පාසැල් යළි ආරම්භ කිරීම යනු අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක්!

පාසැල් යළි ආරම්භ කිරීම යනු කොරෝනා රෝගයට අදාළව අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක් බව අප අමතක නොකළ යුතුය. දරුවන් පාසලට යාම ආරම්භ කිරීමත් සමගම, මෙතෙක් සමජය හා නොගැටුනු ඔවුන් සමාජය සමඟ එක්වීම සහ ඒ හරහා සමජයේ අංශ රාශියක් සක්‍රීයවේ.

එබැවින් අප සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දෙනු ලබන්නේ පසුගිය මාසය තුල අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය මගින් අප හෙළිදරව් කරගන්නා ලද තොරතුරු පිළිබඳව මීට වඩා විද්‍යාත්මක සලකා බැලීමක් සිදු කරන ලෙස ය.

බස්නාහිර පළාත් සභාවෙන් පිටවන මගින් පිළිබඳව සිදුකරන ලද අහඹු පරීක්ෂණ ක්‍රියාවලියේ දී 11000 ක පමණ පරීක්ෂණ සිදු කිරීමේදී සියයක පමණ ආසාදිතයන් හඳුනාගෙන ඇත. එය සංඛ්‍යාත්මකව අධ්‍යයනය කිරීමේදී දිනකට 200ක පමණ ආසාදිතයන් පිරිසක් බස්නාහිර පළාතෙන් පිට පළාත් සඳහා යොමු වන බව නිරීක්ෂණය කළ හැක.

එසේම පසුගිය මාසය තුල වරින් වර සිදු කරන ලද සෑම අහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් මගින්ම  ආසාදිත රෝගීන් අහඹු ලෙස හඳුනා ගැනීමේ හැකියාවක් පැවතිණි. එම දත්තයන්  සුපරීක්ෂාකාරීව විමසීමේදී, කිසිදු රෝග ලක්ෂණයක් නොමැති, රෝග පිළිබඳව කිසිදු අනුදැනුමක් නොමැති, රටේ පුරවැසියන්ට අහඹු ලෙස තැනින් තැන රෝගය පවතින බව තහවුරු වේ. මෙලෙස සංචරණය වන ආසාධිතයින් මගින්, දිවයින පුරා කොරෝනා පොකුණු ඇතිවීමේ ප්‍රවණතාවක් මතුවිය හැකි බැවින්, බස්නාහිර පළාතට වඩා පිට පළාත් සුරක්ෂිත බව පූර්ව නිගමනයකට ලක් කරමින් කටයුතු කිරීම අතිශය භයානකය.

එසේම, මේ මොහොත වන විට පාසලක ආරක්ෂාව සැපයීම පිළිබඳ වගකීම දැරිය හැකි වන්නේ ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ට සහ ගුරු මණ්ඩලයට බවද අප අමතක නොකළ යුතු අතර, රජය පාසල් ආරම්භ කිරීමේ තීන්දුවක් ලබාදුන් පමණින්, තම පාසලේ දරුවන්ගේ ආරක්ෂාව සපයා ගැනීමට එම පාසලේ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට නොහැකි බව හැඟෙන්නේ නම් ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කිරීමේ වගකීම අදාල ගුරු මණ්ඩලයට පැවරෙන බව අමතක නොකළ යුතුය.

රටේ පවතින සියළුම පාසැල් වල සෞඛ්‍ය තත්ත්වයන් පරික්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ධාරිතාවක් නොමැති බව යථාර්ථය වන බැවින්, සෞඛ්‍ය සේවාවට අදාල අධීකෂණය කර්තව්‍යන් ගුරුවරුන්ගේ කාර්‍ය යටතට පැවරීම නොවැලැක්විය හැකිය.

රටේ දෙමව්පියන් විසින් පාසලකට තම දරුවන් ඇතුළත් කරනු ලබන්නේ රජයේ හෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ වෙනත් පාර්ශවක් පිළිබදව ඇති විශ්වාසයට වඩා, ගුරුවරුන් සහ පාසල පිළිබඳ විශ්වාසය තබා ගැනීමෙන් බව අමතක නොකරමින්, ඒ පිළිබඳ ඇති හැකි නොහැකි බව පිළිබදව නිවැරදි තහවුරුවක්, ගුරුවරුන්ට හා පාසැල් පාලනාධිකාරයට තිබිය යුතුය.

එසේ නොමැති වන්නේ නම් අප පාසැල් ආරම්භ කිරීමේ තීරණය ක්‍රියාත්මක කරන්නට ගොස්, අනවශ්‍ය නිරාවරණයකට දරුවන් ඇද දමා, එහි වගකීම වෙනත් පාර්ශවයකට පැවරීමට උත්සාහ දරන කණ්ඩායමක් බවට පත් විය හැක.

Social Sharing
නවතම