ඉෂාලිනීගේ තාත්තා සහ දරුවන්ට හොඳම දේ දුන් තාත්තා. – කේ. සංජීව

හොඳම දේ දරුවන් ට දියයුතු බවට වූ ලොව ප්‍රකට කතාවක් ඇත. ඒ කතාව සියයට දෙසීයකින් ඉටුකළ අපේ කාලයේ තාත්තා නම්, ඒ මහින්ද රාජපක්ෂය. ඔහු තමන්ගේ ලොකු පුතාට නීතීඥ උපාධියක් ද ඉන්පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ද අරගෙන දුන්නේ ය. දෙවෙනි පුතාට නාවික හමුදාවේ ඉහළ තනතුරක් ද විදෙස් රටක නාවික පුහුනුවක් ද ලබාදුන් ඔහු රග්බි ක්‍රීඩාවෙන් රටේ ඉහළට නඟින්නට ඉනිමඟක් විය. තෙවෙනි පුතාට ගණිතය පිළිබඳ ආචාර්‍ය උපාධියක් ද ලංකාව වෙනුවෙන් රොකට්ටුවක් යවන්නට වරම් ද උදාකර දුනි. මෙවැනි ලොව තිබෙන හොඳම දේවල් තමන්ගේ දරුවන් වෙනුවෙන් වෙන් කළ තාත්තා මෙරටේ දෙවතාවක් ජනාධිපති ධුරය ද වර්තමානයේ අගමැති ධුරයද දරමින් සිටී. මේ තාත්තාගේ මඟ යන්නට පෙරුම් පුරණ ඔහු වටා සිටින බොහෝ දේශපාලන තාත්තලාද දැන් සිටින්නේ රටේ බලවත් තනතුරුවලය. මේ කතාව ඒ තාත්තලා ගැන නොවන බව කරුණාවෙන් සලකන්න. මේ වාටියේ සිටින තාත්තලා ගැනය. ඔවුන්ගේ දුවා දරුවන් ගැනය.

ඉෂාලිනී 16 හැවරිදි ගැහැනු ළමයෙක් ය. එහෙත් ලංකාවේ නීතියට අනුව ළමයෙක් නොවන බව සැලකුව මනාය. ඇය ගැන දැන් බොහෝ කතා පැතිරෙමින් තිබෙන්නේ කසිප්පුකාරයාගේ ටකරම් ගෙදර වහලයට ගඩොල් භාගයක් වැටුනා සේ ය. මීට ටික දොහකට කළින් පහළොස් වයස ගැහැනු දරුවෙක් අපයෝජනය කළා යැයි අවධිවී කෑගසමින් සිටි ජනීජනයා ද පසුගිය කාලයේ විල්පත්තුව වෙනුවෙන් හඬ නැඟූ, පහුගිය දවස්වල ඇඳන් යට සැතපී සිටි බොහෝ දෙනෙක් කරළියට පැමිණ ඉෂාලිනී වෙනුවෙන් ඇයට යුක්තිය පතා ඝෝෂා කරමින් සිටිති. එය බෙහෙවින් හොඳය. දරුවන්ගේ අයිතීන් සහ ඔවුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය ගැන නිතර කතාකරන අපහට එම හඬ ප්‍රනීතය. ඉතිං ජනතාවනි අවධි වව්, ළමයින් බේරාගනියව්.. කියා කියමින් වෙන ඉසව්වකට ඔබගේ අවධානය යොමුකරන්නට කැමතිය.

ඊට ප්‍රථම කිව යුතු වන්නේ මේ සිදුවීමට රිෂාඩ් බදූර්දීන් වැරදිකරු නම් ඔහුට වහාම දඬුවම් පැනවිය යුතු බවය. එමෙන්ම මේ සිද්ධියට වඟකිව යුතු තවත් අය සිටීනම් ඔවුන්ද වහාම නීතිය ඉදිරියට පැමිණ විය යුතු බවය. එහි කතා දෙකක් නැත. පාස්කු ප්‍රහාරය එල්ලකළ සහාසිකයන් සොය සොයා දඬුවම් කළ, මහා දහවල් බැංකුව කැඩූ හොරුන් සොය සොයා දඬුවම් දුන් වර්තමාන ආණ්ඩුවට මේවා කිරිකජු බව අපි දනිමු. එනිසා අපි නිහඬවම බලාසිටිමු. එහෙත් ළමා අපයෝජනයන්, ළමා හිංසනයන්, ළමයින්ට එරෙහි ලිංගික අපරාධ රාජපක්ෂ ආණ්ඩුවක් පැමිණි වහා හිස ඔසවන්නේ ඇයි ද යන්න ගැන අපිට ඇත්තේ බලවත් සෝකයකි. සමහරුන්ට සෝකයත් රසයක් වෙන්නට පුලුවන් ය.

මම දිනක් වාර්තා චිත්‍රපටයක රූ ගත කිරීම් සඳහා මොනරාගල ප්‍රදේශයේ වතු කිහිපයකට ගියෙමි. එහිදී මාහට අනිද්දා පුවත්පතේ විශේෂාංග ලිපියක් ලියන්නට ගිය ගමනකදී හඳුනාගත් දමිල යුවතියක් මුණගැසුණි. දරුවන් දෙදෙනෙක් අතින් අල්වාගෙන ද තවත් දරුවෙක් බඩ ඇතුලේ සඟවාගෙන ද තවත් කරදඬු උස් දරුවෙක් ඉබාගාතේ ගොස් ඇතැයි දෙස් දෙවොල් තබමින් ද අප හා කතාවට වැටුණි ඇය. ඇය ගමේ කියන්නැහේ කැවුත්තද එලියට ඇද කතා කළාය. අපි ඇය නර්මදා ලෙස හඳුන්වමු.

” පොඩි කාලේ මම ගේ අස්සෙදීම, ගෙවල් ළඟ ගෙදරක කොල්ලෙක් ගෙදරට ඇවිත් අතපය ගැටගහලා දූෂණය කළා. ඊටපස්සේ ඌ හිරේ ගියා. මගේ බඩට දරුවෙක් ආවා. එතකොට මට අවුරුදු 12ක් නැත්තන් 13ක් ඇති. ඊටපස්සේ මම දැන් ඉන්න මිනිහව කසාඳ බැන්ඳා. හැබැයි මහත්තයා, බැඳපු දවසේ ඉඳලා ගුටි ගහනවා. රෑට බීගෙන ඇවිත් මරන්නමයි හදන්නේ. මම තමයි වත්තේ කුලී වැඩ කරලා හම්බ කරන්නේ. ඒ මනුස්සයා කරන්නේ ඒ සල්ලිවලින් හොඳටම බීලා මටයි දරුවන්ටයි හොඳටම ගහන එක. නිතරම දූෂණය උන එක මතක් කරනවා මහත්තයා. මතක් කරලා තමයි ගහන්නේ. මොනා කරන්න ද ඉතිං මැරෙන්න බැරි නිසා ජීවත් වෙනවා.”  අඩි 10 වැඩිකිරීම 10 කාමර කෑල්ලකට සින්න වුණ නර්මදාගේ ජීවිත කතාව ඒකය. එය කඳුළින් ලියවුණ කතාවක් ය. ඇයට තමන්ගේ තාත්තා පිළිබඳ මතකයක් නැත. එහෙත් ඇයට තමන්ගේ මව් රබර් වත්තේ කිරි කපමින්ද, එළි කරමින්ද, තමන් සහ තම සහෝදර සහෝදරියන් නඩත්තු කරන්නට වෙහෙසී පස තුළට දියව ගිය අතීතය මතකය.

මේ කතාව අහවර වී අපි නවාතැනට යන්නට එළියට බැස්සෙමු. පුංචි දරුවෙක් සමග තවත් පුංචි කෙල්ලක් සෙල්ලමේ ය. අපි එදෙසට යනවාත් සමග දෙදෙනාම ගේ අස්සට පැනගති. අපිද ගේ අස්සට රිංගුවෙමු. වයසක කාන්තාවක් අපව පිළිගත්තා ය. ඇය කියූ ලෙස එළියේ සෙල්ලම් කරමින් සිට ඇත්තේ අම්මා සහ දියණියයි. අපි ඇය සමග කතා කළෙමු. ඇය තවමත් අවුරුදු 14ක පමණ දැරිවියක් ය. ඇයට ඇත්තේ ආදර කතාවක් ය. පෙම්වතා ඇය පැහැරගෙන ගොස් ඇත. පැහැරගෙන බව අපි කීවත් ඇය ඔහු සමග මොනරාගලින් පොතුවිලට පැනගොස් ඇත්තේ කැමැත්තෙන් ය. ඇයට වඩා ඔහු අවුරුදු දෙකක් තුනක් කරදඬු උස් මහත් වන්නට ඇත. ” ආයි නම් බඳින්නේ නෑ මහත්තයෝ. මේ ළමයා හදාගෙන ඉන්නවා. දරුවා ටිකක් ලොකුවුණාම අම්මා ළඟ දාලා රට යන්න හිතාගෙන ඉන්නේ” ඇය අපහට පවසන්නී, ඒ හඬේ ස්ථිරශාර බවක් ඇත. ඇය මේ පුංචි කාලයටත් නොසෑසෙන්නට දුක්ඛ දෝමනස්සයන් විඳ ඇත. ඒවායින් පැසී ඉදී ඇත. ළමා කාලයක් නැති ළමයෙක් සේ ඇය අප ඉදිරියේ සිනා පෑවාය.

දිනක් මම රාවය පුවත්පතට ළාමා විවාහ ගැන ලිපියක් ලියන්නට වැලිකන්දට ගියෙමි. බාල වයස් විවාහ වලට ඇතුල්වූ ගැහැනු පිරිමි මුණගැසෙමින්ද ඔවුන් සමග කතා කරමින්ද ඇවිද යන ඇසිල්ලක අපි හෝඩුවාවක් ලැබී අලුත බැඳපු ජෝඩුවක් වෙසෙන නිවසකට ආවෝය. වයසක ආච්චි අම්මා කෙනෙකුන් අප මුහුනට පැමිණ අප සමග කතාවට වැටී ඒ අතර තුර ගැහැනු ළමයාගේ නම කියා බෙරිහන් දුන්නාය. කිහිපවිටක් කෑගසා ඇය අප සමග මෙසේ කීවා ය. ” බලන්න මහත්තයෝ මේකිට කොච්චර කීවත් කොල්ලෝ එක්ක බෝල් ගහන්න යන්න එපා කියලා පිට්ටනියට දුවපු ගමන්මනේ. පොඩි කෙල්ලනේ මහත්තයෝ. ඉතිං මොකෝ කොරන්නේ.. වයස ආවාම බන්ඳලා දානවා. එතකන් ඔන්නොහේ ඉඳියි. ” අපි මුලින් කතා කළේ වත්තේ හුන්ඩු ගෙවල්වලට කොටුවුණ දරුවන්ට අත්වී තිබෙන ඉරණම ගැනය. මේ අපි කතා කරන්නේ මහවැලි ගොවි ජනපදකරණයෙන් බිහිවුණ ගොවි දරුවන්ට උරුම තත්ත්වයයි. මේ කතා දෙකටම හේතුවුණ ආර්ථික දේශපාලනික කතාවක් ද ඇත.

වැලිකන්ද, වැලිඔය, සියඹලාණ්ඩුව වැනි බොහෝ පැති තවමත් ළමා විවාහ සහ ළමා අපයෝජනය නිහඬව දරාගනිමින් ප්‍රවර්ධනය කරමින් සිටියි. යාපනය වන්නිය වැනි ප්‍රදේශවල තත්ත්වය සමහරවිට මීට වඩා අන්ත බව සමහරුන්ගේ මතයයි. ගාල්ල මාතර හම්බන්තොට වැනි දකුණු ලකේ තත්ත්වයද මීට වෙනස් නැත. මෙලෙස බැලුවාම මුලු ලංකාවේම තත්ත්වය හොඳ නැත. ලංකාව කියන්නේ දරුවන්ට අනාරක්ෂිත රාජ්‍යයක් බව කිව යුතුය. දරුවන් ආරක්ෂා කරගැනීමට සහ ඔවුන්ට රැකවරණය සැපයීමට නීති අනපනත් කොතෙක් තිබුණත් නීතියේ පාලනය නොමැති නිසා වැරදිකරුවන් නීතියෙන් රිංගා යමින් තව තවත් දරුවන් බිල්ලට ගනිමින් සිටියි. පන්සල් ද පල්ලි කෝවිල් ද තරගයට මෙන් දරුවන් අපයෝජනය කරමින් සිටින්නේ ආගමේ නාමයෙන් ගැලවීම ඔවුන් සතු නිසා ය. ලාංකේය මුස්ලිම් සමාජය ද තලේබාන් ක්‍රමයම දරුවන් අරඹයා අභ්‍යාස කරමින් සිටියි. නීති අනපනත් ගෙනෙනවා කියා කීවත් ඒවාට උනු දේ දන්නේ අලි සබී දෙවියාම පමණි.

හොඳම දේවල් හොඳම ක්‍රමයට තමන්ගේ දරුවන්ට ලබාදුන් තාත්තා කෙනෙක් යුවරජ වී ඔහුගේ සහෝදරයා රජවී සිටින රටක වාටියේ දරුවන්ට උරුම කරුමයේ කතාව ඕකය. අපි අඹ කලට අඹ විකුණන්නැහේ රඹුටන් කලට රඹුටන් විකුණන්නැහේ ළමා අපයෝජන කලට ඒ ගැන කෑගසමින් සිටිමු.

Social Sharing
නවතම