ජනාධිපතිගේ “අපි ණය උගුලක අහු වෙලා නෑ” කියලා කියපු වචනේ අපට විශ්වාසයි – බද්දේගම සමිත හිමි

Baddegama Samitha Thero MCC

අපි දැක්කා පහුගිය දවසක ඔබ වහන්සේ තනිවම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ලංකා සංචාරයට විරෝධය දක්වා උද්ඝෝෂණයක නිරතවෙනවා. ඔබ වහන්සේ ආණ්ඩු පක්ෂය තමයි නියෝජනය කරන්නේ ඇයි ආණ්ඩුවට තමන්ගේ විරෝධය කෙළින්ම නොදක්වා මෙහෙම විරෝධයක් දැක්වූවේ?

මේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ පිරිස් රැස් කිරීම සුබදායක නොවන නමුත් විරෝධතාවයක් නොදක්වා සිටීම අපගේ හෘද සාක්ෂියට එකඟ නොවන නිසා තනියෙන් හෝ සංකේතාත්මකව විරෝධය පෑ යුතුයි කියලා මම විශ්වාස කළා.

ඒ වගේම රජයේ පාර්ශවයේ පාර්ශවකරුවෙකු වුනත් අපේ අරමුණ වෙන්නේ අපේ රටේ ස්වෛරීභාවය, අපේ රටේ ජනතාවගේ නිදහස, අපේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම. එතකොට මේ ඇමරිකන් විදේශ ඇමැතිවරයා නැතිනම් රාජ්‍ය ලේකම්වරයා ගේ පැමිණීම ඉබේ සිදු වූ දෙයක් නෙවෙයි.

ඒක හිතා මතා කල්වේලා ඇතිව සංවිධානය සිදු වූ දෙයක්. මැතිවරණය කට ළඟ තියෙද්දී විදේශ ඇමතිවරයා ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා මේ විදිය ආසියානු චාරිකාවක් හදිසියේම සිද්ධ කළේ යම් අරමුණක් ඇතිව. නිකම් කතාබහ කරලා සුව දුක් බලලා යන්න ආවා නෙවෙයි.

මෙම සංචාරයේ ප්‍රධානම අරමුණ වෙන්නේ චීන විරෝධී කඳවුරක් නිර්මාණය කර ගැනීම. එතකොට චීන විරෝධී කඳවුරක් ඇති කරගැනීමට ඔවුන් දරන උත්සාහයේදී අපේ රට කිසිවෙකුගේ අතකොලුවක් බවට පත් නොවිය යුතුය, අපි නොබැඳි පිළිවෙතක සිටිය යුතුය කියන එක තමයි අපේ මතය.

ඒක අපි දීර්ඝ කාලයක් තිස්සේ විස්වාස කරන දෙයක්. ඒ අනුව චීනයට හෝ ඇමෙරිකාවට හෝ අනවශ්‍ය බැඳීමකට නොයා යුතුයි කියන කාරණාව පිළිගන්නා කෙනෙක් හැටියට මං විශ්වාස කරනවා අපි පත්කරපු රජයට සහයෝගය දෙන්න තමයි අපි මේ කාරණාව අරමුණු කරගෙන විරෝධය පෑම තුළින් අපි ආණ්ඩුවට බල කරන්නේ.

ඒ වගේම MCC, SOFA වැනි ගිවිසුම් අත්සන් කිරීමට කිසිසේත් එකඟ නොවිය යුතුයි කියන පණිවිඩය තමයි අපි අණ්ඩුවට දෙන්නේ. රජයටයි ඇමරිකානු රටටයි අපිට දෙන්න ඕනෑකම තිබුණේ ඒ පණිවිඩය. ඉතින් එතනදි අපි විශේෂයෙන්ම කල්පනා කරන්නේ MCC වගේ ගිවිසුමක් වැරදිලාවත් අත්සන් කරොත් අපේ රට අනිවාර්යෙන් බෙදෙනවා.

ඇමෙරිකානු කොරිඩෝව හරියටම අපේ රට දෙකඩ වෙන විදියට තමයි යන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ කලාපය තුළ තියෙන සියලු ඉඩම්, පුද්ගලික ඉඩම්, රජයේ ඉඩම්, වනසංරක්ෂණ ඉඩම් මේ සියල්ලේම බලය ඒ ඇමෙරිකානු කොරිඩෝව සතු වෙනවා. MCC සමාගම අනිවාර්යෙන්ම එහි බාරකාරයා බවට පත්වෙනවා, අයිතිකාරයා බවට පත්වෙනවා.

මේ ප්‍රදේශවල ජනතාව සතු පාරම්පරික ඉඩම් හෝ බලපත්‍ර සහිත ඉඩම් වලට මේ ගිවිසුමේ කොටසක් හැටියට නිරවුල් ඔප්පු හිමිවෙනවා. එතකොට  මේ අයට ඔප්පු ලබා දුන් වහාම ජනතාව කරන දේ තමයි ඒ ඉඩම් කාට හරි විකුණනවා.

ඒවා කාට හරි විකුණන්න හම්බවෙන්නෙ නෑ MCC ගිවිසුම ප්‍රකාරව ඒවාට වැඩි මිලක් ගෙවන්නේ MCC සමාගම. එතකොට ඒ අයට අනිවාර්යෙන්ම මේ පුද්ගලික ඉඩම් ලබා ගැනීමේ අවස්ථාව ඉබේම එළඹෙනවා.

ඒ විතරක් නෙමෙයි ඒ MCC ගිවිසුම කොටස් තුනක් තියෙනවා. එයින් එකක් තමයි මේ ගිවිසුම අත්සන් කළාට පස්සේ ප්‍රතිත්‍රස්ත පනත තුළින් ජනතාවගේ විරෝධතා තියනවනම් ඒ සියල්ල මර්දනය කිරීමට එයාලට බලය ලබා දීලා තියෙනවා.

එතකොට මගේ ප්‍රශ්නය වෙන්නේ ජපානය ආසියාවේ විතරක් නෙමෙයි ලෝක බලවතෙක් ආර්ථික බලවතෙක් කාර්මික බලවතෙක්. නමුත් ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයේ තියෙන ඒ ඇමරිකන් හමුදා කඳවුර ඉවත් කරගන්න කාලයක් තිස්සේ ජපානය උත්සාහ කරනවා.

නමුත් කිසිසේත්ම කරන්න හම්බ වෙලා නැහැ. ඒ විතරක් නෙමේ පහුගිය කාලේ අපි දැක්කා ජාපන පාසල් දරුවෙක් ඇමරිකන් සොල්දාදුවෙක් අතින් දූෂණය වුණා. ඒකෙ නඩුව අහන්නේ ඇමෙරිකානු හමුදා කඳවුර පිහිටි ජපානයේ නෙමෙයි.

නමුත් සිද්ධිය සිද්ධ වෙන්නේ ජපන් භූමියේ. නමුත් ජපානයට අයිතියක් නෑ එහිදී නඩුව අහලා ඒකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සලසා ගන්න. ඉතින් එතකොට ජපානය වගේ ලෝක බලවතෙක් වෙලත් ඇමරිකාවට මුහුණ දීමේ ශක්තියක් නැත්නම්, අපි කුඩා රටක් හැටියට කොහොමද මේකට මුහුණ දෙන්නෙ.

ඊළඟ කාරණය තමයි අපිට චීනය සමග ආරවුල් ඇතිකර ගැනීමේ කිසිදු උවමනාවක් නෑ. දෙගොල්ලොම අපේ මිත්‍රයෝ. හැබැයි චීනය අපගේ ඓතිහාසික මිත්‍රයෙක්. ඒ වගේම ආසියාවේ අපේ අසල්වැසියෙක්.

ඒ නිසා අපි සාම්ප්‍රදායික මිතුරා අපිට අතහැර දාන්නත් බෑ. නමුත් කෙසේ හෝ මේ ඇමරිකාව මුල්වෙලා සිද්ධ කෙරෙන මේ වෙළෙඳ යුද්ධය හා ඒකෙ අනිවාර්‍යයෙන්ම ඊළඟ පියවර වෙන්නේ ලෝක යුද්ධයකට සූදානම් වීම. එම නිසා අපි කාගේත් මිත්‍රයෝ. හැමෝම අපිට උදව් කරන්න.

ඒ නිසා අපි රජයට කියන්නෙත් අපි මධ්‍යස්ථ ප්‍රතිපත්තියක, සිරිමාවෝ බණ්ඩාරනායක ගේ නොබැඳි පිළිවෙතේ ඉන්න ඕනෑ කියන එකයි.

ඔබ වහන්සේ නොබැඳි ප්‍රතිපත්තිය ගැන කතා කරා. විශේෂයෙන්ම අපි දන්නවා 2015 රාජපක්ෂ ආණ්ඩුව පැවතිය කාලේ විදේශ ප්‍රතිපත්තිය වුණේ චීනයට ලැදි චීනයත් එක්ක බැඳුන විදේශ ප්‍රතිපත්තියක්. එතකොට කොහොමද ඒක නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් වෙන්නේ? අපි චීනයට සෑහෙන බැඳීමත් එක්ක ඉන්දියාව අපිත් එක්ක විරසක වෙන ස්වරූපයක් තියෙන්නේ. එතකොට කොහොමද මේක කළමනාකරණය කරගන්නේ?

මම හිතන්නේ බැලූ බැල්මට අපට චීනයට වැඩි පක්ෂග්‍රාහී බවක් පෙනුනත්, මහින්ද රාජපක්ෂ රජය දක්ෂ වුණා මේ සියලු දෙනාගේම සහයෝගය ලබාගන්න. විශේෂයෙන්ම යුද්ධය අවස්ථාවේදි අපිට අවි ආයුධ නැති වෙච්චි වෙලාවේ චීනය ඉදිරිපත් වුනා.

ඒ වගේම චීනය හා සමාන්තරවම වාගේ ඉන්දියාවත් මුල් අවධියේදී යම් යම් පසුබෑම් වල හිටියත් පසුකාලීනව යුද්ධය අවසාන සමය වෙනකොට ත්‍රස්තවාදයට එරෙහිව ඉදිරියට එන කටයුතු කරා.

අපි ඉල්ලා සිටින්නේ එහෙම යම් අනවබෝධයක් ඇති වෙලා තිබුණ නම් ඒවා නිවැරදි කරගත යුතුයි. අපට ඉන්දියාව අමතක කරන්න බෑ. අපේ අසල්වැසි කවුරුවත් අමතක කරන්න බෑ. අනිවාර්යෙන්ම චීන ව්‍යාපෘති විශාලයි. මේ ව්‍යාපෘති වලට චීනය බැඳීම්වලින් තොරව විශාල මුදල් ප්‍රමාණයක් දෙනවා.

ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒක ඕන කෙනෙක් ඇහැට වැටෙනවා චීනය පැත්තට වඩා පක්ෂග්‍රාහී කියලා. නමුත් අපි ඉල්ලා සිටින්නේ එහෙම යම් අදහසක් ලෝකයට යනවානම් කරුණාකරලා හැකි ඉක්මනින් එකෙන් මිදිලා අපේ විදේශ ප්‍රතිපත්තියේ නිවැරදි කරගන්න.

විශේෂයෙන් මේ අන්තරාදායක වෙලාවේ, ලෝකයේ විශාල ආර්ථික අර්බුද හා යුධමය අර්බුදයන්ට පරිසරය සකස් වෙමින් තියෙන වෙලාවේ, අපි කිසිසේත්ම නොබැඳි පිළිවෙතින් ඉවත් නොවිය යුතුයි. අවංකවම නොබැඳි පිළිවෙත සිටිය යුතුයි කියන එකයි මම විශ්වාස කරන්නේ.

අපි දැක්කා ජයවර්ධන ආණ්ඩුව කාලේ විශේෂයෙන්ම ඇමරිකාවට ඔහු දක්වපු පක්ෂපාතීත්වයත් එක්ක ඉන්දිරා ගාන්ධිගේ ආණ්ඩුව කොහොමද ඒකට ප්‍රතිචාර දැක්වුයේ කියලා. එක පැත්තකින් උතුරේ ජන වාර්ගික අරගලයක්, යුද්ධයක් නිර්මාණය වෙන්නට ඒක බලපෑවා. ඉන්දියාව ඇතුලේ LTTE සංවිධානයට පුහුණුවීම් පවා ලබා දෙමින් ඉන්දියාවේ දේශපාලනය ඒ වෙලාවේ ඒකට ප්‍රතිචාර දැක්වුවා. නැවත දැන් චීනය දිහාවට අපි ආපහු හැරෙන කොට, අපිට ඒ වගේ ප්‍රශ්ණත් එන්න පුළුවන් නේද? ඊළඟට අපි චීන ණය උගුලක හසුවෙලා කියලා කතාවක් තිබෙනවා.

එහෙම චෝදනාවක් තියෙනවා. මම දන්නෑ ඒක කොච්චර දුරට සාධාරණද කියලා. රටේ ජනාධිපතිවරයා කියනවා අපි ණය උගුලක අහු වෙලා නෑ කියලා. ඒ ණය උගුල් වලට අහුවෙලා නෑ කියලා කියන්නේ ඡන්දය ලබා ගැනීම හෝ වෙනත් කාරණාවකට වත් නෙමෙයි. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ මූණටමත් කිව්වා අපි එහෙම ණය උගුලක පැටලිලා නැහැ කියලා. ඒ නිසා අපට ඒ වචනේ විශ්වාස කරන්න පුළුවන්කම තියෙනවා.

නමුත් අපට හැමදාමත් ණය ලබාගැනීමෙන් ම ජීවත් වෙන්න බෑ. ණය දෙන අය කවුරුවත් එහෙම හොඳ හිතින්ම දෙනවා කියලා අපි හිතන්නේ නෑ.

අපි අපේ ආර්ථිකය නිවැරදි කරගන්නට ඔවුන්ගේ උදව් ලබාගැනීමෙන් අපි අපේ දෙපයින් නැඟී සිටින්නට ක්‍රියා කළ යුතුයි. ඒ වගේම අපි අතීතයෙන් පාඩම් ඉගෙනගත යුතුයි. දැන් ඔබම ප්‍රකාශකලා ඉන්දියාව කෝප කර ගැනීමේ ප්‍රතිවිපාක අපි අවුරුදු තිහක් වින්දා කියලා.

ඒ නිසා මේ මොහොතේ අපට යම් හිතවත්කමක් තියෙන මෝදි ආණ්ඩුව අපි අමනාප කර නොගෙන, ආසියාවේ බලවතා වන චීනය තරහ කර නොගෙන, ඒ වගේම ඇමරිකාවට පක්ෂි නොවී, මේ සියලු දෙනාම යම් ආකාරයකට සමහන් කරගෙන ක්‍රියා කිරීමට අපි දක්ෂ වෙන්න ඕනෑ. උදාහරණයක් හැටියට සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ට සිද්ධ වුණා මැලේසියාවෙන් වතුර ලබාගන්න පොලීසිය හමුදාව ලබාගන්න.

නමුත් ඔහු දක්ෂ වුණා මැලේසියාව තරහ කර ගන්නැතුව මැලේසියාවෙන් ඉවත් වෙන්න. ඉතින් ඒ වගේ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතාවයකින් අපේ නායකයන් ක්‍රියා කළ යුතුයි කියන එකයි මම විශ්වාස කරන්නේ.

ගොඩක් අය කියනවා ආණ්ඩුව කොවිඩ් පාලනය කිරීම අසාර්ථකයි කියලා. ඔවුන් ඡන්දයක් අත ළඟ හින්දා ඒක පාලනය කරා කියලා පෙන්නුවා. ඡන්දයට කලින් ජනතාවට විශාල වශයෙන් සහනාධාර දුන්නා.

නමුත් ඡන්දයට පස්සේ ඒ කිසිම දෙයක් දකින්න නැහැ කියලා චෝදනා කරනවා. මේ පිළිබඳ ඔබ වහන්සේ කෙටි පිළිතුරක් ලබා දෙන්න.

ආණ්ඩුව අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගෙන ඇති කියන එකයි මට පේන්නේ. දැන් මේ කෝවිඩ් රැල්ල ආරම්භ වුණ හැටි තවමත් කවුරුවත් හොයාගෙන නෑ. බ්‍රැන්ඩික්ස් එකට ඇඟිල්ල දික් කරනවා. ඊළඟට පෑලියගොඩ මාළු මාර්කට් එකට ඇඟිල්ල දික් කරනවා.

මේක පාලනයකින් තොරව ගියා කියන එක අපටත් පැහැදිලිව පේන කාරණයක්. නමුත් අපේ රටේ ජනතාවත් කිසියම් ප්‍රමාණයකට වගකියන්න ඕනි. ජනතාවත් මේ ගැන වගකීමකින් තොරව ක්‍රියා කළ බව පැහැදිළිව පේනව.

නමුත් මේ මොහොත වනතුරුත් අපේ රටේ කොරෝනා රැල්ල තවම අපේ පාලනයෙන් බැහැර ගිහිල්ලා කියලා කියන්න තරම් සාක්ෂි නැහැ. නමුත් යම් ප්‍රමාණයකට හිතුවට වඩා වේගයෙන් මේක පැතිරෙනවා. මේ විස බීජයේ ස්වභාවයම තමා වේගයෙන් පැතිරෙන එක. ඉතින් ඒක එහෙම වෙලා තියෙනවා.

නමුත් මං හිතන්නේ රජය තවත් මහන්සි අරගෙන කටයුතු කළොත් මේක පාලනය කරගන්න පුලුවන් වෙයි කියලා. ඊට අමතරව මේ රටක් සම්පූර්ණයෙන් වහලා කරන්න බෑ. විශේෂයෙන්ම අපේ වගේ රටක්. ඕස්ට්‍රේලියාවට පුළුවන් ඕස්ට්‍රේලියාව වැහුවා ඔවුන් තාමත් වහගෙන ඉන්නවා.

ප්‍රංශයට පුළුවන් ඔවුන් වැහුවා. එංගලන්තය වැහුවා මාසෙකට. ඔවුන් ශක්තිමත් ආර්ථිකයන් තියෙන රටවල්. ඔවුන්ට ගෙදර ඉන්න මිනිස්සුන්ට වැටුප සහමුලින්ම දෙන්න පුළුවන්, ආධාර දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නමුත් අපේ රටට මං හිතන්නේ නැහැ ඒක කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා. ඒ නිසා අපි කවුරුත් වගකීමෙන් අර පිරිමැස්මෙන් වැඩකරන්න ඕන.

 

 

Related posts