගෙන් සහ කොමිසමේ සාමාජිකයන්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් සිදුකරනු ලැබිය යුතුය. සාමාජිකයන් 28 දෙනා අතරින් 13 දෙනෙකු වෘත්තීමය මාධ්‍යවේදීන් විය යුතු අතර 06 දෙනෙකු මාධ්‍ය ව්‍යාපාර නියෝජනය කරන්නන් විය යුතුය. විද්‍යාව, නීතිය සහ සාහිත්‍ය කලා ක්ෂේත්‍ර නියෝජනය කරමින් තවත් විශේෂඥයන් 03 ක් පත් කළ යුතු අතර එය පිළිවෙලින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, නීතිඥ සංගමය සහ සාහිත්‍ය ඇකඩමිය මගින් සිදුකෙරේ. සෙසු සාමාජිකයන් පස්දෙනා පාර්ලිමේන්තු නියෝජිතයන් අතරින් තෝරා පත් කර ගැනේ.

මෙවන් අන්තර්ජාතික පසුබිමක් තුළ ශ්‍රී ලංකාව 1973 දී පුවත්පත් මණ්ඩල පනත සම්මත කළ අතර එය එක්තරා ආකාරයකට අන්තර්ජාතික ප්‍රවණතාවයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස හදුන්වාදීමෙහි වරදක් නැත.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය බිහිවීම පසුපස යම් දේශපාලන අරමුණක්ද තිබූ බව සමකාලීන වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වමේ පක්ෂවල චෝදනාවක් වූයේ ලංකාවේ පුවත්පත් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මෙහෙයවන බවයි. 1960-65 ශ්‍රීලනිප පාලන සමයේදී පුවත්පත් පරීක්ෂණ කොමිසමක් ස්ථාපිත කරනු ලැබ එමගින් පුවත්පත්වල යම් යම් අක්‍රමිකතාද හෙළිකරගන තිබූ බැවින් මෙම චෝදනාවන්ට එමගින් යම්  පිටිවහලක් ද ලැබිණ. විශ්‍රාමලත් විනිසුරැ කේ ඩී ද සිල්වා ගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ නිර්දේශ අතර පුවත්පත් මණ්ඩලයක් ස්ථාපිත කිරීමද විය. එම පාලන කාලයේදී පුවත්පත් මණ්ඩලය පිහිටුවීමට අවස්ථාව නොලැබුණද 1970 දී තුනෙන් දෙකක බලයක් සහිත සමගි පෙරමුණු රජය බිහිවීමෙන් අනතුරැව පුවත්පත් මණ්ඩල පනත සම්මත කර ගැනීම සිදුවිය.

පුවත්පත් මණ්ඩල පනතේ හොඳ සහ නරක

වෙනත් ඕනෑම නිතීයක මෙන්ම මෙම පුවත්පත් මණ්ඩල පනතද යහපත් මෙන්ම අයහපත් ලක්ෂණවලින් යුතු නීතියක් බව එය විශ්ලේෂණයේදී පෙනී යයි.

පනත මගින් , පුවත්පතක් මහජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන විට ඊට සහනයක් ලබා ගැනීමට සාම්ප්‍රදායික අධිකරණයෙන් බැහැර මණ්ඩලයක් ස්ථාපිත කර තිබේ. එය අඩු වියදමකින් යුත්, නීතී සහ රීති මගින් දැඩි ලෙස සංකීර්ණ නොකරන ලද එකක් වන හෙයින් යුක්තිය සදහා වන ප්‍රවේශය පුලුල් කරන්නක් ලෙස හදුන්වාදිය හැකිය.

පුවත්පත් මණ්ඩලයට පුවත්පත්වල මෙන්ම මාධ්‍යවේදියාගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කළ හැකි දෑ රැසක් පිළිබදවද පනතේ සදහන් වේ. ඒ අනුව මාධ්‍ය ආචාර ධර්ම පවත්වාගෙන යාම මෙන්ම පුවත්පත්වල සහ මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට අදාළ  අධ්‍යාපනය, පුහුණු කිරීම, පර්යේෂණ පැවැත්වීම මෙන්ම සුබසාධනයට අදාළව කටයුතු කිරීමටද කටයුතු සළසා තිබේ.

මෙවන් යහපත් ලක්ෂණ කිහිපයක් පැවතියද පනතේ ඇති අයහපත් ලක්ෂණ රැසකි. පුවත්පත් මණ්ඩලයේ සංයුතිය සහ පත් කිරීමේ ක්‍රමවේදය ඒ අතරින් ප්‍රධාන වේ. නිල බලයෙන් පත්වන ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා රජයේ නියෝජිතයෙකි. සෙසු හය දෙනාගෙන් සිව් දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කෙරෙන අතර තවත් දෙදෙනෙකු පුවත්පත් මාධ්‍යවේදීන් අතරින් සහ මාධ්‍ය සේවකයන් අතරින් පත් කළ යුතුවේ. ඔවුන් දෙදෙනාගේද අවසන් තීරකයා සහ පත්කිරීමේ බලධාරියා වන්නේ ජනාධිපතිවරයාය. ඒ අනුව පෙනී යන්නේ මෙම මණ්ඩලය ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ කැමැත්ත මත පත්වන මණ්ඩලයක් බවයි. පෙර සදහන් කර ඇති බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු පුවත්පත් මණ්ඩල සමග සංසංදනය කරද්දී මෙම වෙනස පැහැදිළිව දැකගත හැකි අතර එම මණ්ඩලවල සාමාජිකත්වය පත්කිරීමේදී මාධ්‍ය වෘත්තිකයන්ට වැඩි ඉඩක් ලැබෙන අතර පත් කිරීමේ ක්‍රමවේදයන්ද වඩාත් විනිවිදභාවයෙන් යුක්තය.

මෙහි අයහපත් ලක්ෂණ අතර මණ්ඩලයේ නියෝග අවසානාත්මක සහ වෙනත් අධිකරණයකදී ප්‍රශ්න නොකළ යුතු බවට වන ප්‍රතිපාදනය කැපී පෙනේ. මෙය වඩාත් බරපතල මෙන්ම අපහැදිළි තත්වයක් වන අතර ලෝකයේ සෙසු සෑම පුවත්පත් මණ්ඩලයකම නියෝග පිළිගත් අධිකරණයකදී අභියාචනයට ලක් කළ හැකි බව අදාළ නීති සහ රීතීන්හි පැහැදිළිව දක්වා තිබේ.

පනතේ තවත් අයහපත් ලක්ෂණයක් වන්නේ වැරදිකරැවන්ට දඩ සහ සිරදඩුවම් පැමිණවීමට එය සතු බලයයි. පෙර සදහන් කළ වෙනත් රටවල පුවත්පත් මණ්ඩල සතුව එවන් අසීමාන්තික බලයක් නොමැත. අනෙක් අතට නෛතික ප්‍රතිපාදන මගින් හෝ ප්‍රායෝගික භාවිතය තුළින් ශ්‍රී ලංකාවේ පුවත්පත් මණ්ඩලයේ පැමිණිලි විභාගයට වෘත්තීමය ස්වරැපයක් ලබාදී නැත. වඩාත් පැහැදිළිව දක්වතොත් නීතිය මගින් නියමකොට නැතත් ඉන්දීය පුවත්පත් කොමිසමේ සභාපතිධුරයට සෑම අවස්ථාවකදීම පත් කර ඇත්තේ ඉහළ අධිකරණයක විශ්‍රාමලත් විනිසුරැවරයෙකි. එහෙත් ලංකාව තුළ එවන් සදහනක් හෝ භාවිතාවක් නැති අතර මාධ්‍ය නියෝජිතයන්ට දඩුවම් නියම කිරීමේ මණ්ඩලයක ප්‍රධානියා සහ සාමාජිකයන් බවට පත්වීමට ජනාධිපතිවරයාගේ කැමැත්ත හිමිවන ඕනෑම අයෙකුට හැකියාව ඇත.

මණ්ඩලයේ නියෝගවලට අවනත නොවීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් බවට ඇතුළත් ප්‍රතිපාදන වඩාත් භයානක වන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමට අදාළ දඩුවම් නිශ්චිතව නීති මගින් නියම කොට නැති පසුබිමකය. ඒ අනුව පුවත්පත් මණ්ඩලයේ නියෝගයක් පැහැරහැරීම මාධ්‍ය නියෝජිතයෙකුට වසර කිහිපයක් බරපතල සිරදඩුවම් දැරීමේ දඩුවමක් නියමවීමේ විභවතාවයකින් යුක්තය.

මේ කරැණු අනුව පෙනී යන්නේ දැනට පවතින පුවත්පත් මණ්ඩල පනතේ යහපත් ලක්ෂණවලට වඩා අයහපත් ලක්ෂණ බහුල බවයි.

පුවත්පත් මණ්ඩළයේ ක්‍රියාකාරිත්වය

පුවත්පත් මණ්ඩලයේ අයහපත් ලක්ෂණ පිළිබද මෙම විවේචන දේශියව මෙන්ම අන්තර්ජාතිකවද සාකච්ඡාවට ලක් වී තිබේ. පනත සම්මතවීමට පෙර,  1972 දෙසැම්බර් පළමුවනදා, පොදු රාජ්‍ය මණ්ඩල පුවත්පත් සංගමය විසින් එවකට අගමැතිවරිය වූ සිරිමා බණ්ඩාරනායක වෙත යෝජිත මණ්ඩලයේ ස්වාධීනත්වය, දඩුවම් නියම කිරීමට ඇති බලය මෙන්ම තීරණ අභියාචනයට නොහැකිවීම සම්බන්ධයෙන් පැවති ගැටලු ඉදිරිපත් කර තිබිණ. ඉංග්‍රීසි ජාතික මාධ්‍යවේදියෙකු මෙන්ම ද ඉකොනොමිස්ට් හි කතුවරයාද වූ ඩොනල්ඩ් ට්‍රයිමාන් 1973 දී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත පිළිබද ලියූ ලිපියක දැක්වෙන්නේ එය ජාතික සහ මහජන යහපත යන තේමාව යටතේ රැගෙන ආ නිදහස් මාධ්‍යයට එරෙහි නීතියක් බවයි.

එවැනි විවේචන මධ්‍යයේ වුවද 2001 වර්ෂය දක්වාම පුවත්පත් මණ්ඩලය අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර එහිදී මාධ්‍ය ආචාර ධර්ම සැකසීම, පැමිණිලි විභාග කිරීම මෙන්ම පුහුණු කිරීම් ආදියටද දායක විය. කෙසේවෙතත් පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතු බවට මාධ්‍ය සංවිධාන මගින් දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලෙස එවකට පැවති ආණ්ඩුව 2001 ජනවාරි මාසයෙන් පසු මණ්ඩලය සදහා නව සාමාජිකයන් පත් කිරීම සිදු නොකරනු ලැබිණ. මණ්ඩලය අහෝසි කිරීමට 2003 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් ගනු ලැබූවද ඊට අදාළ පනතක් ඉදිරිපත් නොවීමෙන් සිදුවූයේ එය අක්‍රීයව පැවතීම පමණි. එහෙත් පසුව පැමිණි ආණ්ඩුව මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීම හේතුවෙන් එය යළිත් සක්‍රීය වී මේ දක්වාම යළි ක්‍රියාත්මක වේ.

යෝජිත සංශෝධන , ගැටලු සහ අභියෝග

වත්මන් ආණ්ඩුව ආවරණය පුලුල් කරමින් සංශෝධනය කිරීමට යන්නේ සංයුතිය, පත් කිරීම් , විභාග පැවැත්වීමේ, දඩුවම් නියම කිරීමේ සහ අභියාචනා ක්‍රියාවලියේ බලතල සහ පටිපාටින්හි අයහපත් ලක්ෂණ සහ අඩුපාඩු හේතුවෙන් විවේචනයට ලක්වූ සහ කලක් අක්‍රීයව තිබී යළි සක්‍රීය කළ පුවත්පත් මණ්ඩලයක් සහ ඊට අදාළ පනතකි.

එවැනි පනතක් විද්‍යුත් සහ සමාජ මාධ්‍යය ආවරණය වන පරිදි පුලුල් කිරීමට යාම එක්තරා ආකාරයක භයානක මෙන්ම කාලෝචිත නොවන ප්‍රවේශයකි. එය කඩා ඉවත් කර නව ගොඩනැගිල්ලක් ඉදිකළ යුතු තැනක ඇති පැරණි අබලන් ගොඩනැගිල්ලක් එහෙන් මෙහෙන් ප්‍රතිසංස්කරණය කිරීමක් බදුය. එහි අවසන් ප්‍රතිපලය විය හැක්කේ එම ගොඩනැගිල්ල සමස්ත මාධ්‍යයත්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත්, ප්‍රජාතන්ත්‍රවාදයත් පමණක් නොව එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණයට සහ භාවිතයට හවුල්වූවන්ද විනාශ කරමින් බිමට සමතලා වීමය.

මෙවන් නීතියක් සහ නියාමන ව්‍යුහයක් සමාජ මාධ්‍යයද අදාළ වන පරිදි සංශෝධනය කිරීමට යනවා යැයි ප්‍රකාශ කිරීමම එක්තරා ආකාරයක විහිලුවකි. සමාජ මාධ්‍ය නියාමනය යනු වර්තමාන මාධ්‍ය ලෝකය හමුවේ ඇති බරපතල අභියෝගයකි. පුවත්පතක හෝ විද්‍යුත් මාධ්‍යයක ප්‍රකාශකට, අයිතිකරැට හෝ, මාධ්‍යවේදියාට එරෙහි පැමිණිලි විභාග කිරීම තරම් පහසුවෙන් සමාජ මාධ්‍යයේදී එය සිදු කළ හැකි නොවේ. සමාජ මාධ්‍ය ජාලා සහ විදේශයන්හි සිට එය පරිහරණය කරන්නන් දේශීය අධිකරණ බලයට යටත් කර ගැනීම අද ලෝකයේ සෑම රටක්ම පාහේ මුහුණ පා සිටින ගැටලුවකි. එහිදී ජර්මනිය වැනි ඇතැම් බලවත් රටවල් සමාජ මාධ්‍ය ජාලා වගකීමට යටත් වන පරිදි වෙනමම නීති සම්පාදනය කර ඇතත් ඒවාද ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ ගැටලු රැසක් මතු කර තිබේ. අනෙක් අතට සමාජ මාධ්‍ය නියාමනය කෘතිම බුද්ධිය යොදා ගනිමින් වෙනමම ගැඹුරැ සහ ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ සිදුකළ යුතු එකක් වන අතර එය වත්මන් පුවත්පත් මණ්ඩල ප්‍රවේශයෙන් සපුරාම වෙනස් වූවකි.

විසදුම කුමක්ද?

පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම ඵල රහිත බවට අදහසක් ඉදිරිපත් කිරීම හරහා මාධ්‍ය නියාමනය යනු සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතු සංකල්පයක්ය යන ස්ථාවරයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. මාධ්‍ය නියාමනය යනු වර්තමානය තුළ අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් වන අතර අචාරධාර්මික මාධ්‍ය භාවිතය, පෞද්ගලිකත්වයට ඇති අයිතිය, පිළිතුරැ දීමේ අයිතිය, වෛරී ප්‍රකාශ සහ දුස් තොරතුරැ වැළැක්වීම ප්‍රමුඛ කරගත් මාධ්‍ය නියාමනයක් අත්‍යවශ්‍ය බවට විවාදයක් නැත. මේ ගෙවෙන කොරෝනා වසංගතය සමය ඊට සියගණනින් උදාහරණ සපයමින් සිටියි.

එහෙත් එම නියාමනය සිදුවිය යුත්තේ මාධ්‍ය සමාජය ප්‍රමුඛ කරගත් ස්වයං නියාමන ප්‍රවේශයක් මෙන්ම තීරණ සහ නියෝග ක්‍රියාත්මක කිරීමේ අනිවාර්ය බලයක්ද සහිත ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ මිස සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් පත් කෙරෙන පුද්ගල මණ්ඩලයක බලය තහවුරැ කිරීමෙන් හෝ ඉහළ නැංවීමෙන් නොවේ.

එමෙන්ම,  මෙහිදී සියලු මාධ්‍ය එක මණ්ඩලයක් යටතේ නියාමනය කිරීම සාර්ථක නොවන බව පවතින දැනුම් පද්ධතිය සහ ප්‍රායෝගික තත්වයන් මගින් ඔප්පු කොට තිබේ. ඒ අනුව සාර්ථක නියාමනයක් සදහා වැදගත් වන්නේ වෙන් වෙන් ප්‍රවේශ අනුගමනය කිරීමයි.  අවම වශයෙන් ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය යනුවෙන්, ප්‍රවේශ දෙකක් හෝ අනුගමනය කිරීම වඩාත් සාර්ථක විය හැකි බවට කලාපීය සහ ජාත්‍යන්තර උදාහරණ සාක්ෂි දරයි.

විරංජන හේරත්

 (නීතිඥවරයෙකු, මෙන්ම නීතිය සහ ජනමාධ්‍ය පිළිබද පර්යේෂකයෙකු වන විරංජන හේරත් ඉන්දියාවේ බැංගලෝර්හි නැෂනල් ලෝ ස්කූල් විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් නීතිය පිළිබද සහ කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසංනිවේදනය පිළිබද පශ්චාත් උපාධිධාරියෙකි. ඔහු මේ වනවිට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබද ආචාර්ය උපාධිය හදාරමින් සිටියි)

Social Sharing
නවතම විශේෂාංග