පරිසරය ගැන නොතකා පටන්ගත්ත ව්‍යාපෘති රටට බරක් වෙලා – පරිසරවේදී සජීව චාමිකර

Environmentalist Sajeewa Chamikara Environmental destruction in Sri Lanka

වන සංරක්ෂණයේ වර්තමාන තත්ත්වය මොකක්ද?

පළවෙනිම දේ තමයි අද වන විට ලංකාවේ වනාන්තර එහෙම නැත්නම් වනාන්තර එක්ක බැඳිලා තියෙන භූමිය, ඒ වගේම වනාන්තර පරිසර පද්ධති, මේ සියලුම දේවල් වෙළඳපොළ යාන්ත්‍රණය ට ලක් කිරීම සඳහා තමයි මේ වන විට හැම සැලසුමක් ම සකස් කරමින් පවතින්නේ.

මොකද අපි දන්නවා පහුගිය කාලේ පුරාම විවිධ ආකාරයේ බාහිරින් පැමිණෙන බලවේගවල ප්‍රතිඵලයක් විදිහට මේ ක්‍රියාවලිය බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ක්‍රියාත්මක කිරීම සඳහා ලොකු උත්සාහයක් ගනිමින් පවතිනවා.

අපි දන්නවා 1996 දී පළමුවෙන් ආපු සැලසුම තමයි (ලෝක බැංකුව මගින් ඉදිරිපත් වූ වාර්තාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා) අපේ රටේ සුළු පරිමාණ කෘෂි කර්මාන්තය කියන එක ඉතාම අවාසි සහගතයි, ඒ හින්ද මේ සුළු පරිමාණ කෘෂිකර්මාන්තය වෙනුවට මහා පරිමාණ වාණිජ කෘෂිකර්මාන්තයට පිවිසෙන්න ඕනෑ, එහෙම පිවිසුණාම තමයි අපිට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් භාවයක් ඇති කර ගන්න හැකියාව ලැබෙන්නේ කියලා.

දැන් එතකොට ඒ ක්‍රියාවලියට යන්න නම් අපේ රටේ තියෙන වනාන්තර ඇතුළු ව මේ පරිසර පද්ධතිය මේ ක්‍රියාවලියට නතු කරන්න හැකියාව තියෙන්න ඕනෑ. ඉතින් මේ සඳහා ඉඩම් නීති රීති වගේම පාරිසරික අණ පනත් සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය තමයි මේ සිදු කරමින් යන්නේ. එහි මෑතම උදාහරණය තමයි 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීම.

අද වනවිට ලංකාවේ වනාන්තර පරිසර පද්ධතියට ඇතිවෙලා තියෙන අභියෝගය මොන ආකාරයක එකක්ද?

ලංකාවේ අද වන විට ඉතුරු වෙලා තියෙන ස්වභාවික වනාන්තර ආවරණය 17%ක් දක්වා ඉතාම පහළ මට්ටමකට පරිවර්තනය වෙලා තියෙන්නේ.

මොකද පසුගිය කාල වකවානුව පුරාම මහා පරිමානයෙන් වනාන්තර පරිසර පද්ධති එළිපෙහෙළි කරමින් අක්‍රමවත් සංවර්ධන ව්‍යාපෘති ඒ වගේම වාණිජ වගාවන් සඳහා භාවිතා කිරීම් ඇතුළු ක්‍රියාවලීන්ට නතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට මෙම ස්වභාවික වනාන්තර අනාවරණය මේ විදිහට ශීඝ්‍රයෙන් පහළ බැසීමට ලක් වෙලා තියෙනවා.

මේ ඉතුරු වනාන්තර ටික තමයි අද වන විට තවදුරටත් විවිධ ආයෝජන ක්‍රියාවලින්ට නතුකරන්න උත්සාහ ගනිමින් තියෙන්නේ. ඒ සඳහා පාරිසරික අණ පනත් සංශෝධනය කරනවා. ඒ විතරක් නෙමෙයි ඉඩම් පනත් සංශෝධනය කරන්න, ඊට අමතරව මේ ඉඩම් භාවිතා කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරන්න නැත්තම් බහුජාතික සමාගම් හෝ වෙනත් මහා පරිමාණ සමාගම්වලට එම ඉඩම් පවරන්න ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීතිමය රාමුව සීග්‍රයෙන් සකස් කරගනිමින් පවතිනවා.

ඒ හේතුවෙන් අද වන විට ලංකාවේ වනාන්තර පරිසර පද්ධති දැඩි අභියෝගයකට ලක් වෙලා තියෙනවා.

මීළඟට අපි අවධානය යොමු කළොත් රජය මේ සම්බන්ධයෙන් අණ පනත් කෙටුම්පත් සකස් කරමින් ඉන්නවා කියන කාරණය පිළිබඳව..

මෙම වනාන්තර මේ ආකාරයට විවිධ ආයෝජන ක්‍රියාවලීන්ට නතු කරන්න අද වන විට රජය පැත්තෙන් ක්‍රියාත්මක වන ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයන් කිහිපයක් තියෙනවා. එකක් තමයි “ඉඩම් බැංකු පනත” නමින් නව පනතක් ගෙනල්ල ඉඩම් බැංකුවක් මගින් ඉඩම් කොමිෂන් සභාවට අයිති සියලුම වනාන්තර ඇතුළු අනෙකුත් භූමි ප්‍රදේශ සියල්ල ආයෝජන ක්‍රියාවලීන්ට නතුකරන්න උත්සාහ දැරුවා.

මොකද අපි දන්නවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති විශාල වනාන්තර ඉඩම් ප්‍රමාණයක් තියනවා. ඉතින් මේ ප්‍රමාණය පහසුවෙන් අත්පත් කර ගැනීමට පහුගිය කාලේ පුරාම පිඹුරුපත් සැකසුවා.

මීට අමතරව අද වන විට ක්‍රියාත්මක තවත් සැලසුමක් තියෙනවා, ඒ තමයි 5/ 2001 කියන චක්‍රලේඛය සංශෝධනය කරලා 2001 අවුරුද්දේ දී ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් සතුව තිබූ රජයට අයිති සියලුම වනාන්තර ඉඩම් වන සංරක්ෂණ ආඥාපනතේ 20 වගන්තිය යටතට පත් කරපු එක ආපස්සට හරවලා තිබෙනවා.

මේ ඉඩම් කියන්නේ එක් පැත්තකින් රක්ෂිත වනාන්තර, වනාන්තර අතර සම්බන්ධතාවයක් ඇති කරන වනාන්තර, ඒ වගේම අලිමංකඩවල්, ඒ වගේම ජල පෝෂක ප්‍රදේශ, වැව් සහ ජලාශ වල දිය පහරවල්, වෙරලබඩ පිහිටා තියෙන කඩොලාන පරිසර පද්ධති, මේ සියලුම දේවල් ආවරණය වන විදියට තමයි 5/ 2001 චක්‍රලේඛය ක්‍රියාත්මක වුණේ.

දැන් මේ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරලා වැරදි ආයෝජන ක්‍රියාවලීන්වලට වැරදි සංවර්ධනය ක්‍රියාවලීන් වලට යොමු කිරීම සඳහා සැලසුම් සකස් වෙනවා. එතකොට එක පැත්තකින් රාජ්‍ය ඉඩම් බැංකු පනත අනෙක් පැත්තෙන් 5/ 2001 චක්‍රලේඛය අහෝසි කිරීම

අද වන විට සංවර්ධනය කියන එක අපිට අතාරින්න බැරි, අමතක කරන්න බැරි කාරණයක්. අනිත් පැත්තෙන් ගෝලීය උණුසුම ඉහළ යාම. සංවර්ධනය පවත්වාගනිමින් ගෝලීය උනුසුම අඩු කරගන්න කටයුතු කරන්නේ කොහොමද?

තිරසර සංවර්ධනය කියන සංකල්පය 1992 දී විතර ලෝකය පුරාම කතිකාවතකට ලක් වෙච්ච දෙයක්. මේ සංකල්පය මතුවෙන්න ප්‍රධාන වශයෙන්ම බලපෑවේ සංවර්ධනය සහ ස්වභාවික සම්පත් සංරක්ෂණය කියන එක, එකිනෙකට වියුක්ත වෙච්ච සාධක විදියට තමයි පහුගිය ඉතිහාසය පුරාම ක්‍රියාත්මක වීම.

එතකොට මේ සාධක දෙක එකිනෙකට අතිපිහිත කිරීමේ ක්‍රියාවලිය තමයි තිරසර සංවර්ධනය එහෙම නැත්නම් යථාර්ථවාදී සංවර්ධනය

හරහා ක්‍රියාත්මක කරන්න උත්සාහ දරන්නේ. මොකද පහුගිය ඉතිහාසයේ පුරා ලෝකයේ බොහෝ දියුණුව අත්පත් කරගත් රටවල අපිට දකින්න ලැබුණේ හුදු භෞතික සංවර්ධනයක් එහෙම නැත්නම් වැරදි සංවර්ධනයක් අත්පත් කරගන්න ගිහිල්ලා පරිසරය දැවැන්ත බිඳවැටීමකට ලක් වීම.

ඉතින් නැවත එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න, අනික් රටවල පූර්වාදර්ශයක් අරගන්න අවශ්‍ය කරන පසුබිම ගොඩනගන්න තමයි මේ තිරසර සංවර්ධනය එහෙම නැත්තං යථාර්ථවාදී සංවර්ධනය කියන න්‍යාය ලෝකය තුළ සාකච්ඡාවට ලක් කළේ. ඉතිං එතකොට දැන් අපේ රටේත් අපි මේ සංවර්ධනය අත්පත් කරගන්න ඕනෑ. තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද සංරක්ෂනය සහ සංවර්ධනය කියලා කියන්නේ එකිනෙක වියුක්ත වෙච්ච සාධක නො විය යුතු යි.

අද වෙනවිට අපිත් ක්‍රියාත්මක වෙන්නේ මේවා වියුක්ත සාධක විදියට සලකා. ඒකට හේතුව තමයි අපි සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කරන්නේ එක්කෝ ආණ්ඩු බලය හොබවන කණ්ඩායම් වල අභිමතය පරිදි, එහෙම නැත්නම් ජනාධිපතිවරයෙක් හෝ යම්කිසි පුද්ගල කණ්ඩායමකට අවශ්‍ය පරිදි.

නමුත් රටක සංවර්ධන සැලසුම් සකස් වෙන්න ඕනෑ රටේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය මත. ඒ ආර්ථික සංවර්ධන උපාය මාර්ග මත ස්වභාවික සම්පත්, මානව සම්පත් කළමනාකරණයට ලක් වෙන්න ඕනෑ. මේ ක්‍රියාවලිය මත තමයි ඒ සඳහා අවශ්‍ය කරන භෞතික ගොඩනැගීම සිද්ධ වෙන්න ඕනෑ.

ඒ මත තමයි යථාර්ථවාද සංවර්ධනයක් අත්පත් කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ. එහෙම නැත්නම් හැම වෙලාවෙම අපි අපිට අවශ්‍ය පරිදි අපිට දැනෙන පරිදි සංවර්ධනය ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා, එහෙම නැත්තං ණය ආධාර ලබා ගැනීමේ අභිමතාර්ථ මත පමණක් සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ගියොත්, හැම වෙලාවෙම වෙන්නේ බිඳවැටීමක්.

මොකද අපට පහුගිය කාලය පුරාම දකින්නට ලැබුණේ මේ නිවැරදි ආර්ථික සංවර්ධන උපාය මාර්ගයකින් තොරව සිද්ධ වෙන භෞතික ගොඩනැගීම් මත සිද්දවෙන සංවර්ධන ව්‍යාපෘති. ඒ සියල්ලම අද වන විට සම්පූර්ණයෙන් බිඳ වැටිලා තියෙනවා. අපිට උමා ඔය හොඳ උදාහරණයක්, මොකද උමාඔය අද වන විට පවුල් ගණනාවක් අවතැන් කරලා තියෙනවා. රටට බරක් වෙලා තියෙනවා.

මාගම්පුර වරාය මොන තරම් බරක් ද කියලා කියනවා නම්, අපි එය චීන සමාගමකට අනූ නව අවුරුදු බදු දෙන්න සිද්ධවෙලා තියෙනවා. ඊළඟට මත්තල ගුවන්තොටුපල අද වන විට ඉන්දියානු සමාගමකට බදු දෙන්න වෙලා තියෙනවා. ඊට අමතරව පෝට් සිටි ව්‍යාපෘතිය හරහා ගොඩ නගපු දේවල් ස්ථාවරව තබා ගන්න අපිට අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කරන්න තියෙන මුදල් 2017 දී රුපියල් මිලියන එක්දහස් හත්සිය හතළිහක් වැය කළා.

ඊට අමතරව මේ අවුරුද්දේ මුල් කාලයේදී රුපියල් මිලියන අටසිය අසූ නමයක් වැය කරා මේ වෙරළ කලාපයේ ස්ථාවරව තියාගන්න. මේ පෝට් සිටි ව්‍යාපෘතියේ තියෙන දැවැන්ත ඛාදනය වලක්වන්න. එතකොට මේ වගේ ක්‍රියාවලීන්ගෙන් තොරව යථාර්ථවාදී සංවර්ධන මාවතකට පිවිසීම තමයි අවශ්‍ය වෙන්නේ. එතනදී සංවර්ධනය සහ සංරක්ෂණය කියන එක එකිනෙකට අතිපිහිත වෙච්ච ක්‍රියාවලියක් බවට පරිවර්තනය කිරීම තමයි වැදගත්.

කේ. සංජීව

Related posts