මේ ආණ්ඩුව කොරෝනාව ගරානාවක් කරගත්තා – පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර

කොවිඩ් දේශපාලනය

කොවිඩ් පළවෙනි රැල්ල මර්දනය කරන්න රජය වෙච්ච වෙහෙසවීම මේ අවස්ථාවේදී අපිට දකින්නට පුළුවන් කමක් නෑ. ඒ වෙලාවේ කොවිඩ් මර්දනය දක්ෂ විදිහට කරපු රාජ්‍ය නිලධාරින් වෙන තැන් වලට යොදවලා සම්පූර්ණම දේශපාලනීකරනය කරන්න සහ කොරෝනාව ගරානාවක් බවට පත්කර කරන ව්‍යාපාරය තමයි දැන් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. පළවෙනිම කාරණාව මේ වෙලාවේ කොවිඩ් පොසිටිව් වෙනවාද නැද්ද කියන එක හරියට බලාගන්න පුළුවන් වෙන්නේ වැඩි පරීක්ෂණ සංඛ්‍යාවක් සිද්ධ කිරීම මගින්. වර්තමානේ පරීක්ෂන සිදුකිරීම අත්හැරලා දාලා තියෙනවා.  හමුදාව ඇතුලේ  පරීක්ෂණ කරන අයගෙන් සියයට පනහකට ආසන්න සංඛ්‍යාවක් පොසිටිව් වෙච්ච ගමන් හමුදාව තුළ නීතියක් දැම්මා මෙතනින් පස්සේ PCR කරන්න එපා කියලා.  අපට ලැබෙන ආරංචිවල හැටියට එක තමයි වර්තමාන තත්ත්වය.

එතකොට  රාජ්‍ය ආයතනවල එක්කෙනෙකුට දෙන්නෙකුට කොවිඩ් පොසිටිව් උනාම අල්ලලා රට වටේ අරන් යනවා නිරෝධායනය කරන්න. හොඳම උදාහරණය තමයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය 74 වෙනි නිදහස් උත්සවයට සූදානම් වෙනකොට රියදුරන් හතර දෙනකුට කොවිඩ් ආසාදනය වෙලා තිබුණා. ඒ අයව නිරෝධායන කටයුතු සඳහා යැව්වා ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල තියෙන සංචාරක බංගලාවලට.  සංචාරක බංගලාවල සේවය කරන අයටත් ඒ වගේම ඒ ගම්වල ඉන්න අයටත් කොරෝනා තත්ත්වය පැතිරෙන්න පටන් අරගත්ත. එක විතරක් නෙමේ හොඳම කතාව එතනින් පස්සේ කිසිදු PCR එකක් කරන්නෙ නෑ. ස්වදේශ කටයුතු අමාත්‍යංශය වගේ තමයි ලංකාවේ හැම තැනකම  රෝගීන් අහුවෙන නිසා පොසිටිව් වෙන නිසා මේ වෙලාවේ පරීක්ෂණ සංඛ්‍යාව පුළුවන් තරම් අවම කර ගැනීමක් සිද්ද කරනවා. ඒ විතරක් නෙමෙයි පරීක්ෂණ සංඛ්‍යාවක් කරලා ඒකේ ප්‍රතිඵල ආවම ඒ ප්‍රතිඵල එදා දවසෙදි නිකුත් කරන්නේ නෑ. නියමිත ප්‍රමාණයට නොදී හංගනවා. මොකටද මේක හංගන්නේ, හංගන්නේ මේකෙ තියෙන සැර බාල කරන්න. ආන්ඩුවට යෙදෙන පීඩනය වළක්වා ගැනීම සඳහා මේ සංඛ්‍යාලේඛන යට ගහනවා.

අපේ රටේ දහ දෙනෙක්ගෙන් එක්කෙනෙකුට ගත්තොත් කොරෝනා හැදෙන තත්ත්වයට පත් වෙලා තියෙද්දිත් ඒ අවදානම මිනිස්සුන්ගෙන් ඈත්කර තියෙනවා. මාධ්‍ය හරහා මේක තියෙන බැරෑරුම්කම දැන් තුනී කරල තියනවා. එය  විතරක් ද මෙය රජය හිතාමතා සිදුකරන දෙයක් මොකද එක පැත්තකින් රටේ ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය. අපි දන්නවා රටේ ආර්ථිකය බරපතල ප්‍රශ්නයක් තියෙනවා කොරෝනා අර්බුදයත් එක්ක, ඔවුන්ගේ නොහැකියාවත් එක්ක මේක මිශ්‍ර උනහම තත්ත්වය තවත් බරපතලයි.  පැහැදිලිවම කියනව මේ වෙලාවේ මේ රැල්ල පාලනය කර ගැනීම රජය අපොහොසත් වෙලා තියෙනවා. රජයට කරන්න දෙයක් නැති නිසා තමයි මුලින් මුට්ටි ගඟට දාලා ජනතාව අන්දන්න උත්සාහ කළේ. පළවෙනි දේ මුට්ටි ගඟට දැම්මා, දෙවනියට කාලිගේ පැණිය කියලා එකක් රාජ්‍ය අනුග්‍රහයෙන් ගෙනාවා. එසේ තියෙද්දී කාලි පැණි  බීපු අයටත්  පොසිටිව්  වෙලා තියෙනවා. තවදුරටත් ඒක හිමිහිට හිමිහිට ප්‍රචාරණය කරල මුදල් කිරීමේ ව්‍යාපාරයක් බවට පත් කරගෙන  ඉන්නවා.  මේ සියල්ල කෙරේ විද්‍යාත්මකව නෙවේ. මිනිස්සුන්ගේ  මනසත් එක්ක සෙල්ලං කරල මේක යන්තම් ජාමේ බේරා ගැනීමේ වැඩපිළිවෙළක් තමයි අවසාන වශයෙන් සියලූ පාර්ශ්ව වලින් සිදුවුණේ.

ලංකාව දූපතක් මර්දනය කරන්න තිබුණා

ලංකාවේ දූපත් රාජ්‍යයක් මේ දූපතට කොරෝනා එන්න ඕනේ පිටින් තමයි. ඒ නිසයි අපි ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ මතක් කළේ මේ වෙලාවේ ගුවන් තොටුපල වහන්න කියලා. ගුවන්තොටුපල නැව්තොට වහලා පළවෙනිම රට ආරක්ෂා කරගතන්න, ඊට පස්සේ ඇතුලේ බලමු කියලා. හැබැයි ඒක කරේ නෑ. මොකද්ද කිව්වේ ගුවන් තොටුපල වහන්න එහෙම පිස්සුවක් නෑ කිව්වා. මේ කොරෝනා ආපු වෙලාවේ ගුවන්තොටුපොළෙන්  හෝ පළවෙනි අවස්ථාවේදීම හරියට සති දෙකක් එක සැරේ රට වහල සම්පූර්ණ නිරෝධායනය සිද්ධ වුණා නං මේක වෙන්නේ නෑ. දෙවැනි වතාවේ ආපු වෙලාවේ වුණත් ඒ තීරණ ක්ෂණිකව ගත්ත නම් එක වලක්වා ගන්න තිබුණා. රටවල් ගණනාවක් කොරෝනාවලින් බේරුණා තමන්ගේ නිසි ක්‍රම උපායන් පාවිච්චි කරපු නිසා. ඒ වගේම  චීනය, කොරෝනා හැදිච්ච තැන, ඔවුනුත් සාර්ථකව මේක මර්දනය කළා. මේ කිසි රටක් ආදර්ශයට ගත්තේ නැහැ, දැන් කොරෝනා පාලනය  කඩාගෙන වැටෙන්වා. ඒ විතරක් නෙමේ මේක තුවාලෙ බවට පත් කරගෙන තමයි තියෙන්නෙ.

ආර්ථිකය

මේ වෙලාවේ ආර්ථිකය හදාගැනීම වගේම මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත් පළමුව කළ යුතුයි. රටේ ජනතාවගේ ජීවිත බේරගන්න ලබාදෙන ප්‍රමුඛස්ථානය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා.  ඒකට අවශ්‍ය ප්‍රමුඛස්ථානය දෙන්නේ නෑ.  ප්‍රමුඛස්ථානය දෙනවා නම් අර සීනි වලින් ලාභ ගරන්න දීපු සල්ලි වැක්ෂීන් ගෙන්වාන්න දෙනවනේ. කුළුනු හදන්න ඕනේ නෑනේ, අලුතෙන් අධිවේගී මාර්ගයක පාර හදන්න පටන් ගන්න ඕනේ නෑනේ. මොනවද මේ කරන්නේ, තමන්ට ව්‍යාපාරික වශයෙන් ලාබ ලබන්න පුළුවන් අවස්ථා ඉක්මනින් ක්‍රියාත්මක කරනවා. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න මේ ආණ්ඩුවට අපි අත් දෙකම උස්සලා ඕනෑම අවස්ථාවක සහයෝගය දෙන්න සූදානම්.

වඳ කොත්තු  වඳ  යට ඇඳුම්

2019 ජනාධිපතිවරණයට සූදානම් වෙන්නත් වඳ කොත්තු  වඳ යට ඇදුම් ඇවිල්ලා අවසානයේදී බුදු පිළිම වලට ගල් ගහන තැනින් පටන් අරගෙන පාස්කු ප්‍රහාරයෙන් අවසන් කිරීම දක්වා වූ වැඩපිළිවෙළ මේ ආණ්ඩුව ඉතාමත්ම ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙන්න ඉඩ හැරියා.  බලයට ඒමේ අවශ්‍යතාව වෙනුවෙන්, එතකොට මාවනැල්ලේ බුදු පිළිමවලට ගල් ගහන කණ්ඩායමත් ඒ ගල් ගහපු කණ්ඩායමට විරුද්ව මාවනැල්ලේ කඩ කඩන්න ගියපු කණ්ඩායමක් එකම කණ්ඩායම කියන එක අද හැමෝම දන්නවා.  දැන් බලය ගත්තාට පසු තවදුරටත් මේවා ප්‍රායෝගිකව අවශ්‍ය නෑ. ඊට පස්සේ ආයි 20 සංශෝධනය සම්මත කරගන්න ඕනෑ වුණහම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ටික අරගෙන මුස්ලිම් ජනතාව දීපු ඡන්දවලින් පත්වෙච්ච මන්ත්‍රීවරු ටික අරගෙන තමන්ගෙ 20 සම්මත කරගත්ත. දැන් තවදුරටත් මේ පරණ කතා කියවලා වැඩක් නෑ කියලා ඉන්නකොට තමයි මුස්ලිම් මරණ භූමදාන ප්‍රශ්නය ආවේ. මේක ආපු ගමන් මේගොල්ලන්ගේ අර ඡන්ද පදනමේ ඉන්න සිංහල බෞද්ධයින්ට (සිංහල බෞද්ධකම කියන්නේ මොකක්ද කියලා බුදු   හාමුදුරුවොන්ගෙ දර්ශනය තේරුම් ගන්න බැරි අයට) මේක දරාගන්න බැරිවුණා. ඒකත් එක්ක මේ මතවාදය හදලා බලයට ආපු මේ ආණ්ඩුවට කරගන්න දෙයක් නැතිවුණා. අන්තිමට මේ ප්‍රශ්නය ජිනීවාවලටත් ගියා. ජාතිවාදය පාවිච්චි කරලා බලයට ආවාම එහෙම තමයි.

ස අසමත්..

ආණ්ඩුවේ අසාර්ථකභාවය මේ අයට දරාගන්න බැහැ. හේතුව තමයි රටේ ප්‍රධාන පුරවැසියා දේශපාලනඥයෙක් නෙවෙයි. රටේ මිනිස්සු අතර මතයක් හැදුවා 225ම එපා කියලා. රටේ ප්‍රධාන පුරවැසියා දේශපාලනඥයෙක් නොවේ සහ ප්‍රායෝගික දේශපාලනය පිළිබඳ අත්දැකීම් නෑ ඒකත් එක්ක අසමත් වුණා විතරක් නෙමේ මේ අසමත්වීම වළක්වාගන්න ඔහු දැන් තමන්ගේ සුපුරුදු මර්දනය ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙනවා. හමුදාව කරපු සේවයට ඔවුන්ගේ කැපවීම්වලට අපි බොහොම ආදරෙයි. හැබැයි එහෙම කියලා හමුදාව කරන වැරදිවලට අපි විරුද්ධයි.  ඉතිහාසයේ අපිට ආපු එක චෝදනාවක් තමයි අපි හමුදා නිලධාරීන්ට විරුද්ධව කටයුතු කලා කියලා.  අපි විරුද්ධ වුණේ හමුදා විනය මත කටයුතු කළ නියම රණවිරුවන්ට නෙවෙයි අපි විරුද්ධ වුණේ, දේශපාලන අවශ්‍යතා මත මාධ්‍යවේදීන් පැහැර ගත් අයට, හමුදා බලය පාවිච්චි කරලා කප්පම් ගන්න ගියපු අයට, දේශපාලන අවශ්‍යතා මත හමුදා සේවය ගණිකා සේවයක් කරපු.

ඒ අනුව රටේ මතයක් ගොඩනැගුවා අපි හමුදාවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. හාමුදුරුවොන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. හැබැයි හාමුදුරුවෝ වුණත් පුරවැසියෙක් නම් ඔහු රටේ වැරදි කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න බයවෙන්න ඕනේ නෑ. මං කියන්නේ හරි දේ  කරලා හරි විදිහට ක්‍රියාත්මක කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ, එතකොට දැන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන දේ තමයි තමන්ගේ  අසමත්වීම වහගන්න තමන්ගේ මතයට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන අයට විරුද්ධව කටයුතු කිරීම. රන්ජන් රාමනායක උසාවියට අපහාස කිරීමක් සිද්ධ කරලා තියනවා කියලා ගරු අධිකරණය තීන්දු කරලා තියෙනවා. ඒකට දිය යුතු දඬුවමේ ප්‍රමාණය පිළිබඳව අද ප්‍රශ්න මතුවෙලා තියෙනවා. පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳව ප්‍රශ්න මතුවෙලා තියෙනවා. එතුමාව පාර්ලිමේන්තුව ගෙන ඒම පිළිබඳ ප්‍රශ්නය තියෙන්නෙ කථානායකවරයාගේ අතේ, ඒක අධිකරණය තීන්දුවක් නෙවෙයි.  ඔහුගේ මන්ත්‍රි ධුරය පිළිබඳ තීන්දුව ගන්න තියෙන්නෙ කතානායකවරයාට. අධිකරණයකින් මිනීමැරුම් චෝදනා සහිත අයෙක් විදියට පත්වෙච්ච කෙනා පාර්ලිමේන්තු ඇවිත් ඉන්නවා. වචනයක් වැරදිච්ච කෙනා අද හිරගෙදරට දාලා තියෙනවා.

ප්‍රබාකරන් මැරුවේ රටෙන් කෑල්ලක් ඉල්ලුව නිසා නෙවෙයිද?

අපිට කියන්න පුළුවන්ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් ඔහු නන්දසේන කියපු නිසාද ඔහුට විරුද්ධව ජනාධිපති තර්ජනාත්මක ස්වරයෙන් කතා කළේ කියලා, මිනිස්සු ඇන්දවීමේ ශාපය තමයි මේ ආණ්ඩුවට එල්ල වෙලා තියෙන්නේ කියන බරපතළ වචනයට තමයි ඔවුන් බය වුණේ. ඒ කියන්නේ මේ රටේ මිනිස්සු 300 ගානකගේ ජීවිත අහිමි වෙලා තමයි මේ ආණ්ඩුව බලයට පත් වෙන්නේ. ශාපය යනු  බරපතල කාරණාවක්, ඒක තමයි හැමෝටම රිදුනේ. ඒ නිසා තමයි ඒ කටවල් වහන්න, මට ඕන වෙලාවක වැඩ කරන්න පුළුවන් කියල ජනාධිපතිවරයා කිව්වෙ. ප්‍රබාකරන් මරපු හැටි ගැනත් ඔහු මරන්න හේතුවත් කිව්වනේ. අපිට අහන්න තියෙන්නේ ප්‍රභාකරන් මැරුවේ රටෙන් කෑල්ලක් ඉල්ලුව නිසා නෙවෙයිද කියලා.

හමුදාකරණයේ ඇතුල් පැත්ත

ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් කාලේ තමයි සිරසට බෝම්බ ගහලා සියතට ගිනි තිබ්බේ. ලසන්ත වික්‍රමතුංග ඉඳලා එක්නැලිගොඩගේ ඉඳලා මරා දැමීම් අතුරුදහන් කිරීම්, පහරදීම්, අඩත්තේට්ටම්, මේ දේවල් සේරම සිද්ධවුණේ. ඒක අපිට අමතක නැහැ.  ඒ කාලේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ, එතකොට ඒ චරිතය රඟපාන්න පුළුවන් කියන එක නේද මේ අනියමාර්ථයෙන් කිව්වේ. මේ අනියමාර්ථය තර්ජනයක් නෙවෙයි ද? අද වෙලා තියෙන්නේ මේ තර්ජනය කරලා මිනිස්සුනෙ කටවල් වහන්න උත්සාහ කරනවා  මාධ්‍යවේදීන් ලියන්න බයයි. ලයිසන් එක cancel කරයිද? ගිනි තියයිද?බොහෝ  මාධ්‍ය ආයතන තමන්ගේ කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ භූමිකාව කරන්නේ නෑ හරියාකාරව.  මොකද නැති වෙච්ච මාධ්‍යවේදීන්ට  වෙච්ච සාධාරණයක් නෑනෙ. සමාජ මාධ්‍යවල, ෆේස්බුක් එකේ ලියන්න අද කොල්ලො බයයි. සමාජයට තොරතුරු ලබාදෙන්න ඉදිරිපත් වන පුද්ගලයන් මර්ධනය කරන්න, තමන්ට විරුද්ධව ගොඩනැගෙන උද්ඝෝෂණ වගේ දේවල් මර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදල හමුදා නිළධාරීන්ලධාරීන් පත් කරලා, ඒ හමුදා නිලධාරීන් හරහා සිවිල් සේවය නිල නොවන හමුදා පාලනයක් දක්වා ගෙන යෑම තමයි, මේ අසමත් වීම  වළක්වා ගැනීම සඳහා ඔවුන් ගෙන ඇති ක්‍රියාමාර්ග.

Social Sharing
නවතම විශේෂාංග