බංගල්දේශයෙන් ණය ගන්න වුණු ආණ්ඩුවක් කොවිඩ් මර්ධනය කරන්නේ කෙසේද?

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගෙන් 40%කට පමණ මිය යන්න සිදුව ඇත්තේ නිවෙස් වල හෝ රෝහලකට යන අතරතුරදී බවත් මෙය ඉතාම බරපතල තත්ත්වයක් බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

මෙවැනි වසංගත ත්ත්වයක් කළමණාකරණය කළ හැක්කේ සමාජ ආරක්ෂණ ක්‍රම භාවිතා කිරීමෙන් වුවත් මෙය අප සිංහල අවුරුදු කාලයේ වරද්දගත් බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මෙය බරපතල ලෙස ප්‍රචලිත කරන්න දේශපාලඥයින් අවස්තාව ලබා දුන් බවය.

එසේම එන්නත්කරණ වැඩසටහනේදී පවා ලෝක සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිනොගෙන දේශපාලනිකව එය ලබා දුන් බව හෙතෙම පෙන්වා දෙයි.

කොවිෂිල්ඩ් එන්නත ලබාගත් අය අද එන්නත්කරණය පිලිබඳ විශ්වාසය අහිමි කරගෙන ඉච්ඡාභංගත්වයට පත්ව ඇත්තේ රජයේ නොසැලකිල්ලෙන් බවත් මෙය යහපත් තත්වයක් නොවන බවද ඔහු පවසයි.

අද මේ කොවිඩ් මර්ධන ක්‍රියාවලිය දේශපාලනීකරණය වී ඇති බවත් පිළියන්දල ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම, මොරටුවේ නගරාධිපති සමන්ලාල්ගේ මැදිහත්වීම ඪට නිදසුන් බවද ඔහු කියයි. එමෙන්ම ස්පුට්නික් එන්නතෙන් 70% ක් මහනුවර රැගෙන ගියේද දේශපාලනය නිසා බව ඔහු පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගන්න ප්‍රමුඛත්වය දෙන්න කීවත් අද ලංකාවේ එවැනි තත්ත්වයක් නැති බව පෙන්වා දෙන සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ අද k 95 මාක්ස්, PPE කිට්, ප්‍රවාහන පහසුකම් පවා නොමැති බවය.

ලංකාවේ ගර්භණී මව්වරුන්ට නිවාඩු ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම් විසින් චක්‍රලේඛයක් නිකුත් කළද එය සෞඛ්‍ය අංශයේ ගර්භණී මව්වරුන්ට ලබා දීමට අදාල බලධාරින් ක්‍රියා නොකළ බවත් පසුව සෞඛ්‍ය වෘත්තීය සමිති වල දැඩි විරෝධය හමුවේ දින 21 කට පසුව සෞඛ්‍ය අංශයේ ගර්භණී මව්වරුන්ට නිවාඩු ලබා දෙන ලෙස චක්‍රලේඛය නිකුත් කලේ 05 වෙනි දින බවද සමන් රත්නප්‍රිය මහතා පවසයි.

බංග්ලාදේශය වැනි රටකින් ණය ගැනීමට පවා පත් වූ ආණ්ඩුවක් කොවිඩ් මර්දනය කරන්නේ කෙසේදැයි ඔහු වැඩිදුරටත් විමසා සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (05) දින යහපාලන රජය සමයේ සිට 20 වෙනි සංශෝධනය දක්වා සංක්‍රාන්ති කාලය ගැන විවිධ විද්වතුන්ගේ කථා ඇතුලත් වසංගත කාලයක ලංකාව නම් කෘතිය ජනගත කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණු අවස්ථාවේය.

මෙය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සංවිධානය කර තිබු අතර මෙහෙයවීම නීතිඥ දුලාන් දසනායක මහතා විසින් සිදු කරන ලදි.

-ශානි-

Social Sharing
නවතම