ඩ්‍රෝන කැමරාවට අසු නොවන නිරෝධායන නීති කඩ කරන ආණ්ඩුවේ ඇත්තෝ!

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ මධ්‍යම ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යැවීමේ සිද්ධිය මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේම කථාබහට ලක්ව ඇත.

ඉකුත් මැයි 28 දා බොරැල්ල – මරදාන මාර්ගයේ ආනන්ද හන්දිය අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි මරදාන පොලිසියට අනුක්ත කොස්තාපල්වරයෙකු මෙම සිද්ධියට මුහුණ දී තිබුණි.

කොවිඩ් වසංගතය තුල සංචරණ සීමා, නිරෝධායන නීති කඩකරන්නන් සොයා පොලිසීය මේ දිනවල දිගින් දිගටම වැටලීම් කරති. ඉන් නොනැවතී ඔවුන් ගුවන් හමුදා, පොලිස් විශේෂ කාර්ය බලකායේ ඩ්‍රෝන අංශයද සම්බන්ධ කරගනිමින් නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් ගැන සොයා බලති.

මේ දිනවල විකාශය වන ප්‍රවෘත්ති වල අනිවාර්ය දසුනක් වන්නේ මේ ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගනිමින් විවිධ ප්‍රදේශ පරික්ෂාවට ලක් කිරීමය. එමෙන්ම නිරෝධායන නීති කඩා දිනකට අත්අඩංගුවට ගත් ප්‍රමාණය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන වීඩියෝව දෛනිකව විකාශය වේ.

මෙවන් පසුබිමක් තුල මරදාන පොලිස් කොස්තාපල්වරයාද නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට සුදානම්ව සිටියේය. ඔහු ඉකුත් 28 දා බොරැල්ල – මරදාන මාර්ගයේ ආනන්ද හන්දිය අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදි  ශාරිරික ව්‍යායාම් සඳහා කාන්තාවක් පා ගමනින් පැමිණ ඇය බොරැල්ල මරදාන ප්‍රධාන මාර්ගය වෙත යාමට සූදානම් වීමේදී කොස්තාපල්වරයා ඇය නවතා සංචරණ නීති පනවා ඇති බැවින් එලෙස යාමට අවසර දිය නොහැකි බව පවසා ඇත.

ඉන් කලබල වු එම කාන්තාව පොලිස් කොස්තාපල්වරයා දෙසට හැරී උසස් පොලිස් ප්‍රධානියකුගේ නම පවසමින් තමා ඔහුගේ ඇයගේ බිරිඳ බවට පවසා කොස්තාපල්යාවරයාට බැනවදිමින් එම ස්ථානයෙන් පිටවීමට සූදානම් වීමේදී පෙර අයුරින්ම කොස්තාපල්වරයා මැඩම් නීතිය කාටත් එකයි, යනුවෙන් පවසා කරුණාකර ආපසු යන ලෙස දැනුම් දී ඇත.

එම අවස්ථාවේදීම එකී  කාන්තාව ජංගම දුරකථනය හරහා පොලිස් ප්‍රධානියාට ඇමතුමක් ලබාගෙන මේ බව පවසා කොස්තාපල්වරයා ට ඇසෙන සේ එහි හඬ වැඩිකර කොස්තාපල්වරයා දෙසට දිගු කර ඇසෙන්නට සලස්වා ඇති අතර පොලිස් ප්‍රධානියා කොස්තාපල්වරයා අමතා මම අහවලා කතා කරන්නේ. “ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි,එයාට ජොගින් යන්න දෙනවා” යැයි උස් හඬින් පවසා තිබූ බව පුවත්පත් වාර්තා කර තිබුණි.

ඔහුටද  පොලිස් කොස්තාපල්වරයා පිළිතුරු ලබා දෙමින් පවසා ඇත්තේ  කොස්තාපල්වරයා “සර්, සංචරණ නීති පනවලා නේ තියෙන්නේ. එතකොට ජොගින් යන අනිත් කට්ටියට මොකද කරන්නේ එයාලටත් යන්න දෙන්න ද ?” යනුවෙන් විමසා ඇති බවත් එවිට පොලිස් ප්‍රධානියා ” අයිසේ ජොගින් ඇඳුම පිලිවෙලට ඇඳලා තියෙනවා නං යන්න දෙනවා” යයි පවසා දුරකථනය විසන්ධි කර තිබුණු බවද වැඩිදුරටත් පුවත්පත් හා සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ සමගම කොස්තාපල්වරයාට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි පුංචි බොරැල්ල පොලිස් මාර්ග බාධකය රාජකාරි සඳහා වාර්තා කරන ලෙසටය. ඒ් පොලිස් ප්‍රධානියාගේ බිරිඳට නීතිය කියා දීමට ගිය නිසාය.

ඇය පොලිස් නිලධාරියෙකුගේ බිරිඳක් නිසා ඇයට නිරෝධායන නීති, සංචරණ සීමා බලපෑවේ නැත. ඇය ජොගින් ගියාය.

මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතාද ඉකුත් මැයි  (24) පස්වරුවේ ශරීර සුවතාව සඳහා මහමාර්ගයේ ඇවිද යන විට සිහිසුන්ව ඇද වැටී තිබුණි. උපාලි ජයසිංහ යනු රංගන ශිල්පිනි සබීතා පෙරේරාගේ සැමියාය.  ඔහු තවමත් සිටින්නේ රෝහල්ගතවය. මෙම සිදුවීමද පුවත්පත් හා සමාජ මාධ්‍ය වලින් විකාශය විය.

එම සිද්ධියටද පොලිසීය අනුගමනය කළේ නිහඬ පිලිවෙතකි. අවම වශයෙන්  සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක ශරිරසුවතා වලට ප්‍රධාන මාර්ග වල ගමන් කළ නොහැකි බව පැවසුවේවත් නැත. මේ නිසා බොහෝ දෙනා සිතූයේ ජොගින් වලට පොලිසීය ඉඩ දෙන බවය.

ඇතැම් විට පොලිස් ප්‍රධානියාගේ බිරිඳ ද එය ආදර්ශයට ගෙන ජොගින් යන්නට සුදානම් වන්නට ඇත. නමුත් ගැටලුව ඇත්තේ ආණ්ඩුවේ ප්‍රභූවරුන්ට මේ අයීතිය ඇතත් එය රටේ සාමාන්‍ය ජනතාවට නොමැති වීමය.

පහුගියදා මොරටුවේදී නගරාධිපති එන්නත්කරණ මධ්‍යස්ථනයකදී වියරුව රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරද්දි මේ නිරෝධායන නීති බලපෑවේ නැත.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇමතිවරුන් උත්සවශ්‍රියෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘත කරද්දී ඒ්වා පොලිසිය දුටුවේ නැත.

වියදමක් දරා ක්‍රියාත්මක කරන ඩ්‍රෝන මෙහෙයුමටවත් මේ ආණ්ඩුවේ ඇත්තෝ නොපෙනීමද ගැටලුවකි.

මේ ඩ්‍රෝන කැමරා, නීතිය ක්‍රියාත්මක කරන පොලිසීය අසරණ කරන්නේ සාමාන්‍ය ජනතාව පමණක්ද? යන්න මෙහිදි විමසිය යුතුව ඇත.

ශානි

Social Sharing
නවතම