
ජාතික රණවිරු සැමරුමට ජනාධිපතිවරයා සහභාගී නොවීම පිළිබදව බරපතළ විවේචනාත්මක සාකච්ඡාවක් සමාජ මාධ්‍යයේද පොදු සමාජයේද පසුගිය සතියේ ඇති වුන අතර එම සාකච්ඡාවට ආණ්ඩුව කොතරම් බිය වුනද කියන්නේ නම්, සිය ස්ථාවරය වෙනස් කරමින් ජනාධිපතිවරයා රණවිරු සැමරුමට සහභාගී විය. එම සහභාගීවීමද පසුව තීරණය කරන ලද එකක් බැවින් විවේචනයන්ගෙන් ගැලවීමට සහභාගී වීම ප්‍රමාණවත් නොවීය.
රණවිරු සැමරුමට ජනපති සහභාගී නොවීමට ගත් තීරණය ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරයේ සිදු කෙරුණු දේශපාලන සාකච්ඡාවකින්ද, ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් යම් දේශපාලන අවබෝධයකින්ද, තමන් ලැබූ ජනවරම නිසි කිය්වාගැනීමකින්ද සිදු කරනු ලැබූවක් බව කිව හැක. එසේ නොමැතිව හුදු දෙමළ ජනතාව දිනා ගැනීමේ අරමුණින් සිදු වූවක්ද විය හැක. ඒ කුමක් වුවද එය ජනපතිගේ දේශපාලන ස්ථාවරයක් නම් එහි ස්ථාවරව සිටීමට දේශපාලන කශේරුකාවක් තිබිය යුතුය.
ආණ්ඩුවේ ජනවරම අනුවද රණවිරු සැමරුම වෙනසකට ලක් කල යුතුව තිබූ අතර එය දේශපාලනිකවද වැදගත් ය. ආණ්ඩුව දේශපාලන විසදුමක් සදහා අවංක උත්සහයක් ගන්නේ නම් හෝ මහා මැතිවරණයේදී තමන්ට ඡන්දය ලබා දුන් දෙමළ ජනයා කෙරෙහි සංවේදී වන්නේ නම් ජනපති මුලින් ගත් රණවිරු සැමරුම ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමේ ස්ථාවරයේ සිට කටයුතු කල යුතුව තිබුණි.
කිසිවකු සදාකාලිකව බලයේ නොසිටින අතර අවශ්‍ය වන්නේ තමන්ට කොතරම් අවාසිදායක වුවද තමන් පිළිගන්නා දේශපාලන ස්ථාවරයක් ඇත්නම් ඒ වෙනුවෙන් පෙනී සිට ක්‍රියාතමක වීමය. දේශපාලන නායකත්වය යනු එයයි. එම කටයුත්ත ස්ථාවර සිදු කිරීම රාජ්‍යයට යහපත් වන අතර ආපස්සට හැර වීම වෙනත් පක්ෂයක් බලයට පත් වුවද පහසු නැත.
මහින්ද රාජපක්ෂ යුගයේ මෙම මැයි 19 සැමරුම සිදු කලේ රණවිරු සැමරුමක් ලෙස නොව විජයග්‍රහණයේ සමරුව ලෙස යුද හමුදා පෙළපාලි සමගින් නිදහස් දිනයක් පරිදිය. මෛත්‍රී රනිල් ආණ්ඩුව 2015 බලයට පත්වූ පසු මෙම විජයග්‍රාහී සැමරුම නවත්වා දෙමළ ජනයාගේ හිත් රිදවීම වැලැක්වීමද් දෙමළ බසින් ජාතික ගීය නිදහස් උත්සවයේදී ගයමින් දෙමළ ජනයාගේ හිත් සුවපත් කිරීමටද ඔවුන්ට අවශ්‍ය වූ අතර දෙමළ ජනතාව ලබා දුන් ඡන්දයට වටිනාකමක් දීමට ඔවුන්ට අවශ්‍ය විය. කොතරම් දේශපාලන වශයෙන් අවාසි වුවද, කොයිතරම් විවේචන එල්ල වුවද මෛත්‍රී රනිල් සිය දේශපාලන ස්ථාවරයේ නොසැලී සිටියහ. සිංහල ජනතාව කොතෙක් අකමැති වුවද විපක්ෂය කොතරම් විවේචන එල්ල කලද සිය දේශපාලන ස්ථාවරය තවදුරට්ත් අඛණ්ඩව පවත්වාගෙන යන ලදී. ඒ අනුව විජයග්‍රාහී සැමරුම රණවිරු සැමරුමක් පමණක් බවට පත් කරන ලදී.
ආර්ථික ප්‍රතිසංස්කරණ අරඹයාද, ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසදුම් අරඹයාද කොතරම් අවාසිදායක තත්වයන් යටතේ වුවද රනිල් වික්‍රමසිංහ ප්‍රකට කල දේශපාලන ධෛර්යය අගය කල යුතුය. විරුද්ධ කදවුරක සිටියද අණ්ඩුව ඔහුගෙන් ඉගෙන ගත යුතුය. දේශපාලන නායකයන් කටයුතු කල යුත්තේ සදාකල් බලයේ සිටීම සදහා අවස්ථාවාදී ව කටයුතු කිරීම නොව ජනයාට ඉදිරියෙන් සිටිමින් තමන්ගේ දර්ශනය ක්‍රියාවට නැංවීමය.
ආර්ථික ප්‍රතිසංස්කරණ මාවත තුළ මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ මාවත තුළද ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරයන් ප්රශ්නකාරී වී තිබේ. ඒවා දේශපාලන අවස්ථාවාදයන් තුළ ගැට ගැසීමට ආණ්ඩුවේ ජනප්‍රියවාදීන් කටයුතු කරමින් තිබේ. ඒ මගින් ආන්ඩුවට කිසිදු වාසියක් අත්පත් කරගත නොහැකි අතර ජනවරමින් ලබා දුන් ඓතිහාසික කාර්යභාරයන් මගහැරෙනු ඇත. එම මගහැරීම් ආණ්ඩුව බරපතල ලෙස අර්බුදයට යවනු ඇත.
තමන්ගේ දේශපලන දර්ශනයන් උදෙසා ජනතාව සංවිධානගත කිරීමේ කාර්යභාරය පක්ෂ සංවත්සරයන්හි චණ්ඩි කතාවලින් කල නොහැක. ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ස්ථාවර දේශපාලන කශේරුකාවක් මිස ඝාංඨාර, ලවුඩ් ස්පීකර් නොවේ.
සටහන: දුලාන් දසනායක