“ජාත්‍යන්තරයේදී තම රටට එරෙහිව කථා කරන්න එපා!” විදේශ ඇමති විපක්ෂයෙන් ඉල්ලයි.

වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ඕනෑම ආර්ථික ප්‍රතිපත්තියක් විවේචනය කිරීමේ හැකියාව විපක්ෂයට තිබෙන නමුත් විශේෂයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ගනුදෙනු කිරීමේ දී තම රටට විරුද්ධව කතා නොකරන ලෙසත් සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.

රටක විදේශ ප්‍රතිපත්තියක් යනු ජාත්‍යන්තර ලෝකයේ රටවල් සියල්ල සමඟ කටයුතු කිරීම, ගනුදෙනු කිරීම මෙන්ම රට තුළ ක්‍රියාමාර්ගය පිළිබඳව ඇති කරන විශ්වාසයක් මෙන්ම මෙරට අනාගත සංවර්ධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග සිද්ධාන්ත ගත ප්‍රතිපත්තිය බවත්, එබැවින් ජාත්‍යන්තරය ඉදිරියේදී කටයුතු කිරිමේදී අනෙකුත් රටවල් විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව කටයුතු කරන ආකාරයේ දේශපාලනමය ස්වරුපයෙන් කටයුතු කරන ලෙස විදේශ අමාත්‍යවරයා විපක්ෂයෙන් විශේෂයෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම, පක්ෂ අතර කොතෙක් මතභේද තිබුණ ද ජාත්‍යන්තරව කටයුතු කිරීමේ දී පක්ෂ හා විපක්ෂ එක මතයක සිට කටයුතු කිරීම මාතෘභුමියේ යහපත උදෙසා කටයුතු කිරීමේ දී වඩා වැදගත් වන බවත්, එලෙසින්ම අසල්වැසි රටවල් ඔවුනොවුන් අතර කුමන ප්‍රතිවිරෝධී මතිමතාන්තර ඔවුන්ගේ පාර්ලිමේන්තුවල තිබුණ ද ඔවුන් ජාත්‍යන්තරව කටයුතු කිරීමේ දී එක රටක් ලෙස එක්ව කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට උද්ගතව පවතින කොවිඩ් වසංගතය හමුවේ එය වැළක්වීමට ගෙන තිබෙන ක්‍රියාපටිපාටිය උතුරේ සිට දකුණට සියලු දෙනා වෙතම එක ලෙස කටයුතු කිරීමත්, එවන් තත්ත්වයක් හමුවේ පවතින ආර්ථික හා ජාත්‍යන්තර අපහසු තත්ත්වය තුළ වුවද යම් යම් සංවර්ධන කටයුතු මෙරට තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, කලාපීයව හා ප්‍රාදේශීකව බෙදීම් ඇති කරන ක්‍රියාමාර්ග කිසි විටෙක ගෙන නොමැති බවත් ඒ මහතා එහිදී  වැඩිදුරටත් කියා ඇත.

Social Sharing
නවතම