අගමැතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වේ!

කොවිඩ් 19 වසංගතය හමුවේ මුලු ලෝකයම සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකට පත්වය. බොහෝ රටවල් වල දෛනික වැඩ කටයුතු සියල්ල බිඳ වැටී තිබේ.

මේ අතර කොරෝනා පාලනය කර ගැනීමට නොහැකි වීම  නිසා ඉතාලියේ අගමැතිවරයාටද ඉල්ලා අස් වීමට සිදු වීමේ පුවතක් ඊයේ (26) වාර්තා විය.

ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ ඊයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා වෙත බාර දුන්නේ කැබිනට් මණ්ඩලය හමු වී සාකච්ඡා කිරීමෙන් පසුවය. කොන්ටේගේ ඉල්ලා අස්වීම පිළිගත් බව ජනාධිපතිවරයා සනාථ කළේය.

හිටපු අගමැති මැටියෝ රෙන්සි ඉවත් කිරීමෙන් පසු 2018 වසරේදී ගුසෙප් කොන්ටේ අග්‍රමාත්‍යධුරයට පත් විය.

යුරෝපා සංගමයේ ප්‍රතිසාධන අරමුදල් මුදල් වලින් ඩොලර් බිලියන 200 කට වඩා (ඩොලර් බිලියන 243) වියදම් කිරීමේ කොන්ටේගේ සැලසුම්වලට රෙන්සි විරුද්ධ විය.

පසුගිය සතියේ ඉතාලියේ පහළ පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග යෝජනාවෙන් කොන්ටේ නිදහස් වූ නමුත් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සෙනෙට් සභාවේ බහුතරයක් ලබා ගැනීමට අපොහොසත් විය.

පසුගිය වසරේ COVID-19 පුපුරා යාමෙන් පසු ඉතාලියේ මිනිසුන් 85,000 කට වැඩි පිරිසක් මියගිය අතර රටේ ආර්ථිකය ඉතා වේගයෙන් අඩපණ විය. මේ වන විට එහි කොවිඩ් ආසාදිතයින් 24,75,372 කි.

ඉතාලියේ රෝහල් පිරී සෞඛ්‍ය පද්ධතිය අඩපණ වී වෛරසයෙන් මිය ගිය මළ සිරුරු ගොඩ ගැසෙද්දී කොන්ටේට එල්ල වූ චෝදනා මුල්කොට ගෙන අධිකරණ නියෝගයකට අනුව විමර්ශනයක් පවා පැවැත්විණි.

පනස් හය වියේ පසුවන ගුසෙප්පේ නීතිඥවරයෙකු මෙන්ම විශ්ව විද්‍යාල මහාචාර්වරයෙකි.

ඉල්ලා අස්වීමෙන් පසුව, කොන්ටේගේ ඉතිරි සගයන් වන මධ්‍ය-වාම ඩිමොක්‍රටික් පක්ෂය සහ ජනප්‍රිය තරු 5 ව්‍යාපාරය දැනටමත් හිටපු නීති මහාචාර්යවරයාට සහාය දෙන බව පවසා තිබේ.

මේ අතර පහුගිය 21 දා තවත් අග්‍රමාත්‍යවරයෙක් ඉල්ලා අස් විය. ඒ මොංගෝලියාවේ අග්‍රමාත්‍ය කුරෙල්සුක් උක්නාය.

ඔහුට ඉල්ලා අස් වීමට සිදු වුයේ කොරෝනා ආසාදිත මවකට සහ ඇයගේ අලුත් උපන් දරුවාට සැලකූ ආකාරය සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය නිසාවෙනි.

කොරෝනා වයිරස ආසාදිත කාන්තාවක සැහැල්ලු රෝහල් ඇඳුමකින් පමණක් සැරැසී පාවහන් යුගලයක් පමණක් පැලඳ කොවිඩ් 19 මධ්‍යස්ථානයකට ගෙන අයුරු දැක්වෙන විඩියෝ පටයක් ඉකුත් දිනෙක ප්‍රසිද්ධියට පත්විය. ඇය සිය අලුත් උපන් දරුවා දැඩි ව තුරුල් කරගෙන ඉන්නා ආකාරයේ ඡායාරූපයක් ද ඉකුත් දිනෙක ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

මේ දිනවල මොංගෝලියාවෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 25 ත් අඩු ය. මොංගෝලියාවේ සම්ප්‍රදායට අනුව දරුවා උපත ලබා මාසයක් යනතුරු මවුවරුන් ශීත කාලගුණයට නොයා යුතු අතර ඔවුන්ට ශීත ආහාර පවා ලබා නොදේ.

මෙවැනි තත්ත්වයක් තුළ එම මව එලෙස පිටත රැඳවීම සම්බන්ධයෙන් මොංගෝලියානු ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

මොංගෝලියානු ජනතාවගෙන් මීට දැඩි විරෝධයක් එල්ල වූවා පමණක් නොව තරුණ ක්‍රියාකාරීහු 5,000කට වැඩි පිරිසක් උලාන්බාටාර් අගනුවර රජයේ ගොඩනැගිලි ඉදිරිපිටට රැස්ව විරෝධතාවල ද නිරත වූහ.

මේ සම්බන්ධයෙන් මොංගෝලියාවේ දේශපාලනඥයන් කිහිපදෙනකුම සමාව ද ඉල්ලා ඇත. අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එවැනි තත්ත්වයක් තුළ ය.

‘‘අවාසනාවන්ත සිදුවීමක් වුණා. ඒ අම්මව වෙනත් ස්ථානයකට මාරු කිරීමේදී අපේ අතින් අත් වැරැද්දක් වුණා. ඒ අම්මට සලකපු විදිය අපේ හද කම්පා කරනවා. අග්‍රාමාත්‍යවරයා ලෙස මම මෙහි වගකීම ගන්න ඕනෑ’’ යැයි මොංගෝලියානු අග්‍රාමාත්‍ය කුරෙල්සුක් උක්නා සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් පවසා තිබුණි.

Social Sharing
නවතම විදෙස්