සමාජයේ නිරෝගීතාවය බිඳ වැටිලා, සමාජයක් ලෙස ප්‍රතිකර්ම සෙවිය යුතුයි!- සමිත උදයංග (සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය රුහුනු විශ්ව විද්‍යාලය)

health of the society has collapsed and as a society we must seek remedies!

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරන ආකාරයට මානව යහපැවැත්මේ විවිධ අංශ දැකගත හැකිවනවා , එහිදී පරිපූර්ණ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේ දී අංශ හතරක් දැක ගන්න පුලුවන්,  එනම් එහි පළමුවැන්න ජීව විද්‍යාත්මක සෞඛ්‍ය දෙවැන්න සමාජ සෞඛ්‍යය, තුන්වැන්න මානසික සෞඛ්‍යය, හතරවැන්න අධ්‍යාත්මික සෞඛ්‍යය.

එවිට මනුස්සයෙකුගේ යහපැවැත්ම පවතින්නේ මේවා මූලික කරගෙනයි. මේ වන විට පවතින කොවිඩ් 19 තත්ත්වය නිසා මිනිසාගේ පූර්ණ සෞඛ්‍යයට එනම් සමස්ත යහ පැවැත්මට බාධා ඇතිවී තිබෙනවා, නමුත් අපිට පැහැදිලිවම දැකගත හැක්කේ ජීව විද්‍යා විද්‍යාත්මක සෞඛ්‍යයට බලපාන සාධක පමණයි.

එහිදී අනෙක් පැති වලට වන හානිය අප අමතක කර තිබෙනවා, එනම් විශේෂයෙන්ම සමාජ සෞඛ්‍යයට වන අගතිය, ඉන්පසුව මානසික හා අධ්‍යාත්මික සෞඛ්‍යයට වන අගතිය පිළිබඳව අපි කාගෙත් අවධානයක් යොමු වී නැහැ. මෙම කොවිඩ් තත්ත්වය නිසා පැහැදිලිවම පෙනෙන කායික සෞඛ්‍ය නඟා සිටුවීමට සියලුම ආයතනය ඉදිරිපත් වෙලා තිබෙනවා.

එනම් නිරෝධායන ක්‍රියාවලිය, එන්නත් නිපදවීම ආදිය තුළින්. කොවිඩ් ආරම්භ වී දැනට අවුරුද්දකට වැඩි උනත් මෙයට නිශ්චිත ලෙස ප්‍රතිරෝධකයක් හඳුන්වාදීමට ලෝකය සමත් වී නැහැ. එයට හේතුව ලෙස බටහිර වෛද්‍ය ශාස්ත්‍රයේ තිබෙන යම් යම් අඩුපාඩු හඳුන්වා දෙන්න පුලුවන්.

නමුත් මෙසේ දුර්වල වීම්  මධ්‍යයේ අප සියලු දෙනාටම සිදුවෙනවා මානව ශිෂ්ඨාචාරයක් විදිහට ඉදිරියට යෑමට, මෙතැනදී අපට අනෙකුත් කාරණා කෙරෙහි ද අවධානය යොමු කිරීමට  සිදුවෙනවා. විශේෂයෙන්ම මෙම වසංගත සමයේ මිනිසාගේ මානසික සෞඛ්‍යය විශාල ලෙස පරිහානියට පත්වෙලා තිබෙනවා, මෙන්න මෙයට ආගමික කණ්ඩායම්, මනෝවිද්‍යාඥයන්, මනෝ චිකිත්සකවරුන් සම්බන්ධ වෙන්න ඕනේ මානසික සුවතාව නඟා සිටුවීම සඳහා. එය අත්‍යාවශ්‍යයි. එය නොමැති තැන අපේ සාමූහික සමාජ මනස ලෙඩ වෙන්න පුලුවන්. ඒක දැනටමත් සිද්ධ වෙලා ඉවරයි.

මේ වන විට යම් සමාජ අස්ථාවරභාවයක් ලෝකයේ හැමතැනකම මේ කොවිඩ් තත්ත්වයත් එක්ක උද්ගත වී තිබෙනවා. වර්තමාන ධනවාදී සමාජ ක්‍රමය තුළ දාර්ශනිකයන් ඉදිරිපත් කර තිබෙන මතයක් තමයි, මෙවැනි සමාජ ක්‍රමයක් තුළ අර්බුද ගොඩනැඟෙන බව, මේවා ගොඩනැගෙන්නේ මානවයාගේ තිබෙන ක්‍රියාකාරකම් නිසා.මේ තත්ත්වය අස්සේ අනාගතය ගැන අනාවැකි කීම නිෂ්ඵල දෙයක් වෙනවා.  ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා covid නිසා මිලියන පහකට රැකියා අහිමි වනවා කියා, මෙතැනදී කාගේ රැකියා අහිමිවේද යන්නේ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී සමාජ ස්ථරය තුළ පහළ ම පන්තියේ, එදිනෙදා වැටුප් ලබන, වතු ක්ෂේත්රයේ රැකියා කරන කණ්ඩායම්වල රැකියා අහිමි වීමේ වැඩි ප්‍රතිශතයක් පවතිනවා.

මේ තුළින් ඔවුන්ගේ පවුල් ජීවිතයටත් සමස්ත සමාජ සෞඛ්‍යයටත් විශාල බලපෑමක් සිදුකරනවා. කොවිඩ් 19 නිසා වැඩි පීඩනයක් ලැබෙන සමාජ කණ්ඩායම් සිටිනවා, එනම් කාන්තාවන් ළමයින් හා වතු සේවකයන්, ආබාධිත කණ්ඩායම් හා මහලු ප්‍රජාව. එමෙන්ම යුනිසෙෆ් ආයතනය පවසනවා මෙම වසංගත තත්වය නිසා ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය  තරමක් පරිහානියට පත්වෙන බව. ඒවගේම අප ළඟදී කරපු පරීක්ෂණයකින් ද හෙළිවුනා වතු ආශ්‍රිත පවුල්වල ගැහැණු ළමයි මෙම කාලය අධ්‍යාපනය ට අඩු අවධානයක් යොමු කර ඇති බව. මේ තුළින් පැහැදිලිව පෙනෙනවා covid නිසා ඇති නැති පරතරය ද පුළුල් වී තිබෙන බව. අනෙක් දේ මෙම වසංගතය අප ගෝලීය ලෙස දකින්න අවශ්‍යයි. මෙහිදී එක් එක් රටවල් මෙයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව අධ්‍යයනය කළ යුතුයි. දියුණු රටවල් කෙසේද මෙයට මුහුණ දෙන්නෙ, දියුණු වෙමින් පවතින රටවල් කෙසේද මෙයට මුහුණ දෙන්නේ කියා මේ තුළින් අපට යම්කිසි ආදර්ශයක් ලබා ගන්න පුලුවන්.

එමෙන් ම අධ්‍යාත්මික සෞඛ්‍ය ගැන කතා කිරීමේදී අධ්‍යාත්මික සෞඛ්‍ය මේ වන විට කඩා වැටී තිබෙනවා. එහිදී කාන්තා හිංසනය ඉහළ නැඟ ඇති ආකාරය දක්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ළමා අපචාර ද වැඩි වෙමින් පවතිනවා.  මේ නිසා අධ්‍යාත්මික සෞඛ්‍ය නගාසිටුවීම අනිවාර්යෙන් කළ යුතුයි. මෙම වසංගත තත්වය හමුවේ මිනිස් ක්‍රියාකාරකම් අසාමාන්‍ය වී තිබෙනවා එයට හේතුව ජීවන රටාව වෙනස්වීම. නව තත්ත්වය විසින් ඇතිකරලා තිබෙන මානසික පීඩනය හේතු වෙනවා මේ වෙනසට. මේ සඳහා තනි පුද්ගලයන්ට තනිවම ක්‍රියා කරන්න බැහැ මෙයට රටක් ලෙස නැගී සිට විසඳුම් සෙවිය යුතුයි.

Related posts