මියන්මාර් බියකරු හමුදාවට එරෙහි අරගලයේ සුන්දරත්වය හා විමුක්ති ගීය

බර්නාඩ් එදිරිසිංහ

“හමුදා කුමන්ත්‍රණය පිළිගන්න එපා. ඔවුන්ගේ පාලන තන්ත්‍රයට දායක වෙන්න එපා,” යි මින්කුනායි තංහං විසින් කරන ලද ඉල්ලීම වත්මන් මියන්මාර් හමුදා පාලනයට දේශීය වශයෙන් එල්ලවී ඇති දැවැන්තම අභියෝගය වන හමුදා විරෝධී දේශපාලන රැල්ල නිර්මාණය වීමට හේතු වුණා. හමුදා පාලනයට විරෝධය පළ කිරීමක් ලෙස සිවිල් නිතී කඩ කරන්නැයි ද මින්කුනායි තංහං ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීමට මේ වන විට තහංචි මධ්‍යයේ ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ 250,000 වැඩි පිරිසක් සිය  සතුට පළ කර ඇතැයි වාර්තාවේ.

පනස් අට හැවිරිදි මින්කුනායි තංහං අවු සං සුචි ළඟට දේශපාලන වශයෙන් ජනප්‍රිය චරිතය හා ඇයගේ අනුප්‍රාප්තිකයා ලෙස ද සැලකේ. ඔහු සිය ජිවිත කාලයෙන් වැඩි කොටස් ගත කොට තිබෙන්නේ සිර කුටි තුළය.

මියන්මාරය 1948දී බ්‍රිතාන්‍යයෙන් නිදහස් ලැබු දා පටන් දශක හතෙන් හයක්ම පාලනය කර තිබෙන්නේ විවිධ මාදිලියේ හමුදා පාලන යාන්ත්‍රණ විසිනි.

වත්මන් හමුදා ආණ්ඩුව මේවන විට නැෂනල් ලීග් ෆෝ ඩිමෝක්‍රටික් පක්ෂ කාර්යාලය පහරදී විනාශ කොට ඇති අතර  ‌‌ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සහ ප්‍රබල ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කොට තිබෙන බව වාර්තාවේ.

2021 මැද භාගයේ දි විශ්‍රාම යාමට සිටි හමුදාපති කුමන්ත්‍රණයකින් බලයට පත් වීම සුළුකොට නොතැකිය යුතු බවත් මියන්මාර් පුරවැසියන් හොඳින් දනී.

මින්කුනායි තංහංගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් වීදිබට මියන්මාර් පුරවැසි විරෝධතාවන්හි දක්නට ලැබුන සංස්කෘතික ප්‍රකාශනය සුවිශේෂ ලක්ෂණයක් විය.

විරෝධතා ව්‍යාපාරයේ සුවිශේෂ මුහුණුවර:

මින්කුනායි තංහං ගේ ඉල්ලීමට ප්‍රථමයෙන්ම ප්‍රතිචාර දක්වන ලද්දේ  වෛද්‍යවරු හා සෞඛ්‍ය සේවකයින් විසිනි. ඔවුන් වීදි බැස්සේ සිය නිල ඇඳුම සංකේතාත්මකව ප්‍රදර්ශනය කරමිනි. ජාතික අගනුවර වශයෙන් සැලැකෙන නේපි‌ඩොව් සහ අනෙකුත් පළාත්බද රෝහල් 110කට ආසන්න සංඛ්‍යාවක  වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින් විරෝධය පිණිස වීදියට පැමිණියහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට කෝවිඩ්-19 එන්නත පවා ලබාදීම ඇණහිට ඇතැයි වාර්තාවේ. බොහෝ රාජ්‍ය නිලධාරීන් හමුදා කූමන්ත්‍රණයට විරුද්ධත්වය පළ කරමින් සිය තනතුරුවලින් ඉල්ලා අස්වි ඇති අතර වැඩවර්ජනය කර ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශ  සේවක තීරූ ගණනාවක් ගැනද මියන්මාරයෙන් වාර්තාවේ.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ඡායාරූප කීපයක් මෙහි දැක්වේ. මුල් ඡායාරූපය අවතාර ලෙස සැරසී විරෝධයපෑමකි.

මියන්මාර විමුක්ති ගීතය

Kabar Makyay Bu හෙවත් ‘ලොව හිනැහෙන තුරු අපි නොනවතිමු’ යනුවෙන් අර්ථ දැක්විය හැකි මෙම ගීතය මේ දිනවල දිවා කාලයේදි සහ අනිවාර්යෙන්ම රාත්‍රි අටට බොහෝ පුරවැසියන් පවත්වන ජන ඝෝෂාවේදී ගායනා කරනු අසන්නට පිළිවන.

මෙම ගීතය ප්‍රථම වරට ගායනා කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා ව්‍යාපාරය විසින් මෙහෙයවන ලද උද්‌ඝෝෂණ ව්‍යාපාරය එහි උච්ච අවස්ථාවකට පැමිණි 8888 නමින් ප්‍රසිද්ධ වු 1988 අගෝස්තු 8 වන දිනය.

හමුදා විරෝධි ප්‍රජාතන්ත්‍රවාදි අරගලයේ ගීතය බවට පත් වු මෙම ගීතය රචනා කරන ලද්දේ එකල 30 හැවිරිදි වියේ සිටි නයින් මියන්මාර් (Naing Myanmar) විසිනි. ඒ වනවිට ශිෂ්‍යයන් විසින් නායකත්වය දුන් අරගලයට තේමා ගීතයක් නොමැති විමේ අඩුව පිරවීමට තමා උත්සාහ ගත් බව ගීතය නිකුත් වි තිස් වසරක් ගත වීම නිමිත්තෙන් පැවැති උපහාර උත්සවයේදි නයින් කියාසිටියේය. තමා කිසිවිටෙකත් වෘත්තීය ගායක ගායිකාවන් ලවා මෙම පද මාලාව ගායනා කිරීමට නොසිතූ බව කියා සිටි ඔහු, එදා මෙම ගීතය තැටිගත කරන අවස්ථාවේ ගායනා කළේ පාසැල් සිසුන් 13 දෙනෙකු යැයි සිහිපත් කළේය. “ඔවුන්ට සංගීතය ගැන කිසිම දැනුමක් තිබුනේ නැහැ. දැනගෙන හිටිය එකම දේ ගායනය පමණයි,” යි ඔහු කියයි.

“මට අවශ්‍ය වුනේ එක් වරක් ඇසු පමණින් මතක හිටින ගීතයක් නිර්මාණය කිරීමයි. මේ ගීතයට තිබුන පේලි දෙක ගායනා කිරීමට ඒ දවස්වල අපි අතර ජනප්‍රිය වෙලා තිබුන ඇමරිකානු ප්‍රගතිශීලි රොක් ගායක කණ්ඩායමක් වු කැන්සස් සංගිත කණ්ඩායම 1977 දි නිකුත් කොට තිබු  ‘ ආපසු නොහැරෙමු’ යන ඇල්බමයට ඇතුළත් ව තිබු ගීතයක් ආශ්‍රයෙන් සවර රචනය කළා,” ගීතයේ තිස් වන සංවත්සරය නිමිත්තෙන් ඉරවඩි අන්තර්ජාල සඟරාවට ඔහු විසින් ප්‍රකාශ කොට තිබින.

ගීතය තැටිගත කිරීමෙන් පසු කැසට් පටිවලට නැවත පටිගත කොට විරෝධතාකරුවන් අතර බෙදා හැරිණි. නයින් පසුව ප්‍රකාශ කළ පරිදි මෙම ගීතය ප්‍රතිනිෂ්පාදනය කිරීමෙන් ඇතමුන් විශාල ලාභ ලබා තිබුනි. නමුත් ඔහු විමුක්ති ගීතය වෙනුවෙන් විවිධ සම්මාන ප්‍රදානය කිරීමට යෝජනා වු සෑම අවස්ථාවකම එය නිහතමානි ලෙස  ප්‍රතික්ෂේප කරමින් කියා තිබුනේ ඒ ගීතය දැන් ජනතාව සතු බව හා තවදුරටත් තමාට අයිති නැති බවත්ය.

මියන්මාර විමුක්ති ගීතය

උපුටා ගැනීම – Praja.lk

Social Sharing
නවතම විදෙස්