චීන එන්නත ගත් අයට විදේශගත වීමේදී ගැටලු- රවී කුමුදේශ්

සයිනොෆාම් කොවිඩ් 19 එන්නත එන්නත් කළ පුද්ගලයින්ගෙන් සියයට 95 ක් තුළ ප්‍රතිදේහ නිපදවන බවත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එය ඉතා ඵලදායී බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කර තිබු පුවතක් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම පර්යේෂණ කණ්ඩායම කියා තිබුණේ සයිනොෆාම් එන්නත සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර පිළිබඳව සොයා බැලූ බවත්, එන්නත මගින් 95% කට වඩා වැඩි පිරිසකගේ ප්‍රතිදේහ ප්‍රතිචාර දක්වන බව සොයා ගන්නා ලද බවත්ය. එසේම එම ප්‍රතිශතය ස්වාභාවික COVID-19 ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන මට්ටම බව ද ඔවුහු ප්‍රකාශ කර තිබුණි.

නමුත් මේ පිලිබඳව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසන්නේ සයිනොෆාම් එන්නත පිළිබඳව පමණක් සිදු කරනු ලබන පර්යේෂණයකින්, එය ලොව ඇති හොදම එන්නත බවට තහවුරු වෙන්නේ නැති බවය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අදාල පර්යේෂණය සිදුකර ඇත්තේ සයිනොෆාම් එන්නත ගැන පමණක් බවත් එන්නත් අතර සංසන්දනාත්මක පර්යේෂණයක් සිදු කර නොමැති බැවින්, ජපුර පර්යේෂණ  ප්‍රතිඵලය භාවිතා කර, චීන වැක්සීනය “හොඳම වැක්සීනය” බව ඇඟවීමට උත්සහ  ගැනීම වැරදි බව ඔහු අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළ නොවෙනස්ව තිබියදී, වැක්සීනය හේතුවෙන් රැකියා සදහා ශ්‍රමිකයන් යැවීමට නොහැකිවීම බරපතල ගැටලුවක් බවත්, යුරෝපයේ සහ මැදපෙරදිග බොහෝ රටවල් එම රටවල් වලට ශ්‍රමිකයන් ගෙන්වීමේදී චීන වැක්සීන පිළි නොගන්නා  බැවින්, මෙලෙස  ශ්‍රමිකයන් යැවීමට නොහැකි වී ඇතැයිද මේ වනවිටත් රැකියා ලක්ෂ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් කොවිඩ් නිසා අහිමිව ඇති අතර, ඊට හේතුව රැකියා වෙළදපලේ අඩුවීමකට වඩා ශ්‍රමිකයන් යැවීට නොහැකිවීම බව තහවුරු වී ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

එබැවින් චීන වැක්සීන මත සම්පූර්ණ බර තැබීම වෙනුවට, අවම වශයෙන් ලොව පිළිගන්නා එන්නත්, විදෙස්ගත වීමට අපේක්ෂිත ශ්‍රමිකයින්ට හෝ ලබා දීමේ වැඩපිළිවෙළක් වහා ඇරඹිය යුතු බව ඔහු රජයට කියා සිටියි.

-ශානි-

Social Sharing
නවතම