කන්දකැටිය නඩු තීන්දුව හා පොලිස් අත්අඩංගුවේ සිටියදී දිගින් දිගටම සිදුවන ඝාතන – රුකී ප්‍රනාන්දු

sandun malinga torture case Ruki Fernando

2014 මැයි 07 දින 17 වියැති සදුන් මාලිංග හා තවත් සිව් දෙනෙකුට පොලීසිය විසින් පහරදී, ඔවූන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය පොලිස් ස්ථානය තුල අත්අඩංගුවේ රදවා ගන්නා ලදී. පසු දින පාන්දර 2:30 ට පමණ සදුන්ගේ මව පොලිස් ස්ථානය වෙත පැමිණි විට තමාට පපුවේ කැක්කුමක් පවතින බව සදුන් දැනුම් දෙන ලද අතර සදුන්ගේ මව විසින් සිය පුතු රෝහල් ගත කරන මෙන් පොලිස් නිලධාරීන්ගෙන් ආයාචනා කර සිටියද පොලිස් නිළදාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. මව උදෑසන 7:30 පමණ වන විට නැවතත් සදුන් බැලීමට පැමිණි අතර එවිට ඔහු අසාධ්‍ය තත්වයෙන්, සීතල පොළව මත වැතිරී හඩමින් සිටින බව දුටුවාය. මව විසින් ඔහුගේ පපුව පිරිමදින විට ඇය වටහා ගත්තේ ඔහුගේ පපු ප්‍රදේශය ඉදිමුණු ස්වාභාවයක් ගෙන ඇති බවකි. මව විසින් නැවතත් ඔහුව රෝහල් ගත කරන මෙන් පොලිසියෙන් ඉල්ලා සිටින ලදී. පසුව සදුන් හා අනෙකුත් සිව් දෙනා දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරී වෙත පමුණුවා නැවතත් පොලිසිය වෙත ගෙන ඒමෙන් අනතුරුව මහේස්ත්‍රාත්තුමන් වෙත ඉදිරිපත් කර සවස බදුල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රිමාන්ඩ් කරන ලදී. පසු දින, මැයි 09 උදෑසන 5:30 පමණ වන විට, රක්ෂිත බන්ධනාගාරයේ සිටි සදුන්ගේ සහෝදරයා විසින් සදුන් අපහසුවෙන් හුස්ම ගනිමින් සිටින බව නිරීක්ෂණය කොට එය බන්ධනාගාර නිළධාරියෙකුට දන්වන ලදී. ඒ ඔස්සේ ඔහුව රෝහල් ගත කළත්, ඒ වන විටත් සදුන් මෙලොව හැරදා ගොස් තිබිණි.

සදුන්ගේ පවුල, නීතිඥවරු හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ උදවු සහිතව සිදුකරන ලද යුක්තිය උදෙසා වූ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 2017 ජනවාරි 09 වන දින බදුල්ල මහාධිකරණය විසින් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුටත් එක් සිවිල් ආරක්ෂක නිලධාරියෙකුටත් සදුන්ගේ මිනීමැරුම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබාදෙන ලදී. [i] 2021 මැයි 21, මූලික අයිතිවාසිකම් නඩුකරය තුළ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සදුන්ගේ මව වෙත වන්දි පූරණයන් ලබා දෙමින් ප්‍රකාශ කලේ පොලිස් නිලධාරීන් සය දෙනා විසින් සදුන්ට හිමි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි[ii].ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාව යටතේ ඇති, ‘කිසිම තැනැත්තෙකු වදහිංසා වලට හෝ කෘර, අමානුෂික හෝ අවමන්සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය’ යන අයිතිවාසිකමත්, නීතියේ රැකවරණය සර්වසාධාරණ විය යුතුය යන අයිතිවාසිකමත් (12(1) ව්‍යවස්ථාව), නීතියේ නියම කරණු ලැබූ කාර්යපටිපාටියට අනුකූලව මිස සිරභාරයට ගැනීම නොකළ යුතුය (13(1) ව්‍යවස්ථාව) යන්නත් උල්ලංඝණය වී ඇති බව අධිකරණය තීන්දු කළේය. මරණ පරීක්ෂණ වාර්තාව අනාවරණය කරන ලද්දේ මොට බලයක් යෙදීමෙන් හිසට හා පපුවට එල්ල කරන ලද පහර දීම් මඟින් මොළයට, හදවතට හා පෙනහළු වලට හානි කර ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයට අනුව පොලිස් නිලධාරීන් විසින් දබරයක ප්‍රතිඵල වශයෙන් හෝ අවම බලය යෙදීමේ ප්‍රතිඵල වශයෙන් එම හානි සිදු වූ බව සැළ කලත් සැබවින්ම එවැනි හානි සිදු විය හැක්කේ බරපතල ගනයේ වූ පහර දීම් හේතුවෙනි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සදුන් සමග සිර ගතකළ අනෙක් සිව් දෙනාටද එම සිද්ධිය තුලදීම එම නිළධාරීන් අතින්ම සිදු වූ අයිතිවාසිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් වන්දි ප්‍රදානය කරන ලදී.

මහේස්ත්‍රාත්වරයාගේ, වෛද්‍ය නිලධාරීන්ගේ, බන්ධනාගාර නිළධාරීන්ගේ නොසැලකිල්ල

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව නිසි කලට වෛද්‍ය අවධානය ලැබී තිබුනේ නම් සදුන්ගේ ජීවිතය බේරාගැනීමට ඉඩ තිබුණු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනයකට පැමිණ සිටියේය. ප්‍රාථමික උල්ලංඝණයන් වශයෙන් පොලිසියේ පහර දීම විනිශ්චය කරණු ලැබූවද, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීරණය තුළින් අනෙකුත් නිළධාරීන් කිහිපදෙනෙක්ගේ නොසැළකිල්ලක් තිබූ බවද හදුනාගෙන තිබුණි. නමුත් මාගේ දැනුම අනුව ඔවුන්ගෙන් කිසිවකුට විරුද්ධව වෘත්තීයමය වශයෙන් හෝ අපරාධ නීතිය යටතේ හෝ ක්‍රියාකර නැත.

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන ආකාරයට සදුන් හා අනෙකුත් රැදවියන් මීගහකිවුල දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරී වෙත ඉදිරිපත් කළ විට දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරීතුමන් එක් පොලිස් නිළධාරියකු සමඟ විනාඩි තිහක් පමණ පුද්ගලික කතා බහක නිරත වී ඇත. නමුත් සදුන් හා අනෙක් තැනැත්තන්ගේ තුවාල හෝ පහර දිම පිළිබද විමසා නැත. ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා සිය සම්පුර්ණ අවධානය හා ඔහුගේ පූර්ණ හැකියාව යොදා නැති බවත් ඔහු සදුන් සහ අනෙක් රැදවියන් සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කළ යුතුව තිබුණු බවයි.

සදුන්ගේ මවගේ නීතිඥවරිය මහේස්ත්‍රාත් ඉදිරියේ කරුණු දැක්වීමට උත්සාහ කිරීමේදී, පොලිස් නිලධාරීන් දිගින් දිගටම බාධා කළ බවත්, වින්දිතයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥවරියට අවස්ථාවක් ලබා දී නැති බවත් පැමිණිලිකරුවන් පවසා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවදානය යොමුවී තිබිණී. සදුන් සහ අනෙකුත් අයවලුන්ට, පහර දීම කරණ කොටගෙන ඇති වූ අයහපත් සෞඛ්‍ය තත්වයන් සලකා, මහේස්ත්‍රාත්තුමා මීට වඩා අවදානමෙන් සහ සංවේදීව කටයුතු කළ හැකිව තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබුණි.

බන්ධනාගාර ආඥාපනත උපුටා දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය මතු කොට පෙන්වුයේ රැඳවියකු ඇතුල් කරන අවස්ථාවේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරීම සම්බන්ධයෙන් අනිවාර්ය වූ වගකීමක් බන්ධනාගාර නිලධාරීන් වෙත පවතින බවයි. සදුන්ට සිදුකරන ලද පහරදීම හා දෘශ්‍යමාන තුවාල සලකා බලමින් ඇතුලත් කර ගන්නා ලද වහාම, වෛද්‍ය අවධානයට පත්කර වීමට අවකාශය තිබූ බව පෙන්වාදෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ බදුල්ල මහා රෝහල බදුල්ල බන්ධනාගාරයට ආසන්නයේ පිහිටා ඇති බැවින් පිටතට ගෙන ගොස් හෝ බන්ධනාගාරය තුලම රදවා ගනිමින්, වෛද්‍ය ආධාර සැපයීමට අවස්ථාව තිබූ බව සහ බන්ධනාගාර නිළධාරීන් මෙයට වඩා වගකිම් සහගත ලෙස කටයුතු කළ යුතුව තිබූ බවයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම් සභාව විසින් 2020 වර්ෂයේ ඵල කරන ලද වාර්තාවක[iii] සදහන් ආකාරයට, අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා අත්අඩංගුවට ගැනීමේ නිලධාරීන් අතර පැහැදිලි සම්බන්ධයක් හදුනාගත හැකිබව කොමිසම් සභාව සම්මුඛ සාකච්ඡාවට බඳුන් කරන ලද රැඳවියන්ගේ ප්‍රකාශ තුළින් හෙළි වේ. සමහර සිද්ධි තුළ, පොලිසියේ මැදිහත්වීම් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ විභාගය තුල දැකගත හැකිබව මානව හිමිකම් කොමිසම් සභාව දක්වන අතර අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා පහර දීම් සම්බන්ධයෙන් ප්‍රශ්න නොඅසන අතර මිනිත්තු කිහිපයක්තුල සිය විභාගය නිමකරන බවද කොමිසම සඳහන් කරයි. වාර්තාවට අනුව සමහර සිරකරුවන් ප්‍රකාශකොට ඇත්තේ මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවන විට ඔවුන් සතුව දෘශ්‍යමාන පහරදීම් තුවාල වැනි තත්ත්ව පැවතියත්, තමන්ට පහරදුන් බව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නත්, මහේස්ත්‍රාත් විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමට, තුවාල හා පහරදීම් සම්බන්ධයෙන් විමර්ෂණයක් කිරීමට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට යොමු කර නැති බවයි. මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණයන්ට අනුව බන්ධනාගාරයන්ට ඇතුළත් කරගන්නා ලද සිරකරුවන්ට අදාළව වෛද්‍ය පරීක්ෂණ අනිවාර්ය නීතිමය අවශ්‍යතාවයක්ය. නමුත් සමහර සිරකරුවන්ට එය සිදුකොට නැති අතර එයට හේතුකාරක වී ඇත්තේ පහසුකම් නොමැතිකම හා වෛද්‍ය නිළධාරීන්ගේ හිඟකමයි.

අත්අඩංගුවේ සිටියදී සිදුවී ඇති මෑතකාලින මරණ

මෙම ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පෙර, මෙලන් මබුලා නොහොත් ඌරු ජුවා හා තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක පොලිස් අත්අඩංගුව තුළදී මියයාම දින දෙකක් තුළදී සිදුවිය. ඔවුන්ගේ මරණවලට පැය කිහිපයකට පෙරාතුව ඔවුන්ගේ ආරක්ෂාව හා තත්වය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා විය. පළමු සිදුවීමෙන් අනතුරුව, දෙවන සිදුවීමට පැය කිහිපයකට පෙර (මැයි 12 රාත්‍රියේ), ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පුද්ගලිකවම විද්‍යුත් තැපැල්, කෙටිපණිවිඩ හා වට්ස්ඇප් හරහා පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටියේ අදාළ සැකකරුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි. සැකකරුගේ නීතිඥවරයෙකු මැයි 12 දින ලිඛිතවම පොලිස්පතිතුමා හා අදාළ පොලිස් කොට්ඨාශ දැනුවත් කරමින් කියාසිටියේ ඔහුගේ සේවාදායකයාට ජීවිත තර්ජන ඇති බවයි[iv].

මැයි 17 දින, 49 හැවිරිදි තිදරු පියෙකු වන ඩි.සුනිල් ඉන්ද්‍රජිත් මහතා මියගියේ ඔහු තම පවුලට ආහාර ලබා ගැනීමට නිවසින් බැහැරට ගියවිටයි (ඔහුගේ පවුල නිරෝධායනයට යටත් කර තිබිණි).ඔහු නිවසින් බැහැර වීමට පෙර පොලිසිය හා සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කර තිබුණි. ප්‍රකට නීතිඥවරයෙකු පළකොට ඇති ලිපියක දැක්වෙන ආකාරයට පොලිස් නිළධාරීන් දෙදෙනෙකු වෙනත් පුද්ගලයකුට ඉන්ද්‍රජිත්ට පහරදෙන ලෙස අණ දී ඇත. පසුව ඉන්ද්‍රජිත් මහපාර මතට ඇදවැටි ඇති අතර බස්රථයක් ඔහුව යටකරගෙන ගොස් ඇත. එම පොලිස් නිළධාරීන් රාජකාරි වගකීම් පැහැර හැරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

ජූනි 3 දින විසි දෙහැවිරිදි චන්ද්‍රන් විදූෂන් නැගෙනහිර පළාතේ එරාවුර් පොලිස් ස්ථානය තුළ අත්අඩංගුවේ සිටියදී ජීවිතක්ෂයට පත්විය. මරණයට හේතුව සඳහන් කරන පෝරමයේ ඔහුගේ මරණය සිදුව ඇති ආකාරය දක්වා ඇත්තේ ‘මෙතම්පෙටමයින්’ නම් රසායනිකය (පොදුවේ “අයිස්” නමින් ව්‍යවහාර වන) මඟින් සිදුවී ඇති මත්විමකිනි. එසේම පෝරමයේ වැඩිදුරටත් දක්වන්නේ සුළු තුවාල ඔහුගේ ශරීරයේ තුබූ බවයි. නමුත් ඒවා මරණිය නොවන බව දක්වයි. මාධ්‍යය විසින් අනාවරණය කරන ඔහුගේ පවුල විසින් ලබා දුන් ප්‍රකාශයන්ට අනුව ඔහුට පොලු වලින් පහර දුන් බවත්, පොලීසිය විසින් ඔහු ඔසවා පොළොවේ ගැසූ බවත් පවුලේ අය චෝදනා කරති. එම නිසා මෙය පොලිසිය පහර දීමෙන් සිදුවූ මරණයක් යන සැකය පවතී.

ජූනි 6 වන දින දෙදරු පියෙක් වූ 42 හැවිරිදි මොහමඩ් අලී මහතා බස්නාහිර පළාතේ පානදුර උතුර පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටියදී මරණයට පත් වුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම පිළිබද චෝදනාවට වන අතර, ඊට පසුව, ඔහු පොලිස් ජීප් රථයෙන් පිටතට පැන ඇත. පොලිස් නිළදාරින් දෙදෙනෙකුගේ නොසැලිකිල්ල පිළිබද චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. නමුත් මොහමඩ් අලීගේ බිරිඳ ප්‍රකාශකරන්නේ මෙය පොලිසිය පහර දීමෙන් සිදු වූ ඝාතනයක් බවයි.

මැයි 13 වන දින අත්අඩංගුවේ සිටි දෙදෙනෙකුගේ මරණයෙන් පසු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව විසින් ප්‍රකාශකරන්නේ, අත්අඩංගුවේ සිටින නිරායුධ සැකකරුවන් ආරක්ෂා කිරීමට පොලීසිය අවස්ථා කිහිපයකදීම අසමත් වූ ආකාරය තේරුම්ගත නොහැකි බවයි. පොලිස්පතිතුමාටද ඔවුන්ගේ අත්අඩංගුවේ සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීමට වගකීමක් තිබෙන බව පෙන්වාදෙයි[v]. ජූනි 8 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් පොලිස්පතිතුමාට ලිපියක් හරහා ජූනි 3 හා 6 අත්අඩංගුවේදී සිදු වූ ඝාතන ද්විත්වය සම්බන්ධයෙන් දැනුවත් කරමින් එවැනි තත්වයන් වළක්වා ගැනීමට ගන්නා පියවර සම්බන්ධයෙන් දින 5 ක් තුල කොමිසමට වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත[vi].

පසුගිය වර්ෂය තුළ පොලිසිය හා බන්ධනාගාර තුළ සිදු වූ මරණ

2020 ඔක්තෝබර් 19 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පොලිස්පතිවරයා, කොළඹ අපරාධ කොට්ටාශය හා පොලිස් කොමිසම වෙතට රැඳවියකුගේ ජීවිතයට ඇති අවදානම සම්බන්ධයෙන් ෆැක්ස් පණිවිඩ යවන ලද නමුත් එම රැඳවියා පසු දින පොලිස් අත්අඩංගුවේ මරණයට පත්ව ඇත[vii]. ඔක්තෝබර් 21 වන දින පොලිස්පතිවරයාට යවන ලද ලිපියක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පෙන්වා දෙන්නේ ජූනි සිට එම වර්ෂය තුල පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණයට පත් වූ අට දෙනෙකු පිළිබද නිරීක්ෂණය වූ බවය. පොලිස්පතිවරයාට ඒ සම්බන්ධයෙන් දින පහක් තුල වාර්තාවක් සපයන ලෙසත් ඒ සම්බන්ධ විමර්ෂණ කටයුතු කර, මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සදහා නිසි පියවර අනුගමනය කරන ලෙසත් මානව හිමිකම් කොමිසම් සභාව දන්වා සිටින ලදී.

පසුගිය වර්ෂය තුළ බන්ධනාගාර හතරක් තුල සිද්ධි පහක් ආශ්‍රිතව සිරකරුවන් 16 දෙනෙකු මරණයට පත් වූ බවත් සියයකට අධික ප්‍රමාණයක් තුවාල ලැබූ බවත් වාර්තාවේ. බොහෝ දෙනෙකු මරණයට පත් වී ඇත්තේ කොවිඩ් – 19 ආශ්‍රිත විරෝධතාවලට බලධාරීන් ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාර දැක්වීම් තුළදීය. විරෝධතා ඇති වීම පිළිබද හේතුකාරක සලකන විට අධිජනගහණ ඝනත්වයක් බන්ධනාගාර තුළ තිබීම, කොවිඩ්-19 රෝගය තහවුරු වූ සිරකරුවන් අනෙක් සිර කරුවන්ගෙන් වෙන් කොට නොතැබීම, අමුත්තන් සීමා කිරීම, පවුල් හා නීතිඥවරු සමග විකල්ප සන්නිවේදනයක යෙදීමට අවස්ථාවක් නොලැබීම හා සීමා පැනවුණු කාලය තුළ අමුත්තන් සීමා කිරීම නිසා පෝෂ්‍යදායී ආහාර නොලැබීම වැනි හේතු බල පා ඇත.

පසුගිය වර්ෂය තුළ බන්ධනාගාර පහක් තුළ සියදිවිනසා ගැනීම් 12 වාර්තා වී ඇත. මේ අතරින් බොහෝ පුද්ගලයන් මත්ද්‍රවය සන්තකයේ තබා ගැනීම, ඒවා විකිණීම සම්බන්ධව හෝ නීති විරෝධි මත්පැන් සම්බන්ධ චෝදනාවට ලක්වූවන්ය. බන්ධනාගාර ඉහළ නිළධාරීයකු මාධ්‍යට ප්‍රකාශ කළ ආකාරයට ඔවුන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළට ඇතුල් කිරීම කළ නොහැකි අතර එසේ වන්නේ ඔවුන් වරදකරුවන් බවට තවමත් පත් කර නොමැති රිමාන්ඩ් සැකකරුවන් වීම හේතුවෙනි. නමුත් වරදකරු කොට ඇති සිරකරුවන් අතරින් ද එක් සියදිවි නසාගැනීමක් වාර්තාවේ. බන්ධනාගාර රෝහල තුළද එක් සිය දිවි නසාගැනීමක් වාර්තාවේ.

අත්අඩංගුවේ සිටියදී මරණයට පත්වීම වළක්වාලීම සහ යුක්තිය පසිදලීම

කන්දකැටිය වැනි වෙනත් සැගවුණු ශෝකාන්තයන් තුළ අපරාධකරුවන් දීර්ඝ සිර දඩුවම් වලට යටත්වීම හෝ විශාල දඩයන්ට යටත්වීම තුළ, දරුවන්ට හා පවුල්වලට සිදුවන ඉරණම අර්බුදයක් වී ඇත. ඔවුන් මානසිකව, සමාජීයව හා ආර්ථිකමය වශයෙන් දැඩි සටනක යෙදෙයි. සදුන්ගේ මවට අනුව ඇයට, ඇයගේ දරුවා සදාකාලිකවම අහිමි වී ඇත. ඇය මාධ්‍යට ප්‍රකාශකල ආකාරයට “පොලිස් නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන් අවසාන තීන්දුව දෙන මොහොතේ විලාප නගමින් අදෝනා නැගු අතර කුඩා දරුවන් ඇතුළු තිහකට අධික සාමාජිකයන් ප්‍රමාණයක් එහි විය. ඔවුන් මගේ පුතා ඝාතනය කළා වුවත්, පවුල් හයක් අසරණ වන නිසා මම සිත් තැවුලට පත්ව සිටිමි. දැන්, වැරදිකරුවන් ඔවුන්ගේ ක්‍රියාවන් ගැන පශ්චාත්තාප වෙනවා ඇති.”

රාජ්‍යට, අත්අඩංගුවේ සිටින්නවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල මෙන්ම සදාචාරාත්මක වගකීමක් පවතී. නමුත් මෙම සිද්ධීන් මතු කරන්නේ නිරන්තරයෙන් එම වගකීම උල්ලංඝණය වී ඇති බවයි. මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට යවන ලද ලිපි සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලබාදුන් ප්‍රතිචාර ගැන තොරතුරක් නොමැත. බොහෝ සිද්ධි සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර ගැනීම අමාරු විය හැකි බවත්, මේ නිසා අනාගතය පිළිබදව සතුටු සහගත හැගීමක් තබාගත නොහැකි බවත් පෙනී යයි.

කන්දකැටිය පොලිස් ඝාතනය වනාහි වින්දිතයන්ගේ පවුල්, මානව හිමිකම් ක්‍රියාකාරීහු, නීතිඥවරු දැඩි ප්‍රයත්නයක් දරා රාජ්‍ය අත්අඩංගුවේ සිටියදී ඝාතන, වදහිංසා වලට හෝ කෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට යටත් වූ වින්දිතයා උදෙසා යුක්තිය ලබාගත් දුර්ලභ අවස්ථාවකි. ඉදිරියේදී මෙවන් සිදුවීම් වළක්වා ගැනීමටත්, මහේස්ත්‍රාත් හා වෛද්‍ය නිලධාරීන් වැනි වගකිවයුතු පාර්ශවයන් වඩාත් කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමට පෙළඹවීමටත්, පසුගිය සිදුවීම්වලට යුක්තිය ඉටුවීම වැදගත්ය. මෙවැනි සාහසික අපරාධ මින් මතුවට සිදු නොවීමට නීතිමය සහ ආයතනික වශයෙන් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුය. එසේම, සමාජයේ විශාල විරෝධයක් මතු වීමද සිදුවිය යුතුය.

ruki_fernando

 රුකී ප්‍රනාන්දු | Ruki Fernando

 

උපුටා ගැනීම  – www.vikalpa.org

(2021 ජූනි 18 වන දින https://groundviews.org/2021/06/18/kandaketiya-judgement/ හී ප්‍රථම වරට පළ වූ රුකී ප්‍රනාන්දුගේ ලිපියක පරිවර්තනයකි.)

 

Social Sharing

Related posts