පාතාලය ඉවරයි.! දැන් අපි නිදහස්

පාතාලය ඉවරයි - දැන් අපි නිදහස්

ශාරීරිකව කරනු ලබන දඩුවම් ශිෂ්ඨ සමාජය විසින් ප්‍රථික්ෂේප කර තිබෙන්නේ එවැනි දඩුවම් සිදුකිරීම තුළින් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවට විද්‍යානුකුලව ඔප්පු කර ඇති නිසාය. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් විසින් වැරදිකරුවන් වෙත දඩුවම් දීමේ ක්‍රමයට, වෙනත් ආකාරයේ හිංසා ක්‍රමයන් මෙන්ම මරණීය දණ්ඩනය ලබා දීම පවා සම්පුර්ණයෙන් නතර කොට තිබේ.

ශ්‍රී ලංකාව තුළත් මේ ක්‍රමය ක්‍රියාත්මක වන අතර, අධිකරණය මගින් මරණ දඩුවම නියම කරනු ලැබුවත්, ඔවුන් එල්ලා මැරීම සිදු කිරීම දැනට දශක කිහිපයක් තිස්සේ සිදු නොකරයි. පසුගිය යහපාලන රජය සමයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධව මරණ දඩුවම හිමි වූ පුද්ගලයින්ට මරණ දඩුවම ලබාදීමට උත්සාහ කරනු ලැබුවද ඔහුගේ ධුර කාලය අවසන් වන තෙක් එවැන්නක් සිදු කිරීමට ඔහුට නොහැකි වුනි.

අපගේ නීති ක්‍රමය තුළ ශරීරික දඩුවම අපරාධ වරදක් බවටත්, මරණ දඩුවම ලබාදීම අත්හිටුවා තිබුනත්, අධිකරණ ක්‍රියාමාර්ග මග හැර විවිධ ක්‍රම සහ විධි පාවිච්චි කරමින් සැකකරුවන් වෙත මරණ දඩුවම ලබා දෙන අවස්ථාවන් පසුගිය කාලය තුළ වරින් වර වාර්තා විය.

මෙසේ දඩුවම් දීම පිළිබදව චෝදනා සෘජුව එල්ල වන්නේ ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාරය වෙතයි. සමහර අවස්ථා වලදී අනෙකුත් ආරක්ෂක අංශ වෙත විටින් විට මෙවැනි චෝදනා එල්ල වේ. නමුත් අදාල අංශ සෑම විටම පෙන්වා දෙන්නේ සැකකරැවන් පැන යාමට උත්සාහ කිරීම, ආරක්ෂක අංශ වෙත ප්‍රථි ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වීම, අත්මාරක්ෂාව සදහා කටයුතු කිරීම හෝ සැකකරැ මෙල්ල කිරීමට උත්සාහ කිරීමේදී එසේ අදාල සැකකරැ ඝාතනය වූ බවයි.

විශේෂයෙන් පොලීසිය පවසන මේ සම්බන්ධ බොහෝ කතාන්දර එක හා සමාන ස්වරෑපයක් ගනු ලැබුවත්, මෙම ඝාතණ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිසිදු වගකිව යුතු ආයතනයක් ඉදිරිපත් නොවේ. එමෙන්ම, ලංකාවේ බොහෝ මාධ්‍ය ද එම ඝාතණය සාධාරණය කිරීමට සැදී පැහැදී සිටී. රටේ බහුතර ජනතාවත් මෙම ඝාතණයේ සැබෑ කතාව දැනගනු ලැබුවත්, ඝාතණය අනුමත කරමින් මාධ්‍ය විසින් ලබා දෙන වාර්තාවට අනුව පොලීසිය වීසින් ඒසේ දඩුවම් ලබා දීම සිදු කළ යුතු බව පිළිගනී.

සමහර අවස්ථාවක දී මෙවැනි ඝාතණ සම්බන්ධව තැනින් තැන යම් යම් විරෝධතා ගොනු වූවත්, එම විරෝධතා ව්‍යාපාරයන් වැඩි දුර ගමන් කරනු නොපෙනුනි.

මෙසේ නීතියට පිටින් සිදු කරනු ලබන ඝාතණ සංස්කෘතිය වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, පසුගිය ජුනි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 5ට පමණක් එසේ පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සිද්ධීන් 8ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වාදෙයි.

වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් රමණී මුත්තෙට්ටුවගම විසින් යොමු කර තිබෙන ලිපියක් මගින් අවධාරණය කර ඇත්තේ පසුගියදා මේසේ ඝාතණයට ලක් වූ මධුෂ් ලක්ෂිතට (මාකදුරේ මධුෂ්) යම් ජීවිත අනතුරක් සිදු වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කල් වේලා ඇතිව වගකිව යුතු බලධාරීන් දැනුවත් කර තිබියදීත්,  ඔහු ඝාතනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු වී තිබෙන බවයි.

කොමිෂන් සභාව පවසන්නේ මධුෂ් ලක්ෂිත යන අයට යම් ජීවිත අනතුරක් වීමට හැකියාවක් ඇති බවට 2020.10.18 දින ලද පැමිණිල්ලට අනුව එම රැඳවියාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධව සුදුසු වැඩ පිළිවෙලක් යොදන ලෙස දක්වමින් 2020.10.19 දිනැතිව කොළඹ අපරාධ කොට්ඨාශය, පොලිස්පති හා පොලිස් කොමිෂන් සභාව වෙත ෆැක්ස් පණිවිඩ මගින් දන්වා තිබියදී විමර්ශන කටයුත්තකදී එම රැඳවියා මිය යාම පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම අවධානය යොමු කර ඇති බවයි.

එම ලිපිය මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදු වීම තුලින් රට තුළ තීතියේ ආධිපත්‍ය පිළිබද බරපතල ගැටලුකාරී තත්වයක් ගොඩ නැගෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශ්වාසය බවයි.

විටින් විට බොහෝ ආණ්ඩු පාතල මර්ධනය කිරීම සදහා යැයි පවසමින් අපරාධයන්ට සම්බන්ධ යැයි පැවසෙන මෙවැනි පුද්ගලයින් ඝාතණ කරනු ලැබුවද ඉන් ලංකාවේ අපරාධ අඩුවීමක් හෝ පාතල මර්ධනයක් කිසිදා සිදු නොවුනි. එවැනි ඝාතන නිසා තව තවත් අපරාධ වැඩි වූ අතර, පාතාලය ද තිබුනට වඩා ශක්තිමත් විය. පොලීසිය පවසන ආකාරයට අතීතියේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක පමණක් ක්‍රියාත්මක වූ පාතාලය වර්තමානයේ ජාත්‍යන්තර තලයේ අපරාධ සිදු කරන තත්ත්වයට වර්ධනය වී තිබේ.

පාතාලය යනු අප දේශපාලන සංස්කෘතියේ අනිවාර්ය ප්‍රථිපලයක් බව බොහෝ දෙනා පිළිගනී. පාතාල වර්ධනය වන්නේ එම දේශපාලන සංස්කෘතියේ වුවමනා එපාකම් අනුව බවත්, පාතල මර්ධනයත් එවැනිම දේශපාලන ක්‍රියාකාරකමක් බව බොහෝ දෙනා පිළිගනී. මේ ආකාරයේ පාතල මර්ධනය මගින් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ සිදු කරන පුද්ගල ඝාතනය හරහා සමහර දේශපාලනයන් හා නිලධාරීන් සම්බන්ධ බොහෝ අපරාධ සහමුලින්ම වැලලී යාමයි.

සාධරණ නඩු විභාගයකට මාරන්තික බියක් දක්වන්නේ මෙම පාතල කරුවන් නොව, ඔවුන්ට සම්බන්ධව කටයුතු කළ දේශපාලඥයින් හා නිලධාරීන්ය. එම නිසා මෙම පුද්ගලයින් කුමන ක්‍රමයකින් හෝ ඝාතණය කරනු ලබන අතර, ඔහුගේ පාතාල කටයුතු සිදු කිරීමට වෙනත් කණ්ඩායමක් ගොඩනගනු ලබයි. මෙම සෙල්ලම දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ අතර, ඒ සදහා සමහර නිලධාරීන් ද සම්බන්ධ කර ගනී.

මෙම ක්‍රමයට විරුද්ධව රටේ මහජනතාව හඬක් නැගිය යුතුය. මේ ක්‍රමය තව දුරටත් වර්ධනය වුවහොත්, අතීතයේ දේශප්‍රේමී හෝ දේශදොහී ලේබලය යටතේ පුද්ගල ඝාතණ සිදු කළ අකාරයට පාතාල ලේබලය යටතේ ඕනෑම අයෙක් ඝාතණයට ලක් විය හැක.

අපරාධ මැඩලීමේ යන්ත්‍රණය ශක්තිමත් කර සාධරණ නඩු විභාගයක් පැවැත්වීට අවශ්‍ය අප අධිකරණ පද්දතිය ශක්තිමත් කිරීමට අප සියලුම දෙනා අවධානය යොමු කළ යුතුය. අධිකරණයෙන් පිටත සිදු කරනු සියලුම ආකාරයේ දඩුවම් වලට අප විරුද්ධ විය යුතු අතර, එවැනි දඩුවම් වලට එරෙහි සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා හඩ නැගීම නීතිගරුක පුරවැසියන්ගේ වගකීම විය යුතුය.

-පිලිප් දිසානායක-

 

Related posts