ගැහැනුන්ගෙන් ගුටිකන පිරිමි ඉන්නවාද? ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත ඇත්තටම කාටද?

 

2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත පිළිබඳ නීතිමය විග්‍රහයක් සහ ප්‍රායෝගික අත්දැකීම්

කොළඹ ජාතික රෝහලේ සංඛ්‍යාලේඛන අනුව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දිනකට කාන්තාවන් 12 දෙනෙකු පමණ රෝහල්ගත වන බව පසුගිය කාලයේ ප්‍රවෘත්තියක් ලෙස වාර්තා විය. එය බරපතළ සමාජ ගැටලුවක් බවට සැකයක් නැත.

එහෙත් මෙහිදී වැදගත්ම ප්‍රශ්නය වන්නේ,nගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත කාන්තාවන් වෙනුවෙන් පමණක්ද? පිරිමින්ට එය භාවිත කළ නොහැකිද?මගේ පිළිතුර නම් නැත යන්නයි.

දඬුවම් දීමට නොව, ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට

2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත නමින්ම පැහැදිලි වන්නේ මෙය වැළැක්වීමේ (Preventive) නීතියක් බවයි.

මෙය දණ්ඩනීය නීතියක් ලෙස නිර්මාණය නොකිරීම පනත් සම්පාදකයන් විසින් සවිඥානිකව ගත් තීරණයකි. එහි අරමුණ වන්නේ,

  • පවුල තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය නතර කිරීම,
  • වින්දිතයාගේ ආරක්ෂාව තහවුරු කිරීම,
  • පවුලේ සාමය ආරක්ෂා කිරීම,
  • ප්‍රචණ්ඩත්වය තවත් උග්‍ර වීම වැළැක්වීමයි.

මෙය “කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ පනතක්” නොවේ. මෙම පනත කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පනත ලෙස නම් කර නැත්තේද හේතුවක් ඇතිවය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන්නේ කාන්තාවන්, පිරිමින්, දරුවන්, වැඩිහිටි දෙමාපියන්සියල්ලන්ම විය හැකි බැවිනි.

ඒ නිසා මෙය නිවස තුළ සිටින ඕනෑම වින්දිතයෙකු ආරක්ෂා කරන පනතකි.

ගැනුන්ගෙන් ගුටිකන පිරිමි ඉන්නවාද?

ඔව්… අපේ සමාජයේ කාන්තාවන් බහුතර වින්දිතයන් බව සංඛ්‍යාලේඛන පෙන්වුවද, පිරිමින් කිසිදා වින්දිතයන් නොවන බව ඉන් අදහස් නොවේ.

බිරිඳගෙන් පහර කෑ පිරිමිද සිටිති. බිරිඳ විසින් මානසික හිංසනයට ලක් කරන පිරිමිද සිටිති. අසභ්‍ය වචන, තර්ජන, දේපළ විනාශ කිරීම, බලහත්කාරය වැනි ක්‍රියාද පිරිමින්ට එරෙහිව සිදුවේ. එවැනි අවස්ථාවලදීද මෙම පනත යටතේ ආරක්ෂාව ඉල්ලා සිටිය හැකිය.

ප්‍රචණ්ඩත්වය සිදුවූ පසු පමණක් නොවේ

මෙම පනතේ ඇති වැදගත්ම ලක්ෂණයක් වන්නේ, ප්‍රචණ්ඩත්වය සිදුවීමට ඉඩ ඇති බව පෙනෙන අවස්ථාවක පවා මහෙස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව පැතිය හැකි වීමයි. මෙය වැළැක්වීමේ නීතියක තිබිය යුතු ප්‍රබලම ලක්ෂණයකි. ප්‍රචණ්ඩත්වය බොහෝවිට සැලසුම් කර සිදුවන්නේ නැහැ.

බොහෝ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීම් සැලසුම් සහගත නොවේ.

කෝපය, බලය, ආධිපත්‍යය, මත්ද්‍රව්‍ය භාවිතය, පවුල් ආතතිය වැනි හේතු මත ක්ෂණිකව සිදුවන ප්‍රතිචාර බොහෝවිට ප්‍රචණ්ඩත්වයට මඟ පාදයි. අප ජීවත් වන්නේ ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය වී ඇති සමාජයකය. ඒ නිසාම කාන්තාවන්ද සමහර අවස්ථාවල ප්‍රචණ්ඩත්වයට යොමු වෙති. එයද සමාජයේ පවතින පොදු ප්‍රචණ්ඩ සංස්කෘතියේම කොටසකි.

හදිසි නීතිමය ආරක්ෂාව

මෙම පනත යටතේ, වින්දිතයාට හෝ ඔහු/ඇය වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකුට, මහෙස්ත්‍රාත් අධිකරණයෙන් එක්පාර්ශ්වික අතුරු ආරක්ෂක නියෝගයක් ඉල්ලා සිටිය හැකිය. අධිකරණය සෑහීමකට පත්වන්නේ නම්, පීඩකයා කැඳවීමටත් පෙර, වින්දිතයාගේ ආරක්ෂාව වෙනුවෙන් නියෝග නිකුත් කළ හැකිය.

මෙම නඩු හදිසි නඩු ලෙස සැලකිය යුතුය. පනතේ ආත්මය වන්නේ, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ඉල්ලීම් කඩිනමින් සලකා බැලීමයි. මන්ද, දින කිහිපයක ප්‍රමාදයක් පවා, බරපතළ තුවාලයකට, සියදිවි නසාගැනීමකට, හෝ මිනීමැරුමකට හේතු විය හැකි බැවිනි.

පීඩකයාට සෘජුව වින්දිතයාගෙන් ප්‍රශ්න ඇසීමට බැහැ

මෙම පනතේ ඉතා වැදගත් ආරක්ෂාවක් වන්නේ, පීඩකයා නීතිඥයෙකු නොමැතිව පෙනී සිටියද, වින්දිතයාගෙන් සෘජුවම හරස් ප්‍රශ්න ඇසීමට ඔහුට අවසර නොලැබීමයි. ප්‍රශ්න අධිකරණය හරහා යොමු කරනු ලබන්නේ, පීඩකයාගේ බලපෑමෙන් වින්දිතයා ආරක්ෂා කිරීම සඳහාය.

ආරක්ෂක නියෝග මගින් ලබාදෙන සහන

අධිකරණයට අවශ්‍ය නම් පීඩකයාට වින්දිතයා හමුවීම, දුරකථනයෙන් සම්බන්ධ වීම, සේවා ස්ථානයට යෑම, පාසලට යෑම,
නිවසට පැමිණීම, තර්ජනය කිරීම, අවි තබා ගැනීම, වැනි ක්‍රියා තහනම් කළ හැකිය.

අවශ්‍ය අවස්ථාවලදී තාවකාලික නවාතැන්, මනෝවිද්‍යාත්මක උපදේශනය, පොලිස් ආරක්ෂාව, ජීවන වියදම් සඳහා මූල්‍ය සහාය ලබාදෙන ලෙසද අධිකරණයට නියෝග කළ හැකිය.

ආරක්ෂාව ලැබෙන්නේ කාටද?

මෙම පනත ආවරණය කරන්නේ සැමියා, බිරිඳ, හිටපු සැමියා හෝ බිරිඳ, සහවාසයේ සිටින සහකරු, දෙමාපියන්, දරුවන්, ආච්චි, සීයා, සහෝදර සහෝදරියන්,
ඥාති සහෝදරයන්, වෙනත් සමීප පවුල් සම්බන්ධතා ඇතුළු පුළුල් පරාසයක පුද්ගලයන්ය.

ප්‍රචණ්ඩත්වය යන්නෙන් අදහස් කරන්නේ පහරදීම පමණක් නොවේ

පනත අනුව ප්‍රචණ්ඩත්වයට ඇතුළත් වන්න…

  • ශාරීරික පහරදීම්,
  • ලිංගික හිංසනය,
  • බරපතළ වාචික අපහාස,
  • සාපරාධී බිය ගැන්වීම,
  • බලහත්කාරය,
  • අයුතු සිරකර තැබීම,
  • පැහැරගෙන යාම,
  • දේපළවලට හානි කිරීම,
  • වෙනත් බොහෝ අපරාධමය හැසිරීම්ය.

මාධ්‍ය වාර්තාකරණයටද සීමා

මෙම පනත යටතේ පවතින නඩු සම්බන්ධයෙන් වින්දිතයා හඳුනාගත හැකි ආකාරයෙන්, පුවත්පත්වල, රූපවාහිනියේ, සමාජ මාධ්‍යවල ප්‍රචාරය කිරීම තහනම්ය. මෙම විධිවිධානවල අරමුණ වන්නේ වින්දිතයාගේ ගෞරවය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමයි.

පොලිසියගේ කාර්යභාරය

ප්‍රායෝගිකව සමහර අවස්ථාවල පොලිසිය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පැමිණිලි සමථයකට පත් කිරීමට උත්සාහ කරයි. එහෙත්,පනතේ මූලික අදහස වන්නේ අවශ්‍ය නම් කඩිනමින් අධිකරණ ආරක්ෂාව ලබාදීමයි.

එබැවින්, හැකි නම් පළපුරුදු නීතිඥයෙකුගේ සහාය ලබා ගැනීම හෝ නීති ආධාර කොමිෂන් සභාවේ සහාය ලබා ගැනීම වඩාත් සුදුසුය.

මෙම පනතේ අරමුණ පවුල් බිඳ දැමීම නොවේ.

එහි අරමුණ වන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම, වින්දිතයා ආරක්ෂා කිරීම සහ සෑම පුද්ගලයෙකුගේම මානව ගෞරවය (Human Dignity) ආරක්ෂා කිරීමයි.

ගැහැනියකට, පිරිමියෙකුට, දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට පහරදීම, තර්ජනය කිරීම හෝ මානසිකව පීඩාවට පත් කිරීම සාමාන්‍ය දෙයක් නොවිය යුතුය.

අපේ සමාජය දියුණු වන්නේ දණ්ඩනීය නීති පමණක් නොව, වැළැක්වීමේ නීතිද නිසි ලෙස ක්‍රියාත්මක වූ විටය.

2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත එවැනි වැළැක්වීමේ නීතියක් ලෙස තවදුරටත් සම්පූර්ණයෙන් භාවිතයට ගෙන, සෑම වින්දිතයෙකුටම—කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ට, දරුවන්ට සහ වැඩිහිටියන්ටද—සමාන ආරක්ෂාවක් ලබාදීම නීති වෘත්තිකයන්ගේ, අධිකරණයේ සහ සමස්ත සමාජයේම වගකීමකි.

Lakshan Dias The police have no right to attack people

– නීතිඥ ලක්ෂාන් ඩයස්

Social Sharing
අවකාශය නවතම විශේෂාංග