
පසුගියදා පැවැති භික්ෂු සමුළුවකදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම සභාවේ මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන්(?) විසින් ලිංගික අධ්‍යාපනය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කරන ලදී. විසිඑක්වන සියවසේ දරුවන් ලිංගික අපයෝජනයෙන් සහ වැරදි තොරතුරුවලින් ආරක්ෂා කරනු වෙනුවට, “සියල්ල රහසක්ව තබා ගැනීම” අපේ උරුමය ලෙස හැඳින්වීම මගින් සිදුවන්නේ සමාජය තවදුරටත් අගාධයකට ඇද දැමීමකි. මහාචාර්ය රාහුල භික්ෂුවගේ(?) තර්කනය විමසා බැලීමේදී පෙනී යන්නේ, අප තවමත් විද්‍යාත්මක යථාර්ථයට වඩා ගුප්ත මිථ්‍යාවන් වැළඳගෙන සිටින බවයි. එපමණක් ද නොවේ, කිසියම් යන්ත්‍රයක් ක්‍රියාත්මක වන ආකාරය ලිංගික ක්‍රියාවක් බවට පරිකල්පනය කිරීම කෙතරම් විකෘති තත්ත්වයක්ද යන්න වටහා ගැනීමට අමුතු විද්‍යාත්මක දැනුමක් අවශ්‍ය නොවේ. නමුත් මේ දූපතේ එයත් දැන් සිදුව තිබේ.
මහාචාර්ය රාහුල භික්ෂුවගේ ප්‍රකාශයේ ලිංගිකත්වයට ආදාළ කොටස:
“පසුගිය දවස්වල අපේ රටට ලිංගික අධ්‍යාපනය ගේන්න ඕනයි කියලා ප්‍රකාශ කළා. ලිංගික අධ්‍යාපනය අපේ රටේ ජනතාවට අවශ්‍යද? මම හිතන්නේ නෑ, අවශ්‍යයි කියලා. අපේ රටේ ඒ කාලේ මිනිස්සුන්ට හොඳ විවාහ ජීවිත ගත කළා. දරුවෝ 10-15 ඇති කළා. බොහොම සතුටෙන් ජීවත් වුණා. ඒවා අවශ්‍ය විදිහට ඒ අයගේ ගුප්තභාවය රැකගෙන, සංවරකම රැකගෙන ඒගොල්ලෝ ඒවා කරගත්තා. මොන කෙහෙල් මලක්ද මේ ලිංගික අධ්‍යාපනයක් කියන්නේ? ලිංගික අධ්‍යාපනයක් අපට අවශ්‍ය නැහැ. අපේ රටේ අතීතයේ තිබිච්ච ශික්ෂණය හොඳට කියවලා බලන්න. රොබට් නොක්ස්ගේ වාර්තාවල. ඒ කාලේ මුලින්ම ලංකාවට දුම්රිය ගෙනාපු වෙලාවේ දුම්රියේ එංජිමේ යම්කිසි අවයවයක් වැඩ කරන විදිහ දැකලා, අම්මලා දියනියගේ මුහුණ තමන් ඇඳගෙන ඉන්න රෙද්දෙන් වැහුවා. මෙන්න අපේ ලිංගික අධ්‍යාපනය. ඒ වැහැව්වේ, මොකක්වත් ලිංගික කතාවක් නෙවෙයි. නමුත් ඒක අප්‍රන්න දෙයක් බව වැඩි හිටියෝ දන්නවා. එංජින් එකේ හැටි. මෙහෙමයි අපේ රටේ ලිංගිකත්වය.”
පිස්ටනය සහ විකෘති ලිංගික පරිකල්පනය
මහාචාර්ය රාහුල භික්ෂුවගේ අදහස හි වඩාත්ම විමතියට කරුණ වූයේ, අතීතයේ මෙරටට දුම්රිය හඳුන්වා දුන් සමයේ එහි එන්ජිමේ පිස්ටනයක්(භික්ෂුවගේ භාෂාවෙන් කියන්නේ නම් ‘අවයවයක්) ක්‍රියාත්මක වන ආකාරය දෙස බලා “අශෝභන ලිංගිකත්වයක්” මවාගත් මව්වරුන්, දියණියන්ගේ දෑස් වැසූ බව පවසමින් එය උසස් විනයක් ලෙස හුවා දැක්වීමයි. භික්ෂුවගේ මෙම ප්‍රකාශය අතීතකයේ විසූ ශ්‍රී ලාංකිකයන්ගේ ලිංගික ජීවිතයට එල්ල කරන ලද දැවැන්ත ලැජ්ජාවකි. එක ගෙයි කෑම වැනි තත්ත්වයන්, කුල්ල තබා ලිංගික කටයුතුවල යෙදීම ආදී තත්ත්වයන් තිබූ ඉතිහාස සමාජයකට එල්ල කරන ලද බරපතල ලැජ්ජාවකි.
ඒ කෙසේ වෙතත්, මෙය කිසිසේත්ම “සංවරකමක්” ලෙස හැඳින්විය නොහැක. දුම්රිය එන්ජිමක පිස්ටනයක් ක්‍රියාත්මක වීම යනු භෞතික විද්‍යාත්මක සහ යාන්ත්‍රික මූලධර්මයක් මිස ලිංගික දර්ශනයක් නොවේ. එවැනි යාන්ත්‍රික ක්‍රියාවලියක ලිංගිකත්වය සෙවීම යනු මෙම භික්ෂුව කෙතරම් දුරට ලිංගිකත්වය පිළිබඳව මානසික පීඩනයකින් (Sexual Repression) සිටිනවාද යන්නට යන්නට කදිම නිදසුනකි.(එයට සායනික ප්‍රතිකාර සදහා යොමු විය යුතු බව මාගේ අදහසයි) තාක්ෂණික මෙවලමක් දෙස බලා ‘අසභ්‍ය’ අදහස් ඇති කර ගැනීම “සංස්කෘතියක්” ලෙස අගය කිරීම හරහා වර්තමාන දරුවන්ට ලබා දෙන පණිවිඩය කුමක්ද? මෙවැනි පටු/ විකෘති ආකල්ප නිසා සිදුවන්නේ දරුවන් ලෝකය දෙස විවෘතව බැලීමට බිය වීමත්ය.
“ගුප්ත බව” සහ දස දරුවන්ගේ මිථ්‍යාව
අතීතයේ කිසිදු දැනුමක් නොමැතිව දරුවන් දහය පහළොව ඇති දැඩි කළ බව පවසමින් රාහුල භික්ෂුව එම යුගය පරමාදර්ශයක් කිරීමට උත්සාහ කරයි. එහෙත්, එම ගුප්ත බව තුළ සැඟවුණු කටුක සත්‍යය එම භික්ෂුව හිතාමතාම අමතක කර ඇත. නිසි ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය දැනුමක් නොමැතිකම නිසා එකල කාන්තාවන් වින්ද පීඩාව, අනාරක්ෂිත ප්‍රසූතීන් නිසා සිදු වූ මරණ, අනාරක්ෂිත ගබ්සා සහ ලිංගික රෝග පිළිබඳ දත්ත ඒ “ගුප්ත සාර්ථකත්වයේ” අනෙක් පැත්තයි.
ලිංගිකත්වය රහසක් ලෙස තබා ගැනීම නිසා අතීතයේ මෙන්ම වර්තමානයේ ද දරුවන් ලිංගික අපයෝජනයට ලක් වූ විට එය පැවසීමට නොහැකිව අසරණ වන්නේ මෙවැනි “වසා තැබීමේ” සංස්කෘතිය නිසාමය. එම නිසා විශේෂයෙන් කාන්තාවන් ඇතුලු ගැහැණු දරුවන් අද ද මුහුණ දෙන දැවැන්ත පීඩාවන්ට මෙවැනි පසුගාමී භික්ෂූන් ද වගකිව යුතුය.
සංවරකම යනු ඇස් වසා ගැනීමද?
රාහුල භික්ෂුව පවසන පරිදි ඇස් වසා ගැනීමෙන් හෝ තොරතුරු වසං කිරීමෙන් සැබෑ විනයක් ඇති නොවේ. රොබට් නොක්ස්ගේ වාර්තා(එසේ වූවා නම්) හෝ දුම්රිය එන්ජින් පිළිබඳ යල් පැන ගිය විකෘති කතා නූතන ලෝකයට ප්‍රායෝගික නැත. අද දවසේ අන්තර්ජාලය හරහා ඕනෑම ලිංගික දර්ශනයක් දරුවෙකු අතට පත්විය හැකි පරිසරයක, “ඇස් වසා ගැනීම” නොව “බුද්ධිය අවදි කිරීම” එකම විසඳුමයි. අනෙක අසභ්‍ය යනු කුමක්ද? එහි නිරණායකයන් කවරේද? සභ්‍ය අසභ්‍ය තීරණය කරන්නේ කවුද? එවැනි අතිශය සංස්කෘතික ප්‍රශ්ණවලට මුහුණ දී ඇති ශ්‍රී ලාංකීය සමාජය එයින් මිදී ශිෂ්ටත්වය දෙසට ගමන් කිරීමේදී ප්‍රධාන බාදකයක් වන්නේ මෙවැනි භික්ෂූන් සහ ඔවුන්ගේ ඇබිත්තයන්ගේ චර්යා රටාවන්ය.
සැබෑ සංවරකම යනු කුමක්? තම ශරීරය සහ එහි ක්‍රියාවලීන් පිළිබඳ විද්‍යාත්මකව දැනුවත් වීමත්, අනවශ්‍ය ලිංගික බලපෑම් හඳුනාගෙන ඒවාට ‘විරුද්ධ’ වීමට හුරු වීම සහ ලිංගිකත්වය යනු රහසක් හෝ ‘කුණුහරුපයක්’ නොව, ජීව විද්‍යාත්මක සත්‍යයක්, මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය කලාපයක් බව වටහා ගැනීමයි. වටහා ගැනීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කිරීමයි.
මෙවැනි තත්ත්වයන්ට අදාළව, බළධාරීන් ඇතුලු ඒයට අදාළ ස්ථරයන් විසින් සිදුකළ යුත්තේ සමාජය අඳුරු යුගයකට ගෙන යන මෙවැනි, ගෝත්‍රික, පටු උදාහරණ සැපයීමට, එරෙහිව දරුවන්ගේ සහ කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් විද්‍යාත්මක සහ කාලීන අධ්‍යාපනයක් සඳහා මග පෙන්වීමයි. දුම්රිය පිස්ටනයක අසභ්‍යත්වය දකින “ගුප්ත සංවරකමට” වඩා, ලිංගිකත්වය යනු ජීවිතයට අත්‍යශ්‍ය ස්වාභාවික කොටසක්/ පද්ධතියක් ලෙස දකින විවෘත-නිදහස් මනසක් ඇති පරපුරක් අපට අවශ්‍යව ඇත. මෙවැනි පසුගාමී ආකල්ප මගින් සිදුවන්නේ දරුවන්-කාන්තාවන් තවදුරටත් අනාරක්ෂිත කිරීම පමණි.
කෙසේ නමුත් මෙවැනි පටු භික්ෂූන් සිටිනතාක් කල් ශිෂ්ට, දියුණු සමාජයක් ගොඩනැගීම අතිශය දුෂ්කර වනු ඇත. එම නිසා, සශ්‍රීක ගසක් ගොඩනැගීමට නම් ගස තුළ ඇති පිළල් (අපිශාක) ඉවත් කළ යුතුමය. මිනිස් සමාජය තුළ නම් ‘සායනික ප්‍රතිකාර’ කිරීම එක් විසදුමකි.
අවසාන වශයෙන් තවත් වැදගත් දෙයක් කෙටියෙන් කිව යුතුය – ලිංගික අධ්‍යාපනය අත්‍යවශ්‍ය වන්නේ ද මේ නිසාය.
සටහන සම්පත් සමරකෝන්
උපුටා ගැනීම විකල්ප වෙබ් පිටුවෙනි
