ශ්‍රී ලංකාවේ මාධ්‍ය සදාචාරයේ නව දිශානතිය


ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් සතුව තිබිය යුතු අත්‍යවශ්‍ය අංගයක් වන භාෂණයේ නිදහස එසේත් නැතිනම් අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (අ) වගන්තිය හරහා සුරක්ෂිත කර ඇති බව අවිවාදාත්මක කරුණකි. නමුත් එම අයිතිය සමාජයට හෝ සමාජයේ කිසිදු පුද්ගලයකුට හානියක් නොවන ලෙස භාවිතා කිරීමේ සදාචාරාත්මක වගකීමක් සෑම පුද්ගලයෙකුගේම කර මත පැටවෙන බව මතක තබා ගත යුතුම කාරණයකි.

මාධ්‍ය ආයතනවල පැවැත්මේ ජීවනාලිය වන්නේද මෙම භාෂණයේ නිදහසයි. ලෝකය පුරා පිළිගත් මාධ්‍ය මාර්ගෝපදේශ අනුව, සත්‍ය තහවුරු කිරීම, සැකකරුවන් තීන්දුව ලබා දෙන තෙක් නිර්දෝෂී ලෙස ලෙස සැලකීම, සහ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම මේ වෙනුවෙන් මාධ්‍ය ආයතන වෙත එල්ල වන ප්‍රධාන වගකීම් සමුදායෙන් කිහිපයකි.

නමුත්, අප සමාජයේ මාධ්‍ය ආයතන තුළින් බොහෝවිට දක්නට ලැබෙන්නේ සත්‍ය නොවන තොරතුරු සත්‍ය ලෙස ප්‍රචාරය කිරීම, පුද්ගලයින්ට කලින්ම “දෝෂී” යන ලේබලය ඇලවීම, සහ සිදුවූ වැරදි නිවැරදි කිරීමට ඇති මැලියාවයි. මෙවැනි ක්‍රියාකාරකම්වලින් පුද්ගලයන්ගේ ගෞරවය, පෞද්ගලික ජීවිතය, සහ නීතිමය අයිතිවාසිකම් සිදු වන දැඩි හානියෙහි වගකීම කොතරම් දුරට එම තොරතුරු ප්‍රචාරණය කරන ලද මාධ්‍ය ආයතන දැරීමට සූදානම් ද යන්න ඉතාමත් ප්‍රශ්න සහගතය.

වර්තමානයේ යම් යම් මාධ්‍ය ආයතන, මෙම භාෂණයේ නිදහස භාවිතා කිරීමේ දී “Breaking News” සංකල්පය වටා ගොඩ නැඟී ඇති තරඟය මූලික කොට ගෙන මාධ්‍ය සතු වන මූලික වගකීම් තවදුරටත් නොතකමින් ප්‍රථමයෙන්ම පුවත් වාර්තා කිරීම සඳහා එකිනෙකා සමඟ අදිසි ලෙස පොරබඳිමින් සිටී. මේ තුළින් අධිකරණය නඩු ඇසීමට පෙර මාධ්‍ය විසින් නඩු අසා සැකකරුවන් වැරදිකරුවන් ලෙස තීන්දු කිරීමේ භයානක ප්‍රවණතාවයක් ද නිර්මාණය වී ඇත.

ඒ කෙසේ වුවද මෑතකදී ශ්‍රී ලංකා අභියාචනාධිකරණය විසින් හිරු ටීවී ආයතනයට එරෙහිව ලබා දුන් තීන්දුව සියල්ලන්ගේම දෑස් විවර කිරීමට සමත් විය.

නඩුවේ කාරණා සංක්ෂිප්තව –

මෙයට බලපෑ සිදු වීම වූයේ මිනීමැරුම් නඩුවක සැකකරුවකුගේ මව විසින් සිදු කළ තොරතුරු ඉල්ලීමක් ය. හිරු ටීවී ආයතනය විසින් අදාළ මවගේ පුත්‍රයා වන මිනීමැරුම් නඩුවක සැකකරුවකු විසින් එම මිනීමැරුම සිදු කළ බව පිළිගනිමින් පාපොච්චාරණයක් සිදු කළ බව හිරු ප්‍රවෘත්ති හරහා වාර්තා කොට ඇත. එහිදී ඇය එම පුවත අසත්‍ය බවත් කිසිදු පාපොච්චාරණයක් සිදු නොවූ බවත් සඳහන් කරමින් එම පුවතේ සත්‍යභාවය පිළිබඳ සහ තොරතුරු ලබාගත් මූලාශ්‍ර සම්බන්ධයෙන් හිරු ටීවී නාලිකාවෙන් විමසීම් කර ඇති අතර හිරු ටීවී ආයතනය එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇත.

ඒ හේතුවෙන් එම මව විසින් තොතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වෙත තොරතුරු ඉල්ලුම් පතක් නිකුත් කරමින් විමසා සිටියේ :

• ඉදිරිපත් කළ එම පුවතට තොරතුරු ලබාගත් මුලාශ්‍ර මොනවාද යන්න සහ පුවතේ සත්‍ය අසත්‍යතාවය විකාශනයට පෙර සනාථ කළේ ද යන්නයි..

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබූ වේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතෙහි 43(උ) වගන්තිය ප්‍රකාරව විකාශන ආයතන “පොදු අධිකාරීන්” ගණයට අයත්වන බවත් ඒ අනුව එම අදාළ තොරතුරු ලබා දීමට බැදී පවතින බවත්‍ ය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අසතුටට පත් වූ හිරු ටීවී ආයතනය අභියාචනාධිකරණය වෙත අභියාචනයක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ තම ආයතනය ලාභ ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක වන පෞද්ගලික ආයතනයක් බවත්, රජයේ බලපත්‍රයක් ලබා ගත් පමණින් පෞද්ගලික ව්‍යාපාරයක් පොදු සේවා සපයන්නෙක් බවට පත් නොවන බවත් ය.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණය මෙම තර්කය ප්‍රතික්ෂේප කරමින් ඉතා වැදගත් නීතිමය මූලධර්මයක් ස්ථාපිත කළේය. එනම්, පුද්ගලික මාධ්‍ය ආයතන වුවද, ඔවුන් රාජ්‍යයෙන් ලබාගත් ගුවන් තරංග භාවිතා කරන බැවින්, ඔවුන් පොදු සේවාවක් ඉටු කරන බවයි. ඒ අනුව, ඔවුන් “Public Authority – පොදු අධිකාරීන් ” ලෙස සැලකිය හැකි අතර, එම පොදු අධිකාරීන් මහජනතාවට වගකීමට බැදී සිටින බවයි.

මෙම තීන්දුව, “පුද්ගලික” යන ආවරණ පළිහ යටතේ වගකීමෙන් බේරීමේ හැකියාව මාධ්‍ය ආයතනවලින් ඉවත් කිරීමට සමත් විය. අධිකරණය තවදුරටත් අවධාරණය කළේ මාධ්‍ය වගකීම සහ වගවීම ස්ථාපනය කිරීම යනු මාධ්‍ය නිදහසට විරුද්ධ වීමක් නොව, එය ශක්තිමත් කරන සහ මහජනයා මාධ්‍ය වෙත තබන විශ්වාසය සුරක්ෂිත කරන්නා වූ මූලික අංගයක් බවයි.

මෙම නඩුවට පාදක වූ සිදුවීම පෙර නොවූ විරූවක් නොව නිරන්තරයෙන්ම අපට අසන්නට දකින්නට ලැබෙන සිදුවීමකි. නමුත් මින් මතුවට මාධ්‍ය ආයතන වලට පෞද්ගලික ව්‍යාපාර යන සළුව පෙරවා ගෙන මහජන වගවීමෙන් බැහැර ව සීටීමට නීත්‍යානුකූල හැකියාවක් නොලැබෙනු ඇත.
මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් වගකීම මාධ්‍ය ආයතනවලට පමණක් නොව මහජනතාවටද හිමි ය. එනම් මාධ්‍යයේ පළවන සියලු දේ අන්ධ ලෙස විශ්වාස කිරීම වෙනුවට, විවේචනාත්මකව සිතීම අවශ්‍ය බවය.

ඉදිරියට, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය සාර්ථකව ඉදිරියට යාමට නම්, නීතිමය බාධක වලට පමණක් නොව, අභ්‍යන්තර ආචාරධර්ම පද්ධතිවලටද දැඩි ලෙස අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුතු කරුණකි. සත්‍යය, නිරවද්‍යතාවය සහ මනුෂ්‍ය ගෞරවය ප්‍රමුඛ කරගන්නා සංස්කෘතියක් ගොඩනැගීමට දායක වීම, මාධ්‍ය ආයතන සතු ප්‍රමුඛ වගකීමක් බව තරයේ මතක තබා ගැනීම අනිවාර්ය වේ.

සටහන අමන්දි තාරුකා

Social Sharing
නවතම පුවත්