පාස්කු ප්‍රහාරයට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම කල් යන ලකුණු?

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත  භාර දෙනු ලැබුයේ පෙබරවාරි 01 දාය.

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් 2019 අප්‍රේල් මස 21 වන දින හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාව සිදුකෙරුණු අතර එහිදී  270 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

මේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කොමිසම පත්කරනු ලැබීය.

එම කොමිෂම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගත්තේය. ඉන් අනතුරුව අවසන් වාර්තාව පහුගිය පළමු දා ලබා දෙනු ලැබුණි.

ඉන් අනතරුව නීතිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශන වාර්තා භාර දෙනු ලබුණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසා තිබුණේ පාස්කු ප්‍රහාරයේ සිදුවීම් 8ක් සම්බන්ධයෙන් ලිපිගොනු වෙන් වෙන් වශයෙන් මේ වන විට නීතිපතිවරයාට භාර දී ඇති බවත්, ඒ වෙනුවෙන් නීතිඥවරු 12 ක් මේ වන විට නීතිපතිවරයා විසින් පත්කර ඇති බවත්ය.

“අපි විසින් 32ට විරුද්ධව මනුෂ්‍ය ඝාතන සහ කුමන්ත්‍රණ කිරීම් සඳහා නඩු පැවරීමට ඒ ලිපිගොනු යොමු කර තිබෙනවා. තව 251ක් රැඳවුම් නියෝග මත සහ රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. ඉදිරි මාස කිහිපය තුළ ජනතාවට දැනගන්න පුළුවන් වෙයි කොහොම ද මේ නඩුව විභාග වෙන්නේ කියලා යනුවෙනු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

පසුගිය ආණ්ඩුවේ සිටි ප්‍රබලයින් කිහිපදෙනෙකුගේ නම් ද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදි හෙළි කර තිබුණි.

අමාත්‍යවරයා එසේ පැවසුවද නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (09) දින ප්‍රකාශ කර තිබුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ අපරාධ පරීක්ෂණ හා තොරතුරු අසම්පූර්ණ බවය.

පාස්කු කොමිසමේ වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙන අතර ජනාධිපති ලේකම්වරයා හරහා එම වාර්තාවේ පිටපතක් ලබාගෙන වැඩිදුරට විමර්ශනය කරන ලෙසත් සති දෙකක් ඇතුළත මෙම උපදෙස් සම්බන්ධයෙන් තමා වෙත කරුණු වාර්තා කරන ලෙසත් නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත දන්වා ඇත. මෙහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු ආකාරය පිළිබඳව නීතිපතිවරයා පිටු 30 කින් යුත් උපදෙස් මාලාවක් පොලිස්පතිවරයා වෙත යවා ඇත.

මීට පෙර ද අවස්ථා කිහිපයකදී පොලිස් පරීක්ෂණවලට අදාල ලිපිගොනු අසම්පූර්ණ බව පවසමින් නීතිපතිවරයා විසින් එම ලිපිගොනු නැවත හරවා යවා තිබිණි.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත් එසේ නොකෙරුණු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඊයේ (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙක් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා තිබුණි.

එමෙන්ම ඒ සඳහා සාකච්ඡා කිරීමට විශේෂිත දිනයක් නුදුරේදීම ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

රජයේ පාර්ශවයෙන් පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මෙසේ දිගින් දිගටම ඇදි යද්දි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

උන්වහන්සේ මේ බව දන්වා ඇත්තේ ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමිනි.

2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඉකුත් 01 වනදා කොමිසමේ සාමාජිකයින් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු දිමෙන්  අනතුරුව පසුගිය නිදහස් සමරු උළෙලේ දී ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ එම අවසන් වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමා පියවර ගන්නා බවය.

ඒ අනුව එම ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන ලෙසත් කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමන් වෙත ලබාදෙන ලෙසත් කාදිනල් හිමිපාණන් එම ලිපියෙන් ඉල්ලා තිබේ.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව කඩිනමින් සභාගත කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඉල්ලීමක් කර තිබේ. ඒ පාර්ලිමේන්තුවේ  (08) පැවති පක්ෂ නායක රැස්වීමේදීය.

Social Sharing
නවතම