පැන්ෂන්කාරයෙකුගේ කතා වස්තුව!

පැන්ෂන්කාරයෙකුගේ කතා වස්තුව!

උපුල් කුමරප්පෙරුම විසින් ලියා ප්‍රසිද්ධ කරන්නට යෙදුණා වූ වාසගම කරන කොට ගෙන මෙතුවක් කලක් ලෝකයෙන් සඟවා ගෙන සිටි මගේ උපන් දිනය ලෝක ප්‍රසිද්ධ විය. එපමණක් නොනැවතුණු මේ හාදයා මගේ වයස අවුරුදු පනස් තුනක් බවති, රජයේ සේවයේ සිටියා නම් තවත් අවුරුදු දෙකකින් පැන්ෂන් යන වයසේ මා සිටින බවත් ප්‍රසිද්ධ කළේය.

පසුගිය අවුරුද්දක කාලය මේ මහතා සමග එක්ව නීතිඥ වෘත්තියේ යෙදෙන බැවින් මොහුගේ පොඩි ට්‍රික්ස් මමත් දැන් හඳුනමි. මට වයස පනස් තුනක් යැයි ඔහු යෝජනා හෙවත් සජෙස්ට් (suggest) කළ විට මට සිදුවන්නේ එය එසේ නොවන බව කියා සත්‍ය වයස ප්‍රකාශ කරන්නටය. එවිට, එය පිළිගැනීමක් (admission )වශයෙන් ලකුණු කරන්නට ඔහුට අවස්ථාව ලැබේ. මේ උපායට හසු නොවී මගේ සත්‍ය වයස පිළිබඳව අනුමතියක් ඇති කර ගැනීමට ඉඩ තබා නිහඬ වෙමි.

උපුල් සමග එක්ව ඔහුගේ චේම්බරයෙහි සාමාජිකයෙකු ලෙස නීතිඥ වෘත්තියට නැවත පිවිසීමෙන් පසුව එක දවසක් මම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යමින් සිටියෙමි. මා සමග එහි ගිය එවකට අප චේම්බරයෙහි ආධුනිකත්ව කාල සීමාව සම්පූර්ණ කරමින් සිටි ආධුනික නීතිඥවරයෙක් “සර්, කලින් හිටියේ කොහේද?’ කියා මගෙන් විමසීය. “මම වැඩකළේ ආණ්ඩුවේ” යැයි මම කීවෙමි. අප විසින් සී අයි ඩී යන සුරතල් නාමයෙන් හැඳින්වුණු මේ තරුණයා මී ළඟට මෙසේ විමසීය.

“සර්, පැන්ෂන් අරගෙනද ප්‍රැක්ටිස් කරන්න ආවෙ?”

වයස කොහොම වුණත් පැන්ෂන් හෙවත් විශ්‍රාම ගැනීම පිළිබඳව නම් වචනයක් දෙකක් නොකිව්වොත් මේ සටහන අසම්පූර්ණය.

මම නීතිඥ වෘත්තියට පිවිසුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ 1994 වසරේ දීය.

1999 වසරේදී මම ‘ගම්පෙරළියේ’ ජිනදාස මෙන් සිංහලේ ගියෙමි. හරියට ම කිව්වොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වේච්ඡා සේවයට (United Nations Volunteers) බැඳී එවකට ඉන්දුනීසියාව යටතේ පැවැති නැගෙනහිර තිමෝරය East Timor වෙත ගියෙමි. නැගෙනහිර තිමෝරය හෙවත් වර්තමාන තිමෝර් ලෙස්තේ Timor Leste රාජ්‍යයට ස්වාධීනත්වය ලබා දිය යුතුද යන්න පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වන ලද ජනමත විචාරණය (Popular Consultation) සංවිධානය කිරීම සඳහා දිස්ත්‍රික් ඡන්ද නිලධාරියෙකු (District Electoral Officer) ලෙස මම සහභාගි වූයෙමි. ඒ මැතිවරණ පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙකු ( International Ekection Expert) වශයෙනි. ඡන්ද නිරීක්ෂණ කටයුතු වල නිරත වී මා ලබා තිබූ අත්දැකීම් මෙහිදී උපකාරී විය.

ඉන් අනතුරුව මට පත්වීම් ලැබුණේ කලින් යුගෝස්ලාවියා ෆෙඩරල් සමූහාණ්ඩුවට (Federal Republic of Yugoslavia) අයත්ව තිබුණු කොසෝවෝ (Kosovo) රාජ්‍යයෙහි එවකට ක්‍රියාත්මක වුණු එක්සත් ජාතීන්ගේ කොසෝවෝ දූත මෙහෙවරෙහි (United Nations Mission in Kosovo) සේවය සඳහා ය. කොසෝවෝහි Prizren පළාතේ සිවිල් සහ ඡන්ද ලියාපදිංචි කිරීමේ කටයුතු සංවිධානය කිරීම අපට පැවරී තිබුණි.

ඉන් පසුව පෙරළා සියරට පැමිණි මම පූර්ණ කාලීනව රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේ සේවයට බැඳුනෙමි. 2003 වසරේදී කොළඹ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ සංවිධානයේ විධායක ප්‍රධාන ලේකම් ලෙස තේරී පත්වුණු මම 2006 දක්වා එහි නායකත්වය දැරුවෙමි. 2007 වසරේදී රයිට්ස් නව් නමැති සංවිධානය පිහිටුවීමට මම දායක වූ අතර 2008 වසරේ සිට එහි විධායක අධ්‍යක්ෂවරයා වශයෙන් වසර දහයක් සේවය කළෙමි.

2017 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස මට පත්වීමක් ලැබුණි. එහි සේවය කරන අතරතුරදී 2017 ඔක්තෝබර් මාසයේදී කැබිනට් මණ්ඩලයේ තීරණයක් පරිදි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරන ලදුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටය්තු කිරීම ආරම්භ කළෙමි. රජයේ දෙපාර්තමේන්තුවක ප්‍රධානියකු ලෙස පත්වීම් ලැබූ බැවින් එතෙක් රාජ්‍ය නොවන සංවිධානයන්හි දරන ලද සියළුම තමතුරුවලින්ද, අධ්‍යක්ෂ මණ්ඩලවලින්ද ඉල්ලා අස්වූයෙමි.

2018 ඔක්තෝබර් මාසයේ සිදුවුණු දින 52 පෙරළිය හේතුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස මා දරන ලද තනතුර අහිමි විය. දින 52න් පසුව ආණ්ඩුව නැවත පිහිටුවන ලද විට මම සංවර්ධන සන්නිවේදන කටයුතු මෙහෙයවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පැවැති ජාතික සම්පත් සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශකයෙකු ලෙස කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබුවෙමි.

2019 නොවැම්බර් මාසයේදී පැවැති ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරන ලද්දේ නොවැම්බර් 17 දිනයකය. ඉන් දින දෙකකට පසුව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම භාර දුන්නේය. මගේ රජයේ සේවය එතැනින් අවසන් විය.

එහෙම බලන විට මම ඇත්තටම පැන්ෂන් ගිය පුද්ගලයෙකි. එහිදී වැඩිම කාලයක් සේවය කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක නිලධාරියෙකු ලෙස බැවින් පැන්ෂන් ගිය එන් ජී ඕ කාරයෙකු ලෙස හැඳින්වීම වඩාත් සාධාරණය.

පැන්ෂන් ගිය එන් ජී ඕ කාරයෙකුගේ ඉරණම පැන්ෂන් ගිය පොලිස් කාරයෙකු ගේ ඉරණමට වඩා වැඩි වෙනසක් නැත. වෙනසක් ඇත්නම් ඒ පොලිස්කාරයාට පැන්ෂන් එකක් හෙවත් විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබීමත්, පැන්ෂන් ගිය එන් ජී ඕ කාරයෙකුට විශ්‍රාම වැටුපක් තබා පාරිතෝෂික දීමනාවක්වත් (Gratuity payment) නොලැබීමයි. ඒ ආකාර වූ පැන්ෂන් ජීවිතය ගැන වෙනත් පෝස්ටුවකින් ලියන්නට කල්පනා කරමි.

ඒ අතරේ මගේ උපන්දිනය වෙනුවෙන් නන් අයුරින් උණුසුම් සුබ පැතුම් එක් කළ ඔබ සැම දෙනාටම මගේ ආදරය පිරිනමන්නට මේ අවස්ථාව යොදා ගන්නෙමි.

සුදර්ශණ ගුණවර්ධන

19.11.2020

Related posts

One Thought to “පැන්ෂන්කාරයෙකුගේ කතා වස්තුව!”

  1. […] post පැන්ෂන්කාරයෙකුගේ කතා වස්තුව! appeared first on […]

Comments are closed.