“ස” ගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මාධ්‍යවේදීන්ගේ නඩු වසා දැමුවාද?  මනුෂ විමසයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී  මාධ්‍ය කර්මාන්තයේ දියුණුව වෙනුවෙන්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් අය වැය ලේඛණයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකිරීම කණගාටුවට කරුණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මාධ්‍ය ගැලරියේ මාධ්‍යවේදීන් නොමැතිව මුදල් ඇමැතිවරයාට තමන්ගේ අය වැය කතාව ඉදිරිපත් කිරීමට සිදුවු අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාව වන විට පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට තහනම් කලාපයක් බවට පත්ව තිබෙන බවත් ඔහු පවසයි.

දැන් පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට වසා තියෙන්නේ කොරෝනා හැදෙන්නේ  මාධ්‍යවේදීන්ට පමණක් වන නිසාද? එසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට කොරෝනා හැදෙන්නේ නැද්ද? පොලිසියට හැදෙන්නේ නැද්ද? යනුවෙන් මනුෂ නානායක්කාර මහතා ඊයේ දින (25) පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.

ප්‍රේමකීර්ති – රිචඩ්ද සොයිසා ඝාතනවල ඉදලා රටේ මාධ්‍යවේදීන් බිය ගැන්වූ අදුරුතම කාල වකවානුව 2005 – 2015 කාලය දක්වා වන අතර මාධ්‍යවේදීන් සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයින් විශාල පිරිසක් ඝාතනය කළ අදුරු යුගයට තිත තැබීමට හැකිවූයේ 2015 ආණ්ඩු පෙරලියෙන් පසුව බවද ඒ මහතා කියා සිටියි.

මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රාජපක්ෂ ආණ්ඩුව කිසිම උනන්දුවක් ගත් නොගත් අතර. 2015 වන විට පරීක්ෂණ ලිපි ගොනුත් අතුරුදහන් කර තිබු  නිසා බිංදුවේ සිට ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කිත් නොයාර්ට පහරදීම, නාමල් පෙරේරාට පහරදීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධයෙන් අලුතින්ම පරීක්ෂණ ආරම්භ කර ඉදිරියට යාමට සිදුවු බවත් මේ පරීක්ෂණ බොහෝ දුරට අවසන් කර නඩු පැවරීම පමණක් ඉතිරිව තිබියදි “ස” ගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මේ ලිපි ගොනු වසා දමා තිබෙනවාද? යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා විමසා සිටියේය.

සිව්වැනි ආණ්ඩුව ලෙසින් සැලකෙන ජනමාධ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවේ තියෙන ආකල්පය එයින් පෙන්නුම් කරන බවත් මාධ්‍යවේදීනට පසුගිය කාලයේදී ලබාදුන් “මාධ්‍ය අරුණ” ණය යෝජනා ක්‍රමය හා අධ්‍යාපන ආධාර ක්‍රමය ඉදිරියට ගෙන යනවාද යන්න ගැනවත් මෙවර අයවැයේ සදහනක් නොමැති බවද මාධ්‍යවේදීන්ට ලබාදුන් ඒ සහන මේ අය වැයෙන් කප්පාදු කර තිබෙනවාද කියලා පැහැදිළි උත්තරයක් අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා යැයිද ඔහු ප්‍රකාශ කර සිටියේය.

රටක මාධ්‍ය කර්මාන්තය යහපත් අතට පත්වීමට නම් හොද මාධ්‍යවේදීන් සිටිය යුතු බව පෙන්වා දෙන ඔහු අසා සිටින්නේ  අද මාධ්‍යවේදීන් පුහුණු කිරීම සදහා තිබෙන ආයතන මොනවාද? කියා ය. බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ෆෙස් බුක් එකේ ලිපි ලියන ආචාර්යවරයෙක්ගේ සභාපතිත්වයෙන් තියෙන පුවත්පත් මණ්ඩලයෙන්ද මාධ්‍යවේදීන් බිහි කරන්නේ කියා ඔහු වැඩිදුරටත් ජනමාධ්‍ය සම්බන්ධ වැය  ශීර්ෂ විවාදයේදී  විමසා සිටියේය.

Social Sharing
නවතම