ධනපති වෙළඳාම ඉදිරියේ මහජන සෞඛ්‍යය කොයිබටද?

public health in the face of capitalist trade aflatoxin in coconut oil

හානිකර පොල් තෙල් වෙලඳපොලට නිකුත් වීම, කූට ව්‍යාපාරිකයින් හා දූෂිත රජයේ නිලධාරින් කිහිපදෙනකුගේ “පුද්ගලික අපරාධයක්” නොව, සමස්ත රාජ්‍ය පාලන පද්ධතියම වග කිව යුතු “සමාජ අපරාධයකි.” ශ්‍රී ලංකාව තුල, විෂ රසායනිකයන් ආහාර දාම වලට එක්වීම අලුත් සංසිද්ධියක් නොවේ. අවම වශයෙන් දශකයකට එපිට කාලයක සිට, මේ පිලිබඳව විද්‍යාත්මකව කරුනු හෙලිවෙමින් ඇත. මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කල පොල් තෙල් තොග කිහිපයක, ඇෆ්ලොටොක්සින් (aflatoxin) නමැති පිලිකා කාරක සංයෝගය අඩංගු බවට පසුගිය මාසයේ අනාවරනය විය. එම පිලිකා කාරක පොල්තෙල් වලින් කොටසක් වෙලඳපොලට නිකුත් කෙරී ඇති බව හෙලිවීම හා එම ආනයනකරුවන් ආරක්ෂා කිරීමට ආන්ඩුව හා නිලධාරින් ගෙන යන වැඩපිලිවෙල හේතුවෙන් ඊට එරෙහිව ප්‍රබල මහජන විරෝධයක් මතුවී තිබේ.

උක්ත පොල් තෙල් තොග පරිභෝජනයට නුසුදුසු බවට නියාමන ආයතන දෙකකින්ම නිර්දේශ වී තිබියදීත්, ඒවා ශ්‍රී ලංකා රේගුව භාරයේ තබා නොගෙන, ආනයන සමාගම් වල ගබඩා වලට ගෙන යාමට අවසර ලබා දී තිබුනේ, ඒවා රේගු අංගනය තුල තබා ගැනීමට “ඉඩ නොමැති” බව පවසමිනි. මෙලෙස මුද්‍රා තබා ගබඩාකර තබා ගත යුතුව තිබුනු පොල් තෙල් සිල්ලර බෙදා හැරීම් සඳහා නිකුත් කර ඇති බවද පසුව හෙලි විය. වෙලඳපොලට මහා පරිමානයෙන් පිසින තෙල් සපයන සමාගම් හතරක් විසින් මෙම පොල්තෙල් තොග ගෙන්වා ඇති අතර ඒවායේ ඇෆ්ලොටොක්සින් සාන්ද්‍රනය ආරක්ෂිත සීමාව ඉක්මවා ඇතිබව මුලින්ම අනාවරනය වූයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් කල තත්ත්ව පරික්ෂාවකදීය. පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින්ද එය තහවුරු කෙරිනි.

ඇෆ්ලොටෝක්සින් මගින් විශේෂයෙන්ම අක්මාවේ පිලිකා ඇතිකල හැකි බවත් දරුවන් තුල වර්ධන දුබලතා වලට හේතුවිය හැකි බවත් පරීක්ෂන මගින් අනාවරනය වී තිබේ. අහාර ද්‍රව්‍ය පරනවීම සහ නිසිලෙස ගබඩා නොකිරීම, ඒවා තුල දිලීර වැඩී ඇෆ්ලොටෝක්සින් ඇතුලු අනිකුත් හානිකර සංයෝග රැස් වීමට හේතු කාරක වේ.

මෙම හානිකර පොල් තෙල් පිලිබඳව සැබෑ තොරතුරු කිසිවක් හෙලි නොකිරීමට ආන්ඩුව සහ රාජ්‍ය නිලධාරිහු මුල සිටම වග බලා ගත්හ. හිරු රුපවාහිනි නාලිකාව සමග සම්මුඛ සාකච්චාවකට සහභාගි වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න සිදුකල ප්‍රකාශයකින්, මෙම අරමුන වඩාත් පහැදිලි විය. මෙවැනි විෂ සහිත සංයෝග ආහාර ද්‍රව්‍ය වල නිතර හමුවෙන්නේද, එසේනම් ඒ පිලිබඳ නිවැරදි තොරතුරු වහාම මහජනතාවට නිකුත් කරන්නේද යනුවෙන් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ආචාර්ය සේනාරත්න කියා සිටියේ, රජයේ ආයතන වලට එසේ තොරතුරු නිකුත් කල නොහැකි බවත්, එසේ කලහොත් “සමහර ව්‍යාපාරිකයින් හා කර්මාන්තකරුවන් සම්පූර්නයෙන් කඩා වැටීමට ඉඩ ඇති” බවයි. එවැනි අවස්ථා වලදී, ජනතාවට “ටික කාලයකට” බලපවත්නා අවදානම නොසලකා, එම ව්‍යාපාරිකයින් කෙසේ හෝ “හදා ගැනීමට” සිදුවන බවද ඇය ප්‍රකාශ කලාය.

ධනේශ්වර “ප්‍ර‍මිති” ආයතනයන්හි යතා ස්වභාවය එලිමහනට පැමිනි මෙම ප්‍ර‍කාශයෙන් ජනිත වූ දැඩි මහජන කෝපය සමනය කර ගැනීමට, ආන්ඩුව රටපුරා පොල් තෙල් වල අඩංගු ඇෆ්ලොටෝක්සින් ප්‍රමාන පරීක්ෂා කිරීමට වැඩසටහනක් දියත් කල අතර හානිකර පොල්තෙල් අඩංගු බහලු 13ක් ප්‍රති-අපනයනය කරන බව නිවේදනය කෙරිනි. නමුත් මේවා හුදු ඇස්බැන්දුම් පමනි. බහුලව භාවිත වන රසායනික පොහොර වර්ගවල ආසනික් ඇතුලු අතිශයින් හානිකර බැර ලෝහ අඩංගුබවට වරින්වර කරුනු හෙලි වූ අතර 2012 වසරේදී කිරිපිටි වල කුඩා දරුන්වන්ට සෞඛ්‍ය සංකුලතා ඇති කල හැකි ඩයිසයන්ඩිඇමයිඩ් (Dicyandiamide) නමැති සංයෝගය අඩංගු වී තිබුනු බවට කරුනු හෙලි විය.

වඩාත්ම උත්සුකය දනවන කාරනය වන්නේ 2019 දී ප්‍රමිති ආයතනය හා පේරාදෙනිය විශ්ව විද්‍යාලය එක්ව කල අධ්‍යයනයක් මගින්, ශ්‍රී ලංකාවේ පිසින තෙල් වල ඇෆ්ලොටෝක්සින් නිර්දේශිත සීමාවන් ඉක්මවා පවතින බව සොයාගෙන තිබීමයි. විද්‍යාත්මක අවබෝධය මෙතරම් දියුනුව ඇති යුගයක මෙවැනි ගැටලු මහජනතාවගේ ජීවිතයත් මරනයත් අතර අර්බුද බවට පත්ව ඇත්තේ අහම්බයකින් නොවේ. අතලොස්සකගේ ලාභය මුල්කරගත් නිෂ්පාදන ක්‍රමයක, මහජන සෞඛ්‍යය හෝ ආහාර වල සුරක්ෂිතතාව කිසිලෙසකින්වත් ප්‍රමුඛතාවක් නොවේ.

කොවිඩ් 19 වසංගතයට ලොවපුරා පාලක පන්තීන් දැක්වූ සාපරාධී ප්‍රතිචාරය මේ පිලිබඳ බලගතුම උදාහරණයකි. අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් ඇතුලු අධ්‍යාපන ආයතන වසා දැමීම වසංගතය පාලනය කිරීමේ අනිවාර්ය ක්‍රමවේදයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තරව පිලිගත් වසංගත රෝග විද්‍යාඥයන් බරපතල ලෙස අවධාරනය කරද්දී, මෙම පාලකයෝ එය සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කලේ, ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය අඛන්ඩව ගෙනයාමේ අවශ්‍යතාවයෙනි.

Social Sharing

Related posts