පානදුර පොලිස් අත්අඩංගුවේ සිටි  පුද්ගලයා  ජිප් රියෙන් බිමට පැන්නාද?

පානදුර, උතුර වත්තල්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඥාති නිවසකට ගමන් කර නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන ජිප් රියෙන් පොලිසීයට ගෙන යමින් සිටියදී ඉන් පැනීමට උත්සහ කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය යාමේ පුවතක් අද (07) ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණි.

මෙසේ මිය ගොස් තිබුණේ 42 හැවිරිදි පුද්ගලයෙකි. මොහුගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට පානදුර උතුර පොලිසීයේ උප පොලිස් පරික්ෂකවරයෙකුගේ හා පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් මිය  ගිය තැනැත්තා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබුණි.

ඔහු මත්ද්‍රව්‍ය වල භාවිතා කරන්නෙක්ද? නැද්ද? යන්න මෙහිදී වැදගත් වන්නේ නැත. ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ නිරෝධායන නීති කඩ කරමින් ඥාතී නිවසකට ගිය වරදටය. එසේම ඔහු පොලිස් ජිප් රියෙන් පැන යාමට උත්සහ කළේ මන්ද යන්න විමසා බැලිය යුතුය.

මෙලෙස පොලිස් අත්අඩංගුවේ සිටියදි පැන යාමට උත්සහ කර මිය ගිය පළමු පුද්ගලයා මොහු නොවන අතර අවසන් පුද්ගලයාද මොහු නොවනු ඇත.

කොවිඩ් වසංගත කාලය තුල පොලිසීය විවිධ චෝදනා ඉදිරිපත් කරමින් අයුතු ලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතීඥ රමණි මුත්තෙට්ටුවේගම මහත්මිය පහුගියදා පෙන්වා දී තිබුණි.

ඉකුත් වසරේ මාර්තු මස සිට මෙම වසරේ මැයි මස දක්වා කාලය තුල පොලිසීය සිය බලය භාවිතා කර නීතියට අනුව හෝ නීතියට පිටින් ගත් අත්අඩංගුවට ගැනීම් රැසක් ඇත. මෙහිදි වැඩි වශයෙන්ම පොලිසියේ නීතිය ක්‍රියාත්මක වන්නේ, බලය පෙන්වන්නේ දුප්පත් මිනිසාටය. ධනවතා ඉදිරියේදී පොලිසීය බලය පෙන්වීමට මැලි වේ.

ඥාතී නිවසකට යාම පොලිස් අත්අඩංගුවට පත් වීමට තරම් වරදක්ද? නිවසින් එළියට බැසීම පොලිස් අත්අඩංගුවට ගැනීමට තරම් වරදක්ද? මේ ගෙවෙන්නේ සංචරණ කාල සීමාවකි. ඇතැම් විට කෑමට යමක් ගෙන ඒමට, නිවසේ අඩු පාඩුවක් ගෙන ඒමට, මුදල් අත මාරුවක් කර ගැනීමට ගියා විය හැක.

කිසිවෙකුත් අපරාධයක් කර නොමැති නම් ශ්‍රී ලංකා නීතියට අනුව ඔහු හෝ ඇය සැකකරුවෙකු වන්නේ නැත. එසේ නම් අත්අඩංගුවට පත් වන්නේ ඇයි? රිමාන්ඩ්ගත කෙරෙන්නේ ඇයි? යන්න අප දැනුවත් වී සිටිය යුතුය.

විශේෂයෙන්ම මෙවන් අවස්ථා වල පොලිස් නිලධාරීන්ගේ විවිධ බලපෑම්, ප්‍රහාර වලට අත්අඩංගුවට පත් වුවන් ඉලක්ක වේ. එසේම ඔවුන්ට ඇප තැබීමට එන, බැලීමට එන ඥාතීන්ටද මේ හිරිහැර, හිංසන සිදු වේ. පොලිස් ස්ථානයකට යන පුද්ගලයාට ගෞරවාන්විතව සිය සේවය ඉටු කර ගැනීමේ අයිතිය ඇත. එහෙත් ඒ පිලිබඳ අපේ රටේ ජනතාව දැනුවක් වී සිටින්නේ අතලොස්සකි.

ඇතැම් අවස්ථා වල මේ පොලිස් අත්අඩංගුවට පත් වන පුද්ගලයින්ව බැලීමට ඥාතීන්ටද අවස්ථාවක් හිමි නෙවාන අතර නීතිඥ සහාය ලබා ගැනීම ද වළකනු ලබයි. මේවා අප  නොදැනුවත්වම සිදුවන අපගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම්ය.

පහුගිය දිනවල යාපනේ ප්‍රදේශ වල නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් කුදලාගෙන යන අයුරු දැකිය හැකි විය. මෙය මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ වහාම පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කර සිටියේ පුද්ගලයින්ව කුදලාගෙන නොයන ලෙසත්, පුද්ගලයින් මහ මඟ පරික්ෂාවේදී මෙන්ම අත්අඩංගුවට ගැනීමේදි ඔවුන්ගේ ආත්ම ගරුත්වයට හානි නොවන අයුරින් කටයුතු කරන ලෙසටය.

විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා පිලිවෙත හමුවේ අත්අඩංගුවට පත් පුද්ගලයින් දැඩි බියටත්, මානසික පීඩාවටත් ලක් වේ. තමන්ට මොනවා කරාවිද යන්න ඔහුගේ සිතේ පැන නැගේ. මේ කැළඹිම නිසා ඕනෑම අවදානම් ක්‍රියාවක් කිරිමට ඇතැම් විට ඔහු පෙළඹිය හැකිය.

පහුගිය වසරේ බේරුවල, දර්ගා නගරයේදී සිදු වූ තාරික් අහමඩ් නම් විශේෂ අවශ්‍යතා ඇති දරුවාට හිංසා කිරීමද, වැලිගම ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටියදි දරුවන්ට කෑම සොයා කඩයකට ගිය පුද්ගලයෙකුට පහර දී ඝාතනය කිරිම යන සිද්ධීන් මෙහිදි අපට අමතක කළ නොහැකිය.

නීතිය නම් කාටත් පොදු විය යුතුය. නීති දෙකක් තිබිය නොහැක. එහෙත් ඥාතී නිවසකට ගිය වරදට පානදුරේ පුද්ගලයා අත්අඩංගුවට පත් වුවත් නමුත් පහුගියදා උපන්දින සාදයක් පැවැත් වු කුරුණෑගල නගරාධිපති තවමත් සිටින්නේ නිදැල්ලේය.

එසේනම් වරද ඇත්තේ කොතැනකද?

-ශානි-

Social Sharing
නවතම