මද්‍රසා පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රකාශය ආණ්ඩුවේ මතයද? ජිනවංශ හිමියන් විමසයි.

මද්‍රසා පාසල්වලට රටේ සෙසු රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල්වලට අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යපන අමාත්‍ය ජි.එල් පීරිස් මහතා පහුගියදා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියේ  ආණ්ඩුවේ මතයමද? යන්න හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති පුජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් උන් වහන්සේ මේ බව විමසා ඇත.

පාර්ලිමේන්තුවේ දි කාවින්ද ජයවර්ධන මන්ත්‍රිතුමා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, මද්‍රසා පාසල්වලට රටේ සෙසු රජයේ පාසල,පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල්වලට අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යපන අමාත්‍ය ජි.එල්. පීරිස් මහතා ප්‍රකශ කිරීම, වහාබ් ඉස්ලාම් අන්තවාදය මර්දනය කරන බවට පොරොන්දු වෙමින් බලය ලබාගත් ඔබතුමාගේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයාගේ  මතය ආණ්ඩුවේ මතය දැයි දැනගැනීමට කැමැති බව එම ලිපියෙන් විමසා ඇත.

1980 වනවිටත් ලංකාවේ ජීවත් වූයේ සූෆි ඉස්ලාමීය ඉගැන්වීම් පිළිපදින මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවක් වන නමුත් පසුකාලීනව ඔවුන් වහාබි මුස්ලිම් අන්තවාදයට කෙමෙන් කෙමෙන් බිලි වූ බව කවුරුත් දන්නා කරුණක් බවද පසුගිය දශක කිහිපය තුළ අරාබි මුල්‍ය ප්‍රතිපාදන ලැබී ලංකාව පුරා ව්‍යාප්ත වූ මද්‍රසා පාසල් හෙවත් ඉස්ලාම් මූලධර්මවාදී පාසල් ක්‍රමය ලංකා මුස්ලිම් ප්‍රජාව ඉස්ලාම් අන්තවාදයට බිලිවීමට ප්‍රධානතම හේතුවක් වු බවද එහි සඳහන් කර ඇත.

විශේෂයෙන් අරාබි – පකිස්තාන ආදී විදේශික ආගමික දේශකයින් බුරුතු පිටින් ලංකාවට පැමිණ අරාබි මද්‍රසා පාසල් වල අන්තවාදය ඉගැන්වු අතර  අන්තවාදය මුලින්ම බිලිගත්තේ දරුවන් බවත්  අද ඒ දරුවන්  තරුණයයන්, වැඩිහිටියන් බවද කියා ඇත.

අද වන විට මද්‍රසා පාසල් 1600 ක් පමණ රටපුරා පිහිටුවා තිබෙන අතර  මුස්ලිම් කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව අවසරය මත ස්ථාපිත වූ මෙම පාසල්වල මුස්ලිම් ෂරියා නීතිය, අරාබි බස සහ වහාබි ඉස්ලාම්  මූලධර්මවාදී චින්තනයන් ඉගැන්වෙන බවත්  පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අධ්‍යාපනය ලබා ඇත්තේ ද මෙම මද්‍රසා පාසල්වලින් බවද බුදුගල ජිනවංශ හිමියන් පවසයි. මද්‍රසා පාසල්වල දිනපතා කෙරෙන ඉගැන්වීම් රටේ පවතින පොදු අධ්‍යාපන ක්‍රමයට නොගැලෙපෙන අතර එයින් බිහිවන්නේ දැනුම-ආකල්ප-කුසලතා ඇති දරුවෙකු නොව හුදු අන්තවාදි ආගමික මත දරණ පුද්ගලයකකු බවද මෙම ලිපියෙන් පෙන්වා දි ඇත.

මේ හේතුවෙන් මද්‍රසා පාසල් තහනම් කිරීම හෝ ඒ කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කොට ඒවා මධ්‍යම රජයේ දැඩි නියාමනයකට හා නිරන්තර නිරීක්ෂනයන්ට ලක් කිරීම අනිවාර්යෙන් කළ යුතු කරුණක් වන  නමුත් එය ඔබතුමාගේ ආණ්ඩුව යටතේ සිදු නොවන බව ජී. ඇල් පීරිස් අධ්‍යාපන ඇමතිතුමාගේ උක්ත ප්‍රකාශයෙන් පෙනී යන බවද  පවසා ඇත.

ජනාධිපතිවරණයේදි  බහුතර සිංහල ජන්දය භාවිතා කළ ජනාධිපතිවරයා  ඉස්ලාම් අන්තවාදය මැඩලීමට පියවර ගනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් බවද එමෙන්ම උඩරට, තේසවලාමේ, මුස්ලිම් ආදී පුද්ගල නීති අහෝසි කොට එක රටක් – එක නීතියක් ස්ථාපිත කරනු ඇතැයි අපේක්ෂාවෙන් බවද  නමුත් මේ සියල්ල දැන් වචන මාත්‍රයක් පමක් බවට පෙනෙන්නට ඇති නිසා මේ තත්ත්වය පිළිබදව ආණ්ඩුවේ ස්ථාවරය හැකි ඉක්මණින් ප්‍රකාශයට පත්කරන ලෙස වැඩිදුරටත් එම ලිපියෙන් ඉල්ලා ඇත.

Social Sharing
නවතම