පාදෙණිය වෛද්‍යතුමාට රජරට ගොවීන් අභියෝග කරයි!

දින හතලිස් පහක් ගත වූ ගොයමටත් පොහොර කඳුලක් වත් නොලද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර දහස් ගණනක් තිබෙන බවත් මේ වන විට පොහොර මෙට්‍රික් ටොන් 250 ක පමණ හිඟයක් පොලොන්නරුවට තිබෙන බවත්, පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය හා පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඩබ්. අරුණ කීර්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ව්‍යාපාරය හැර සෙසු මහා වාරි ව්‍යාපාරවල බණ්ඩි ගොයමට සිදුවෙමින් පවතින හානිය ගැන  (13 )පරාක්‍රම සමුද්‍ර කුඹුරු යායේ දී පැවති මාධ්‍යහමුවක දීය. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධාන සභාපතිවරයා මෙසේ ද කීය.

Challenges from farmers to Dr. Anuruddha Padeniya“දැන් ගොවියන්ට බයියෝ කියනවා ඔව් අපි බත්කන බයියෝ තමයි. බත් කන හින්දා නේ  බයියෝ කියන්නේ. ඒත් කණගාටුයි කියන්න පාදෙණිය කියන දොස්තර මහත්තයාටත් ආචාර්‍ය මහාචාර්යවරුන්ටත් අපි අභියෝග කරනවා. කාබනික ගොවිතැන කාබනික පොහොර විතරක් දාලා මදි. ඒක කරන විදිහ හොදින් ම දන්නේ ගොවියෝ. පාදෙණිය උන්නැහැට මම කියන්නේ ලෙඩකට බෙහෙතක් ගන්න යන රෝගියාට අයිතියක් තියෙනවා තමන්ට නියම කරලා තියෙන බෙහෙත මොකද්ද කියන්න. හැබැයි ඒකට ඉඩ දෙන්නේ නෑ. ගොවියා දාන එක මොකද්ද කියලා හොයන්න එනවා.

කාබනික ගොවිතැන කියන්නේ පොහොර විතරක් නෙමෙයි. අපේ පරිසර තත්ත්වය, භූවිෂමතාව, වාර්ෂික වර්ෂාපතනය, භූමියේ පිහිටීම, ජල පරිභෝජනය විශේෂයෙන් ම ජලකළමනාකරණය. ජලකළමනාකරණ ජාතික ප්‍රතිපත්තියක් වත් නැතුව කාබනික වගාවට යන්නලු. මේ කිසිදේකට මූලික ප්‍රතිපත්ති හෝ සැලසුම් මොකක්වත් නෑ. ඊළග කන්නයේ කරන්න යන්නේ. කුඹුරකට අවශ්‍ය කාබනික පොහොර කොපමණද? කවද්ද ඒවා ගේන්නේ. කොහොමද හදාගන්නේ. කොච්චරක් දෙනවද ගහන ක්‍රමය මොකද්ද මේ කිසිදෙයක් නෑ. අපි කාබනික ගොවිතැනට අකමැති නෑ. හැබැයි බොරුව වපුරලා සමාජයම මුලා කරනවාට අපි විරුද්ධයි. පාදෙණිය වෛද්‍යතුමාට අභියෝග කරනවා ඔය ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත්වලින් වෙන හානිය ගැනත් ජනතාවට කියන්න. ලෙඩාට අයිතියක් තියෙනවා තමන්ගේ ලෙඩේට නියම කරන බෙහෙත මොකද්ද කියලා දැන ගන්න. ඒකෙන් හැදෙන අනිත් ලෙඩ මොනාද කියලා දැනගන්න.

අර එක මහාචාර්‍යවරයෙක් මාධ්‍යට ඇවිත් කියනවා මළ ගෙවල්වල කුලියට අඩන්නත් මිනිස්සු ඉන්නවා. මේ කාබනික පොහොර ගැනත් කුලියට අඬන්න කියලා. අපි අහනවා එයාගෙන් ආණ්ඩුව වෙනුවෙන් අඬන්න එයාට කුළිය කීයක් ගෙවනවාද කියලා. අපි ඒ මහචාර්යවරයාට අභියෝග කරනවා. එන්න මොකක් හරි නාලිකාවක විවෘත සංවාදයකට ගොවියා ගොවිතැන කරන විදිහ ගැන දැනගන්න. අපි අපේ ගොවියන් වෙනුවෙන් කෑගහනවා තමයි. ඒ කුලියට නෙමෙයි. මම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ම ගොවියන්ගේ ඡන්දයෙන් පත් වුණ ගොවි නායකයෙක්. ව්‍යාපාර ගොවි සංවිධාන සියල්ලේම ගොවි නායකයා. හැබැයි ඇමතිවරයාත් කියනවා මේ වැඩේ ගොවි සංවිධාන එක්ක කතා කරලාලු තීන්දු ගත්තේ මටනම් කිසිම කැදවීමක් කරලා නෑ. මම පොලොන්නරුව මහා වාරි ව්‍යාපාර ගොවි සංවිධාන එකමුතුවේ ප්‍රධානියා. මම දන්නෙත් නෑ මේ තීන්දු ගැන. ගොවියන් මගෙන් අහනවා. මම විතරක් නෙමෙයි අමාත්‍යංශයේ නිලධාරින් දන්නෙත් නෑ. කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් දන්නෙත් නෑ. කවුරුවත් දන්නේ නෑ. කොහොමද මේ කාබනික වී වගාව හරි ගොවිතැන හරි කරන්නේ. කොහොමද කාබනික පොහොර කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද කී වතාවක් දාන්න ඕනද? කොහොමද දාන්නේ. කොහොමද දැනගන්නේ ඒ කාබනික පොහොරවල තියෙන්නේ මොනවද කියලා. මේ කොහේවත් නැති අපද්‍රව්‍ය ගෙනල්ලා අපේ කුඹූරු විනාශ කරන්න දෙන්න බෑ.

Challenges from farmers to Dr. Anuruddha Padeniyaඅපි කාබනික ගොවිතැනට අකමැතිව නෙමෙයි. මේක කරන්න නම් අපි හැමෝම දැන ගන්න ඕන මොකද්ද කරන්නේ කියලා. පාදෙණිය මහත්තයාට අර මහාචාර්ය වරුන්ට එන්න කියන්න අපිත් එක්ක සංවාද කරලා මේකේ සැබෑ තත්ත්වය සියලු දෙනාම දැනුවත් කරන්න ඕන. ඒක ට එන්න එක වේදිකාවකට. අපි කතා කරමු. දැන් මේ ගැන සියලු දෙනා දැනුවත් කරලා තියෙන්න ඕන. කොහොමද කරන්නේ කියලා. නැතුව ගහෙන් ගෙඩි එන්නාවගේ මේවා කරලා අපේ කුඹුරු නැති කර ගන්න බෑ. දැන් ලබන මාස් කන්නයේ ඉදලා කරන්න යනවා. අද පොලොන්නරුවේ වී ගොයමට දින 45ක් ගෙවිලා. නමුත් තාම පොහොර ඇටයක් වත් නොලැබුණු ගොවීන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මෙට්‍රික් ටොන් 250ක් විතර අවශ්‍ය‍යි. දැන් සමාගම්වලින් පොහොර අරගෙන බෙදන්න යනවා. හැබැයි එතකොට අපි ගොයම් කපලාත් ඉවර වෙයි. දැන් මෙහෙම පොහොර බෙදා ගන්නවත් සැලැස්මක් නැති කොට ඉදිරි කන්නයේ දී මොකද්ද කරන්නේ. ගොයම් යායවල් කහවෙලා. අස්වැන්න අඩු වෙනවා. බණ්ඩි ගොයම තියෙන්නේ දැන්. තාම පොහොර ඇටයක් නොදැකපු කුඹුරු තියෙනවා. දැන් තීන්දු ගන්නේ කවුරුවත් වග කියන්න ඕන අපි අපේ ගොවියන්ට. සියලු දෙනාම එකට එක්වෙලා දැනුවත් කරලා හොද දැනුවත් වීමකින් මේ වැඩේ කරන්න කියලා. අද අපට තියෙන බිත්තර වී රසායනික පොහොරට හුරු කරපු ඒවා. අපට සිංහල හාල් හදන්න කෝ  බිත්තර වී.” මෙහි දී තවත් ගොවීන් කිහිපදෙනෙකු ද අදහස් දැක්වූහ.

පොහොර හිඟය පිළිබදව ව්‍යාපාර ගොවි සංවිධාන සභාපතිවරයා නැගූ පැනයට අපි පොලොන්නරුව දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් අසංග සෝමවංශ මහතාගෙන් විමසීමක් කළෙමු.

Challenges from farmers to Dr. Anuruddha Padeniya

“පොලොන්නරුවට පළවෙනි වටේ පොහොර ටික බෙදලා දෙනකොට කිසියම් ප්‍රමාණයක් අඩුවෙන් දෙන්න සිද්ධ වුණා. ඒ වගේම සමහර අයට පොහොර මදි වුණා. අපේ සංඛ්‍යා ලේඛන අනුව ගොවීන් 500 කට ආසන්න පිරිසකට පොහොර කොහෙත්ම ලැබී නෑ. රජයේ වැඩපිළිවෙල යටතේ පෞද්ගලික සමාගම්වලින් පොහොර ලබාගෙන ගොවීන් ට එක පොහොර මිටියක් 1500 බැගින් අළෙවි කරන්න සැළසුම් කර තිබුණත් තාම අවශ්‍ය පොහොර තොග ලැබී නෑ. බණ්ඩි පොහොර නම් එම්.ඕ.පී. සහ ටී එස්.පී. පොහොර ලබා දී තිබෙනවා.” යැයි ද ඒ මහතා කීය.

-ඊෂා මුදියන්සේ-

Social Sharing
නවතම