යුක්ක්‍රේන් රැලි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ඇරඹීම සදහා ‘සංචාරක බුබුල’ (Travel Bubble) සංකල්පය යටතේ රුසියානු සමූහ ආණ්ඩුවට අයත් රටක් වන යුක්ක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීම පසුගිය දෙසැම්බර් 28 වනදා සිට ආරම්භ කරනු ලැබීය. පළමු කණ්ඩායමට යුක්රේන සංචාරකයින් 186ක් පැමිණ තිබූ අතර, ඉන් පසුව පැමිණ පිරිසත් සමග එම ප්‍රමාණය 240ක් බව වාර්තා විය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධව පවසා සිටියේ කොවිඩ් මර්ධන කමිටුවේ නිර්දේශ හා  විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව සෞඛ්‍ය හා ආරක්ෂ අංශ එක්ව මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වන බවත්ය. එමෙන්ම, මෙම ව්‍යාපෘතියේ දී සංචාරකයින් හා මෙරට වැසියන් අතර, සම්බන්ධතායක් ගොඩ නොනැගෙන අයුරින් සංචාරකයින්ගෙන් ශ්‍රී ලංකිකයින්ටත්, අපෙන් ඔවුන් වෙතත් මෙම වෛරසය කිසි ලෙසකින් හෝ හුවමාරැ නොවන ආකාරයට මෙම වැඩ පිළිවෙල සකසා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම කණ්ඩායමට අයත් සංචාරකයින් 6 දෙනෙකුට මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරැ වී තිබේ. එමෙන්ම මෙම සංචාරකයින් ලංකාවේ කොවිඩ් මර්ධන නීතිවලට අනුව, අවම වශයෙන් මුව ආවාරණ පැලදීම හෝ සිදු නොකරන බවට ඔවුන් මෙතෙක් සිදු කරනු ලැබූ සංචාරයන් හි දී දක්නට ලැබුනි.

අනෙකුත් රටවල සාපේක්ෂව කොවිඩ් පළමු රැල්ල ඉතා සාර්ථක ලෙස පාලනය කරගත් රටක් ලෙස ශ්‍රී ලංකාව ඉහලින්ම පසු විය. වත්මන් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට විටක දී ප්‍රකාශ කළේ වෙනත් රටවල් කොරෝනා පාලනය කළ ආකාරය නොව අප එය සාර්ථකව පාලනය කළ ආකාරය ගැන සාකච්ඡා කරන ලෙසයි.

මෙම පාලන තත්ත්වය මාස 6කට වැඩි කාලයක් පැවති අතර, සමහර ප්‍රදේශයන්හි ජනතාවට ලෝක වසංගත තත්ත්වයක් අප මුහුණ දී සිටින බව පවා අමතකව ගොස් තිබුනි. මෙවැනි ස්ථාවර තත්ත්වයක සිටි අපට එකවර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් එකවර හමු විය. එය දෙවැනි කොරෝනා රැල්ලේ ආරම්භය වූ අතර, එය ගම්පහ දිස්ත්‍රික්ක තුළ පමණක් නොව මුළු බස්නාහිර පළාත තුළම ඉතාම කෙටි කාලයක් තුළ වේගයෙන් ව්‍යාප්ත විය. අද වන විට මෙම දෙවැනි රැල්ල ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විස්සකට වැඩි ප්‍රමාණයක් තුළ ව්‍යාප්තව තිබේ. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන් පරාජය කරමින් මේ වන විට මහනුවර හා රත්නපුර වැනි දිස්ත්‍රික්කයන් හි මේ වසංගතය වේගයෙන් පැතිරෙමින් තිබේ.

සංචාරක බුබුල නිර්මාණය කිරීම සදහා යුක්ක්‍රේනයම තෝරාගත් විට නිරායාසයෙන්ම රට තුළ විශාල කතා බහක් නිර්මාණය විය. ඊට ප්‍රධාන හේතුව වුයේ මෙරට ඇරඹි දෙවැනි කොරෝනා රැල්ලට යුක්ක්‍රේන ජාතිකයින් සම්බන්ධව බවට පසුගියදා රජය විසින් පත්කළ කමිටුවකින් සොයා ගැනීම නිසාය. අනෙක් කාරණාව වුයේ කොවිඩ් 19 වෛරසය සීග්‍රයෙන් පැතිරෙමින් පවතින රටක් ලෙස යුක්ක්‍රේනය පැවතීමත් නිසාය. එමෙන්ම එරට පවතින විශාල ආර්ථික අවපාතයත්, ඒ හේතුවෙන් සැලකිය යුතු පිරිසක් ඉතා දූගී මට්ටමක පසුවීමත් මත බලාපොරොත්තුවන මට්ටමේ ආදායමක් යුක්ක්‍රේන සංචාරකයින් හරහා ලංකාවට ලබා ගැනීමට නොහැකි වන බවට ප්‍රකාශ වීමත් හරහාය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ යුක්රේනය ඇතුළු රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවලින් කිහිපයකින් සංචාරකයන් 2580ක් මෙරටට පැමිණීමට නියමිත බවයි.

මෙම නියමු ව්‍යාපෘතියේ මහ මොලකරු ලෙස හැදින්වෙන හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ සම්බන්ධව ප්‍රකාශ කර තිබුනේ…. එදා මා තානාපති ලෙස 2006 සිට මා කල කැපකිරීම් මත ගොඩනැඟුණු විශ්වාස මත යුක්ක්‍රේනුවන්ගේ පැමිණීම සිදුවන බවත්, 2021 ජනවාරි 02 සිට තවත් ගුවන්යානා 10 ක් මත්තලට රැගෙන ඒමට සැළසුම් කර හමාර බවත්ය.

රටක් ලෙස යුක්‍රේනය ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි විශ්වාසෙයන් සහ සහෝදරත්වයෙන් තබන මෙම පියවර දෙරටේ අන්‍යෝන්‍ය බැඳීම තව දුරටත් ශක්තිමත් කරන බව පවසන උදයාංග වීරතුංග මහතා රටම ෆේල් කියමින් රජයට ගැරහුම් කරද්දී, මගේ සංකල්පය ගැන විශ්වාසය තැබු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා බැසිල් රාජපක්ෂ මැතිතුමා මෙන්ම SkyUp, Ukraine Airlines, TPG Tours, Kompass Tour, JoinUp ආයතනය මෙන්ම අපේ රටට පැමිණි සියලු යුක්රේනියානුවන්ට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකරන බවත් ඔහු ප්‍රකාශ කරයි.

මෙවැනි භයානක වසංගත තත්ත්වය හමුවේ පවා සංචාරක කර්මාන්තය ඇතුලු අනෙකුත් කාර්මාන්ත, ඇතුලු අනෙකුත් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට ඕනෑම රජයක් විසින් පියවර ගත යුතුය. නමුත් එමගින් පැවති තත්ත්වයටත් වඩා දරණු තත්ත්වයක් නිර්මාණය වීම වැලැක්වීමට විශේෂ අවධානය යොමු කළ යුතුය. අපට වඩා දියුණු රටවල් පවා මෙම වසංගත තත්ත්වය පිළිබදව නිවැරදි හා විද්‍යාණුකූල විශ්ලේෂණයන් සිදු කරමින් විටින් විට අර්ධ වශයෙන් හෝ සම්පුර්ණ වශයෙන් තම රටවල් වසා දැමීම සිදු කරනු ලබන්නේ මෙම වසංගතයේ ඇති බැරෑරුම් තත්ත්වය පිළිබදව තක්සේරු කරමිනි.

පසුගිය දා, මෙම වසංගයට පිළියමක් ලෙස කාලි ආම්මාගේ පැණිය, ඇතුලු පැණි කතාවන්ට රජය ලබා දුන් අනුග්‍රහයන් අනුවත්, කොවිඩ් ආසාදිත මළ සිරුරැ සම්බන්ධව ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්යත්, සුදුසු එන්නතක් ගෙන්වීමට අවශ්‍ය පියවර මෙතෙක් නොගෙන සිටීමත්, විශේෂඥ වෛද්‍යවරැ ඇතුලු වසංගත රෝග විශේෂඥයින් උපදෙස්වලට අමතරව වෙනත් අයගේ උපදෙස් වලට ප්‍රමුඛත්වය ලැබීමත් මත අප තවමත් මෙම වසංගතයේ බැරෑරැම්කම පිළිබදව ගැඹුරැ අවබෝධයක සිටින බවක් නම් නොපෙනේ.

-පිලිප් දිසානායක-

Social Sharing
නවතම විශේෂාංග