“ශානිට, සහරාන්ගේ බිරිඳට කොවිඩ්” බන්ධනාගාර කොවිඩ් පොකුර ගැන අවදියෙන් සිටිමු.

මේ වන විට කොවිඩ් වෛරසය සමාජයේ අතිශයින් අවදානම් ක්ෂේත්‍රයන්ට පැතිරී ඇති බව නොරහසක්. ඇගළුම් කම්හල්, කොළඹ ජනඝනත්වය අතිශයින් ඉහළ මහල් නිවාස, පොලීසිය හා බන්ධනාගාර යන අතිශයින් අවදානම්කාරී ක්ෂේත්‍රයන් වෙත මේ වන විටත් වෛරසය ඇතුල් වී අවසන්. රජය මෙම තත්වය පාලනය කිරීමට දැඩි උත්සහයක් දැරුවද මෙම වෛරසයට ආවේණික ලක්ෂණ නිසාත් ඇතැම් දුර්වලතා හේතුවෙන්ද එය පසුගිය වතාවේ මෙන් පාලනය කිරීම මේ වන විට අසීරු තත්වයකට පත් වී තිබේ.

ජනමාධ්‍යවල මෙන්ම පොදු සමාජයේත් මේ වන විට ඉහත කී අවදානම් ක්ෂේත්‍රයන් අතරින් ඇගළුම් කම්හල්, මහල් නිවාස, හා පොලීසිය යන අංශ කෙරෙහි අවධානය යොමු වී තිබුණත් බන්ධනාගාර කොවිඩ් පොකුර සම්බන්ධයෙන් අවධානය යොමුවීම අවම මට්ටමක පවතින බව පෙනේ.

සිරකරුවන් හා රිමාන්ඩ් බන්ධනාගාරගත වන්නන් පිළිබඳ ලංකාවේ පොදු සමාජය තුළ ඇති කර ඇති මනේභාවයන් මේ තත්වයට හේතු වී ඇති බවට සැක නැත. සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් ලොකු අකුරින් සටහන්ව තිබුණද සිරකරු සුභසාධනය හා බන්ධනාගාරයන්හි තත්වය සම්බන්ධයෙන් ලංකාව සිටින්නේ බොහෝ පහළ මට්ටමකය. බන්ධනාගාරයන්හි රැඳවිය හැකි ප්‍රමාණයට දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට බන්ධනාගාර ගත ව සිටී. (https://www.prisonstudies.org/country/sri-lanka )

බන්ධනාගාරගත වූවන්ට ආණ්ඩුවෙන් ආහාර ලබා දීමත් පාඩුවක් බවයි ආගම හිස මුදුනින් තබා ගෙන කටයුතු කරන ලංකාවේ පොදු සමාජයේ බහුතර මතය.  එසේ වුවත් ශිෂ්ඨ ලෝකයේ බන්ධනාගාරයන් පවත්වා ගෙන යායුතු ප්‍රමිතීන් පවතින අතර බන්ධනාගාරය තුළ සිදු කෙරෙන එක් වැදගත් කටයුත්තක් ලෙස පුනුරුත්ථාපනය ඔවුන් සලකයි.

අනෙක් කරුණ නම් ලංකාවේ බන්ධනාගාරගත වූවන්ගෙන් 60%ක් පමණ රිමාන්ඩ් බන්ධනාගාරගත වූවන්. 2018.12.31 වන විට පැවැති සංඛ්‍යාලේඛන අනුව එම ප්‍රමාණය 60.2%ක්.(https://www.prisonstudies.org/country/sri-lanka) මේ අධිකරණයකින් මෙතෙක් වැරදිකරුවන් නොවී රිමාන්ඩ් භාරයේ සිටින්නන්.

බන්ධනාගාර ගත වූවන්ට කොවිඩ් හැදුණත් වගේ වගක් නැතිව සිටින ජනයාට එක් වරම විදුලි සැර වැදීමක් සිදු වුනේ හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශානි අබේසේකර මහතාට හා ඊට පෙර පාස්කු ප්‍රහාරය මෙහෙය වූවා යැයි කියන සහරාන් හෂීම්ගේ බිරිදට කොවිඩ් වැළදීමත් සමගය. සහරාන්ගේ බිරිඳ කෙසේ වෙතත්, ශානි අබේසේකරට කොවිඩ් වැළඳීම පිළිබඳව යම් කසුකුසුවක් මේ වන විටත් නිර්මාණය වී අවසන්. මේ වනවිට ශානි අබේසේකර මහතාගේ තත්වය  සුරක්ෂිත කිරීමට මාර්ගගත (online) පෙත්සමක්ද අත්සන් කරමින් පවතියි. එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරියක් වන රමණි මුත්තෙට්ටුවේගම මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරනු ලැබුවේ ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව පිළීබඳ වහා සැලකිලිමත් වන ලෙසත් ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත්ය. වැඩිදුරටත් එකී ලිපියේ දක්වන්නේ ශානි අබේසේකර මහතාට වෛරසය ආසාදනය වී ඇත්නම් ඔහුව ළගම පිහිටි ඒ සම්බන්ධයෙන් වූ රෝහලට ඇතුල් කරන ලෙසයි. ( https://www.aithiya.lk/shani-abeysekara-former-director-of-criminal-investigation-departmen/ )

හිටපු නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා ශ්‍රී ලංකා පොලීසිය බිහි කල විශිෂ්ට අපරාධ පරීක්ෂකයකු බව ඔහු විසින් සිදු කරන ලද අපාරාධ විමර්ශන ගොන්න දෙස බැලූ විටම පෙනේ. ඉතාම සුවිශේෂී අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් ඔහු විශිෂ්ටයකු වන අතර ඔහුට ජීවිත තර්ජන පවා පැවැති අයෙකි. පසුගිය රජය සමයේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් පුටුවේ සිටිමින් ඊට පෙර පැවැති රාජපක්ෂ රජය සමයේ සිදු වූ ආන්දෝලාත්මක අපරාධ රැසක් සම්බන්ධව පරීක්ෂන මෙහෙය වීමට දායක විය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව හැර අනෙක් නඩු බොහොමයක් මේ වන විටත් තවමත් විභාග වෙමින් පවතින නඩුය. දේශපාලකයන්ට අතිශයින් වැදගත් මෙම නඩුකටයුතු වලට අමතරව ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂකයකු ලෙස සිදු කල පරීක්ෂණයන්ට අදාළ නඩු ගණනාවක් මේ වන විටත් විභාග වෙමින් පවතී. දැන් කොවිඩ් නිසා බලපෑම එල්ල වී ඇත්තේ ශානි අබේසේකර නම් හිටපු පොලිස් ප්‍රධානියාට වඩා තමන්ගේ විමර්ශනයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රධාන සාක්ෂිකරුවකුටය.

රටේ නීතිය පාලනය සුරැකීමටනම් ගරු ජනාධිපතිතුමා පවසන පරිදි එක රටක් එක නීතියක් ගොඩ නැගීමට නම් මේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති ශානි ආරක්ෂා විය යුතුය. ඔහුගේ ජීවිතයට යම් අනතුරක් වුවහොත් යටපත් වන්නේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන සාක්ෂිය.

සහරාන්ගේ බිරිඳ ගේ තත්වයද මීට සමානය. සහරාන්ගේ බිරිඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇයට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට නිවේදනය විය. අද වන විට බොහෝ අයට අමතක බිහිසුණු පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම පිටුපස සිටින දැවැන්තයන් අදටත් සොයා ගැනීමට අපහසු වී ඇත. එය සොයා ගැනීමට අපට ඇති හොඳම සාක්ෂිකාරිය සහරාන්ගේ බිරිඳය. කොවිඩ් වැළඳීමෙන් අනාරක්ෂිත වී ඇත්තේ පාස්කු ප්‍රහාරයේ අහිංසක වින්දිතයන්ට යුක්තිය ඉටු වන ක්‍රියාවලියක ප්‍රධාන සාක්ෂිකරුවෙකි.

අනෙකුත් රක්ෂිත බන්ධනාගාරගත වූවන් ද මේ සා විසාල වැදගත් කමක් ඇති පිරිසකි. රක්ෂිත බන්ධනාගාරගත වූවන් යනු නඩු කටයුත්තක ප්‍රධාන පුද්ගලයෙකි. විශේෂයෙන් ඔවුන් යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය පුද්ගලයන්ය.

පසුගිය දිනක සිදු වූ මාකඳුරේ මදූෂ්ගේ සිදුවීමට එරෙහිව යම් ආකාරයක සමාජ විරෝධයක් එල්ල වූයේ මදූෂ් ඔහු විසින් සිදු කරන ලද අපරාධයන් ගණනාවක මහමොළකරුවන් හෙළි කිරීමට නියමිත බවට මදූෂ්ගේ ඝාතනයට පෙර යම් මාධ්‍ය වාර්තා පළ වී තිබීම නිසාය. මදූශ්ගේ ඝාතකයන් අදටත් නොමැත. මහමොළකරුවන් නිදැල්ලේය. මේ වන විටත් අධිකරණය හමුවේ විභාග වන නඩුවකි වැලිකඩ සිරකරු ඝාතන නඩුව. නඩු කටයුත්තක් පවතින බැවින් එය මතක් කරමින් කිසිවක් නොකියා සිටිමි.

කොවිඩ් වෛරසය බන්ධනාගාරයකට ඇතුළු වූයේ යැයි ඇති වුනු රාවයක් හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරය තුළ ඇතිවූ සිරකරු නොසන්සුන්තාවය මර්ධනය කලේ සිරකරුවන්ට වෙඩි තබමින්ය. ඉන් දෙදෙනෙක් මිය යන ලදී. ( https://www.newsfirst.lk/2020/03/22/update-shooting-at-anuradhapura-prison-2-dead-6-hospitalized/ ) වර්තමානයේ බන්ධානාගාරයන් තුළට කොවිඩ් වෛරසය ඇතුල් වී ඇති බවට තහවුරු වී ඇති තත්වය තුළ ආතති තත්වයන් බන්ධනාගාරයන්හි නිර්මාණය වනු ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සාමාජික නිතිඥ සේනක පෙරේරා මහතා පවසයි. රජය විසින් ඉක්මන් පියවර නොගතහොත් වැලිකඩ බන්ධානාගාරයේ තත්වය ඉතාමත් නරක අතට හැරෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි. ( https://economynext.com/inmates-in-crowded-welikada-jail-living-in-fear-after-several-are-diagnosed-with-covid-19-75643/ ) අතිශයින්ම වැදගත් නඩු කටයුතු ගණනාවකත්, එකිනෙකට සම්බන්ධිත නඩු කටයුතු ගණනාවකත් චූදිතයන් මෙන්ම සාක්ෂිකරුවන් අතිවිශාල ප්‍රමාණයක් සිටින බන්ධනාගාරයන් තුළ කොවිඩ් වෛරසය හේතුකොටගෙන අනාරක්ෂීත තත්වයක් ඉස්මතු වීම නීතියේ පාලනය සම්බන්ධව බරපතළ කාරණාවකි.

ශානි හා සහරාන්ගේ බිරිඳ ඇතුළු සියළු ආකාරයේ බන්ධනාගාරගතවූවන්ගේ වගකීම ඇත්තේ රජයටය. සිරකරුවන්ගේ ආරක්ෂාව, සුබසාධනය හා පුනුරුත්ථාපනය ශිෂ්ටත්වයේ සංකේතයකි. ශානි හා සහරාන්ගේ බිරිඳ ඇතුළු බන්ධනාගාරගතවූවන් සියළු දෙනා ආරක්ෂා කිරීම යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් අතිශයින් වැදගත්ය. අධික තදබදයක් සහිත බන්ධනාගාරයන්හි කොවිඩ් වෛරසයේ ඉක්මන් ව්‍යාප්තිය නොවැළැක්විය හැකි තත්වයක් වන අතර වෛරසය බන්ධනාගාර තුළට ඇතුළු වී තිබියදීත් රටේ මෑත යුගයේ සිදුවූ බිහිසුණුම අපරාධයක් වන පාස්කු ප්‍රහාරයේ ප්‍රධානතම සාක්ෂිකරුවකු වන සහරාන්ගේ බිරිඳව එකී වෛරසයෙන් ආරක්ෂා කිරීමට නොහැකි වීම පිළිබඳව පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමේ සටන් පාඨය සහිතව බලයට පැමිණි රජය ලැජ්ජාවට පත් විය යුතු කරුණකි. ශානි සම්බන්ධයෙන්ද තත්වය එසේමය. රටේ සිදුවුනු බරපතළ අපරාධ ගණනාවක ප්‍රධාන පරීක්ෂකයා මෙන්ම සාක්ෂිකරුවාද වන ශානි අබේසේකර මහතාව වෛරසෙයෙන් ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.

මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වී සිර දඩුවම් විඳින දුමින්ද සිල්වා, මේ වන විටත් පාර්ලිමේන්තුවට පැමිණෙන ප්‍රේමලාල් ජයසේකර, තංගල්ල නගරාධිපති සම්පත් චන්ද්‍රපුෂ්ප වැනි සුවිශේෂී අපරාධකරුවන් ආරක්ෂා කර ගැනීමට රජයට හැකි වෙද්දී සහරාන්ගේ බිරිඳ හා ශානි අබේසේකර රැක ගැනීමට නොහැකි වීමයි කණගාටුව.

මොවුන් දෙදෙනා පමණක් නොව රටේ සිදුවුනු අපරාධයන් සම්බන්ධ චූදිතයන් මෙන්ම සාක්ෂිකරුවන්ද වන බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව සහතික කිරීම ශිෂ්ට රජයක වගකීමකි. ඒ පිළිබඳව නිරෝගී මනසකින් අවදියෙන් සිටීම ශිෂ්ට පුරවැසියන්ගේ වගකීමකි.

“ශානිට, සහරාන්ගේ බිරිඳට කොවිඩ්” බන්ධනාගාර කොවිඩ් පොකුර ගැන අවදියෙන් සිටිමු.

– නීතිඥ දුලාන් දසනායක

Social Sharing
නවතම විශේෂාංග