
2024 වසරේ ඔක්තෝබර් මස ඊශ්‍රායල ධජයට අනතුරක් සිදු කරන ආකාරයේ සමාජ මාධ්‍ය පළ කිරීමක් කළේ යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයට පත්කරන ලද මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහෙල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා අද (මාර්තු 23 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එච්.එම්.ඒ.බී. හේරත් අධිකරණය හමුවේ පෙනී සිටිමින්, අදාළ තරුණයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර සමාව අයැද සිටියේය. එම ක්‍රියාවෙන් තරුණයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවද ඔහු පිළිගත්තේය.
ඒ අනුව, සිදුවූ අගතිය වෙනුවෙන් රුපියල් මිලියන 2ක වන්දියක් ගෙවීමට සූදානම් බව ප්‍රකාශ කළ අතර, එම මුදල විවෘත අධිකරණයේදී තරුණයා වෙත භාර දෙන ලදී.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් විජේරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර, දෙපාර්ශවයම සමථයකට පැමිණීමෙන් පසු නඩුව අවසන් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පෙන්වා දුන්නේ, පොලිසිය විසින් වැරදි කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු දිගු කාලයක් රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවූ බවයි.
මෙම සමථයට අනුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලද ඉවත් කරගැනීමට තරුණයා එකඟ විය.
