සීනි තරමට රස නැති පැල්වත්ත ජනාවාස හිමියන්ගේ තිත්ත කථාව

ශ්‍රි ලංකාවේ සීනි නිපදවන කර්මාන්ත ශාලා හතරකි. ඒ් කන්තලේ, හිඟුරාන,  පැලවත්ත හා සෙවනගලය. සීනි නිපදවන්නේ උක් ගසෙනි. නමුත් උක් ගසෙහි නිජබිම වන්නේ මෙරට නොව අසල්වැසි ඉන්දියාවය.  නමුත් උක් ගස අපේ රටට සංක්‍රමණය විය.

ඒ් අනුව මෙරට සීනි කම්හල් බිහි වු අතර ඒහිදි ජනතාවගේ ඉඩම් කර්මාන්තශාලා තැනීම වෙනුවෙන් පවරා ගැනුණි. ඒ් දීර්ඝ කාලීන තිස් වසරක බද්දකටය.

මේ ඉඩම් ඒදා පවරා ගත්තද අදටත් ඉන් අසරණ වු බොහෝ දෙනෙක් සිටිති. විශේෂයෙන්ම පැලවත්ත සීනි සමාගම වෙනුවෙන් පවරා ගැණුනු ඉඩම් වල මෙන්ම ඒ් වෙනුවට ලබා දුන් ඉඩම් වල ඇත්තේ  තවමත් ඇත්තේ වියවුල් තත්ත්වයකි.

1981 පෙබරවාරි 19 වන දින පැලවත්ත  සීනි සමාගම ලෙස සංස්ථාගත කළ අතර  එය 1982 දෙසැම්බර් 10 වන දින පොදු සීමිත වගකීම් සමාගමක් බවට පත්විය. 1990 දී, හිමිකාර සමාගම එහි නම පැලවත්ත  ෂුගර් ඉන්ඩස්ටීස් ලිමිටඩ් ලෙස වෙනස් කළේය. එය මුලින්ම උපුටා දැක්වූයේ කොළඹ කොටස් වෙළඳපොලේ ය. මෙහි  මද්‍යසාර හා සීනි නිෂ්පාදනය සිදුවිය.

ඉඩම් පවරා ගැනීමේ සිට මේ වන විට මුහුණ දි ඇති ගැටලු සම්බන්ධයෙන් වැල්ලවාය, හඳපානාගල, ජනාවාස අංක 03 හි පදිංචි ආර්.ආර්. ජයරත්න මහතා ඒ් සම්බන්ධයෙන් කියා සිටියේ මෙවැන්නකි.

මම 1985 සිට මෙහි පදිංචි වෙලා ඉන්නේ. ඊට පෙර බුත්තල කොට්ඨාශයේ හේන් ගොවිතැන් කළේ. ඒ් කියන්නේ අතුරුබෝග. අපේ ඉඩම් පැලවත්තට පවරාගෙන අපිට මෙහේ අක්කර භාගයක ඉඩම් දුන්නා. මේ විදිහට ඉඩම් ලබා දුන් ජනාවාස 14 ක් මෙහේ තියෙනවා.

ඒතකොට මේ සමාගම පවත්වාගෙන ගියේ විදේශික පිරිසක්. ඔවුන් අපිට අපේ ඉඩම් පවරා ගනිද්දි පොරොන්දු වුනේ මාර්ග පහසුකම්, වෛද්‍ය පහසුකම්, දරුවන්ට සීනි සමාගමේ රැකියා, පාසල් දරුවන්ට ප්‍රවාහන පහසුකම්, ජල – විදුලි පහසුකම් ලබා දෙනවා කියලා.

අපි ඒ්වා විශ්වාස කළා. 1987 මේ සමාගම රජයට පවරා ගත්තා. ඉන්පස්සේ අපිට සිද්ධ වුනේ ළමයෙක් පාසලට දාන්නත්, වත්තේ ගසක් කපන්නත්, මොන දේ කරන්නත් සමාගමට ගිහින් අවසර ගන්න වුන ඒක. අපිට මේ ඉඩම් සම්බන්ධයෙන් කිසිම අයිතියක් තිබුණේ නැහැ. අපිට ඒ් ගැන දැනුමක් තිබුණෙත් නැහැ. කොටින්ම ඉඩමේ බද්ද අයින් වෙලාද කියලවත් අපි දැනගෙන සිටියේ නැහැ.

ඒ් ඉන්නකොට 2017 දී ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය අපි ළඟට ඇවිත් මේ ඉඩම් පවරා ගැනීම පිලිබඳ නීතිමය තත්ත්වය පැහැදිලි කරලා නීති ආධාර ලබා දුන්නා. ඒ් අනුව බදු ඉවත් වු අපි අපේ ඉඩම් අයිතිය ඉල්ලලා ජනාධිපති, අගමැති ඇතුලු සියලුම දෙනා දැනුවත් කළා.

ඒම දැනුවත් කිරීමට අනුව 2017-12-12 වන විට සුදුසුකම් සපුරා ඇති, විසීරි ඇති ඉඩම් සමීක්ෂණය කරනවා කිව්වා. නමුත් ඒය සිදු වුනේ නැහැ. අපි තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ පිලිබඳ විමසුවා. ඒ් අනුව ඉඩම් කච්චේරි පිහිටුවලා මේ වන විට ජනාවාස කිහිපයකට ඉඩම් අයිතිය ලැබුණා.

නොලැබුණු අය ගැන අප නැවත වරක් තොරතුරු දැන ගැනීම පනත යටතේ විමසා සිටියා. ඒවිට දැනගන්න ලැබුණේ ඒම ඉඩම් වල යම් යම් අඩුපාඩු තිබු නිසා පදිංචි සහතිකය ලබා දෙන්න නොහැකි වු බවයි. ඒ් නිසා අපි ඒ් අඩුපාඩු විස්තර පැලවත්ත සීනි සමාගමෙන් අරගෙන දැන් ගිහින් දීලා තියෙන්නේ.

මේ පැලවත්ත සීනි සමාගම ගැන 2014 මහ බැංකු වාර්තාවේ සඳහන් කර තිබුණේ 2011 මාර්තුවේදී කොටස්වලින් සියයට 47% ක ප්‍රමාණයක අයිතිය වෙනස් වීම නිසා සමාගමේ අයිතිය ‍වෙනස් වු බවත්  ස්ථිර සේවක සංඛ්‍යාව 1300කට අධිකය.

ඌව ප්‍රදේශයේ හෙක්ටයාර 6000ක පමණ වගා ඉඩම්වල මේ කම්හලට අවශ්‍ය උක් වැවීමේ කටයුතු සිදු කරන අතර  2014 වසරේ මේ කම්හල සීනි මෙ.ටො 18,000 ක් පමණ නිෂ්පාදනය කළ අතර අතුරු නිෂ්පාදන රාශියක් ද සහිත බවය.

“දේශිය සීනි නිෂ්පාදනයට අවශ්‍ය උක් වගා කිරීමේ කටයුතු සිදුකිරීමට ගොවීන් දිරි ගැන්වීම උදෙසා මෙට්‍රික් ටොන් එකක් සඳහා රුපියල් 4000ත් 4200ත් අතර ඉහළ ගොවි පොළ මිලක් සීනි කර්මාන්ත ශාලා විසින් ලබා දුන් නමුත්  ප්‍රධාන වශයෙන් වසර තුළ පැවැති නියඟ තත්ත්වයේ බලපෑම මත වර්ෂා ජලය මත වගා කටයුතු රඳා පවතින පැල්වත්ත කර්මාන්ත ශාලාව ආශ්‍රිත ප්‍රදේශවල උක් පලදාව අඩුවීම හේතුවෙන්, පැල්වත්ත කර්මාන්ත ශාලාවේනිෂ්පාදනය මෙට්‍රික් ටොන් 17964 දක්වා සියයට 36.7කින් පහළ ගොස් ඇති බවත්ය.

පැලවත්ත සීනි සමාගම විසින් ජනාවාස හිමියන්ට පදිංචි ඉඩම් අක්කර භාගයට අමතරව වගා කීරිම සඳහා අක්කර හතර බැගින් ලබා දී ඇත. ඒම අක්කර හතර අයත් වන්නේ සමාගමට වන අතර මොවුන්ට පැවරීමක් සිදුවන්නේ නැත.

මෙම ඉඩමේ උක් වගා කර මොවුන් සමාගමට ලබා දිය යුතුය. මේ සම්බන්ධයෙන්ද ජයරත්න මහතා කියා සිටියේ දිනකට උක් වගාවෙන් ලැබෙන්නේ රුපියල් 600- 650 ත් අතර ආදායමක් බවය. ඔවුන්ට ඊට වඩා වියදම වැඩිය.

උක් බීජ ටොන් ඒකක් රුපියල් 6000 කි.  අක්කර 04 සඳහා ටොන් 04 ක් ඇවැසිය. අක්කරයකට පොළව සකස් කිරීමට, දෙවැනි වර පොළව සකස් කිරීමට, බීජ ඉසීමට, නියමිත වේලාවට පොහොර දැමීමට, කාණු සෑදීමට, වල්නාශක ඉසීමට, පැළ සිටුවීමට,  ඵලදාව කැපීමට, කම්කරුවන්ට, ප්‍රවාහනයට ආදිය රුපියල් ඒක්ලක්ෂ පනස් තුන්දහසක පමණ වියදමක් යන බව ජයරත්න මහතා පවසයි.

මේ සියලු අමුද්‍රව්‍ය ලබා ගන්නේ පැලවත්ත සීනි සමාගමෙන් ණය පදනම යටතේය. අස්වනු නෙලීමෙන් පසු ලක්ෂ දෙක හමාරක පමණ ආදායමක් හිමි වුවද ණය මත පදනම්ව ලබා ගත් සියලු ද්‍රව්‍ය වලට මුදල් පොලියත් සමඟ ගෙවීමෙන් පසු උක් ගොවීයාට ඉතිරි වන්නේ සොච්චම් මුදලකි.

උක් වගාවක් වෙනුවෙන් මාස 9 ක් බලා සිටිය යුතුය. මෙම ඉඩම් වල අතුරු භෝග වගා කිරිමද සමාගමෙන් තහනම් කර ඇති බව ජයරත්න මහතා පවසයි.  ඒමෙන්ම නියමිත වේලාවට පොහොර, වල්නාශක, කාණු කැපීම, බීජ ඉසිම, අස්වනු නෙලීම ප්‍රමාද වුවහොත් මෙම ආදායමද අහිමි වන බවද ජයරත්න මහතා කියා සිටියි.

මොවුන්ට රජයෙන් ලැබෙන පොහොර සහනාධාරය හිමි නොවන අතර පොහාර ලබා ගත යුත්තේද සමාගමෙන් මුදලටය. ඒමෙන්ම උක් අස්වැන්න කැපීම සඳහා වසරක් පාසා කැති මිලදී ගත යුතුව ඇත. ඒම ඒක කැත්තක් රුපියල් 1000 ක් වන අතර ඒ් සඳහාද අමතර වියදමක් දැරීමට සිදුවන බව ජයරත්න මහතා පෙන්වා දෙයි.

මීට අමතරව මොවුන්ට තවත් ගැටලු ඇත. විශේෂයෙන්ම මෙම ජනාවාස වලට යාමට ඇති මාර්ග නිසි ලෙස සකස් නොකිරිම නිසා ඒහි පවතින්නේ පායන කාලයට ඒකම දූවිලි වලාවකි. වැසි කාලයට මඩ ගොහොරුය. මෙහි ධාවනය වන්නේද ඒකම බස් රථයක් පමණි. කිසිදු අන්තර්ජාල පහසුකමක් නැත. තවත් ජනවාස වල ජල පහසුකමක්ද නැත.

කොරෝනා සමයේ දරුවන්ට අන්තර්ජලය ඔස්සේ අධ්‍යාපනය ලබා දීමට රජය පියවර ගත්තද මේ ජනාවාස 03 දරුවන්ට ඒයද අහිමි වී ගොස් ඇත. ඒ් ඒහි කිසිදු අන්තර්ජාලයක් ක්‍රියාත්මක නොවන හෙයිනි.

මොවුන් දහඩිය හෙළා උක් වගා කරමින් රටට සීනි සැපයිමට කටයුතු කළද ඔවුන්ගේ ජිවිත මිහිරි නැත. ඒ්වා බැලීමටද කිසිවෙකු නොමැත.

නමුත් දැන් උක් වගා අමාත්‍යවරයෙකු සිටින්නේය. මොවුන්ගේ ගැටලු සොයා බලා විසඳුම් ලබා දීමට ඔහු පියවර ගත යුතුව ඇත්තේය.

ශානිකා මාධවී

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment